Print this Article


සංසාරයටත් නිර්වාණයටත් මඟ සදන සිත

සංසාරයටත් නිර්වාණයටත් මඟ සදන සිත

සිත ඉතා ගැඹුරුය. තේරුම් ගන්නට අසීරු ය. ගැඹුරුවූත්, තේරුම්ගත නොහැකි වූත් සිත ගැන වෙනත් කිසිඳු ආගමක, දර්ශනයක, පැහැදිලි විග්‍රහයක් නැත. මනෝ විද්‍යාවේද සවිස්තර නොවේ. එහෙත් සිත ගැන, මනස පිළිබඳ ඉතා ගැඹුරු වූද, එහෙත් ඕනෑම කෙනෙකුට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තුළින් දැකිය හැකි ආකාරය පිළිබඳ අපූර්ව වූද විග්‍රහයක් බුදුදහමේ ඉගැන්වේ.

‘සිත’ කියන්නේ කුමකටද? එය නිවැරැදිව අවබෝධ කරගන්නේ කෙසේද? එහි ස්වභාවය, නියම ස්වරූපය කෙබඳුද? සිත හඳුනා ගන්නේ කෙසේද? සිත වැරැදි මඟක ගමන් කරනවා නම් එහි ප්‍රතිඵලය කුමක්ද? නිවැරැදි මගක ගමන් කරනවා නම් එහි ප්‍රතිඵලය කුමක් ද? දුර්වලතා හඳුනාගෙන නිවැරැදි මඟක ගමන් කරන්නේ කෙසේද? ආදි ලෙස විවිධ පැතිකඩවලින් සිත ගැන කළ දීර්ඝ විග්‍රහයක් බුදු දහමේ සඳහන්ය.

චිත්ත, මනෝ, විඤ්ඤාණ ආදි වචනවලින් බුදු දහමේ සිත පිළිබඳ කියැවේ. විග්‍රහකර බැලීමේදී තරමක වෙනස්කම්, භාවිත කර ඇති අවස්ථා අනුව දැකගත හැකි වුවද මුලික අර්ථයෙහි වෙනසක් දැකීමට නුපුළුවන. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මෙලෙස දේශනා කළහ.

“නා හං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං ඒවං චිත්තං” “සිත වැනි වැදගත් වන වෙනත් කිසිම දෙයක් මේ ලොව මා දැක නැත. සිත වැනි වටිනා වෙනත් කිසිම දෙයක් මේලොව මා දැක නැත. සිත වැඩිදියුණු කරනවා නම්, නිවැරැදිව මෙහෙයවනවා නම් මිනිසාට ඔහුගේ සිත උතුම් මෙහෙයක්, උතුම් සේවාවක් ඉටු කරදෙනු ඒකාන්තය”යි උන්වහන්සේ පැහැදිලි කළහ.

ඕනෑම කෙනෙකුගේ බලාපොරොත්තුව සතුටින් ජීවත්වීමය. සාමයෙන් සමඟියෙන් ජීවත් වීමය. සාමාන්‍ය විශ්වාසය නම් සතුට ලබන්නට ධනය ඇවැසි බවය. බලය, සමාජ තත්ත්වය තිබිය යුතු බවය. වෙනත් විවිධ සාධක බලපැවැත්විය යුතු බවය. අවබෝධයෙන් සිතන්න. සත්‍ය වශයෙන්ම මේ සියල්ල හිමි වුවද නියම සතුටක් ලැබෙනවාද? මෙ කවර සම්පත් ලැබුණද නියම සතුටක්, තෘප්තියක් ලැබෙනවාද? වෛරයෙන්, ක්‍රෝධයෙන් , ලෝභයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන් සිත දැවෙනවා නම් ලැබෙන්නේ කවර සතුටක්ද? එසේ නම් ඒ සියල්ලට වඩා වැදගත් වන්නේ සිතේ දැක්මය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්වීමට පුළුවන. එනම් සංසාරය හා නිර්වාණයයි. මේ දෙකරුණම එක්කර බැලූවිට පෙනෙන්නේ එකම දෙයක් ගැන බුදුදහම දේශනා කර ඇති බවය. එනම් සිතය. සිත කිළිටි නම් එය සංසාරයයි. සිත නොකිළිටි නම් එනම් පිරිසුදු නම් එය නිර්වාණයයි. ඒ අනුව අපිරිසුදු වීම සංසාරයට සමානය. පිරිසුදු වීම නිර්වාණයට සමානය. පිරිසුදු සිතේ තණ්හාදී ක්ලේශයන් නැත. අපිරිසුදු සිත කෙලෙස් මලින් බරය. මේ අනුව සිත යනු ප්‍රබල සත්‍යයකි. එය අවබෝධ කර නොගත්තා කියන්නේ අප ළඟ ඇති, ලෝකයේ ප්‍රබලම ශක්ති වේගය හඳුනාගෙන නැති බවය.

බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කළහ.

“චිත්තං භික්ඛවේ අභාවිතං අපාතෝ භූතං
මහතෝ අනත්ථාය සංවත්තතී”

මෙහි අපට නැවත නැවතත් සිතන්නට ප්‍රායෝගික ජීවිතයට ඉතා වැදගත් වචන දෙකක් හමුවේ. ඉන් එකක් ‘අභාවිතං’ යන්නය. එහි අර්ථය ‘සිත’ හරියට භාවිත නොකරන බව. සංවර්ධනය නොකරන බවය. දෙවැන්න ‘අපාතෝභූතං’ යන්නය. එනම් සිත නිවැරැදි දෙයට, ධනාත්මක පැත්තට යොමු නොකිරීමය.

සමහරු යමක් කරන්නට පෙර ‘අනේ මට මේ වැඩේ නම් කරන්න බෑ’ ‘එය ඉතා අපහසු දෙයක්’ ‘මේ තරම් වැඩ තියෙන අතරේ තවත් වැඩ කොහොම කරන්නද? ආදි ලෙස සිතති. ඒ නිශේධනාත්මක සිතිවිලි ඇත්තෝය. එහෙත් තවත් කෙනෙක් ‘මම කෙලෙස හෝ මගේ අරමුණ ජය ගන්නවා’. ‘මට මේ දෙය කරන්න පුළුවන්’ ‘උත්සාහ කර බලනවා’ කෙලෙස හෝ බාධක ජය ගන්නවා’ යන සිතිවිලිවලින් යුතුය. ඒ ධනාත්මක සිතිවිලි ඇත්තෝය. බුදුදහමේ එය ‘ප්‍රාතුර්භූත කිරීම ලෙස හැඳින්වේ.

සමහර ළමයි ඉගෙනීමෙහි දක්ෂය. සමහරු අදක්ෂය. විභාග ආදියේදී අඩු ලකුණු අතර සිටිති. ඇතැම් මව්පියවරු සේම ගුරුවරුද අදක්ෂ දරුවාගේ සිතෙහි ධනාත්මක සිතිවිලි ඇති කරනවා වෙනුවට නිශේධනාත්මක සිතිවිලි ඇති කරති.

‘අනේ මේ ළමයාට නම් ඉගෙන ගන්න බෑ’ ‘කිසි දෙයක් හිතේ හිටින්නේ නෑ. මොන තරම් පාඩම් කළත් වැඩක් නෑ’. ‘ගණන් හදන්න බෑ’ විද්‍යාව බෑ’ ‘මේ තරම් වියදම් කිරීමේ තේරුමක් නෑ’ ආදී ලෙස කුඩා කල සිටම දෝෂාරෝපණය කරමින් දරුවාගේ සිතේ නිශේධනාත්මක ආකල්ප වර්ධනය කරති. එහෙත් මවකගේ පියෙකුගේ, ගුරුවර වැඩිහිටියන්ගේ වගකීම වන්නේ එවැනි දරුවෙක් වේ නම් ඒ දුර්වලතා මඟ හැරවීමට උත්සාහ කිරීම, දරුවා දිරිමත් කිරීම මිස තව තවත් අධෛර්ය කිරීම නොවේ.

‘පුතාට පුළුවන්. තව තවත් මහන්සි වෙන්න. අපහසු පාඩම් නිතර අධ්‍යයනය කරන්න’. ‘පාඩම්වලට හොඳින් ඇහුම්කන් දුන්නොත් මතකයේ හිටිනවා. ‘ආදී ලෙස උනන්දු කළේ නම් ඒ සිතිවිලි දරුවාගේ සිතේ තැන්පත් වේ. ධෛර්යමත් වේ. ධනාත්මක සිතිවිලි මෙන්ම නිශේධනාත්මක සිතිවිලිද මෙලොව ජීවිතය මෙන්ම සමහරවිට සසර ගමනටද බලපෑම් කිරීමට පුළුවන. ගලේ කෙටුවාසේ සිතේ රැඳෙන බැවිනි. ධනාත්මක සිතිවිලි සංවර්ධනය කිරීමෙන් අපගේ දුර්වලතා හදා ගන්නට පුළුවන. දීපංකර පාද මූලයේදී සුමේධ තාපසතුමා කළ අධිෂ්ඨානය ධනාත්මකය. එතුමා නිතර ඒ ගැන සිතුවේය. මතු බුදුවන්නට අවශ්‍ය දේ විමසා බැලුවේය. බාධක හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාදාමයන් අනුගමනය කළේය. එලෙස ඕනෑම කෙනෙකුට ධනාත්මක සිතිවිලි ඇති කරගෙන අවශ්‍ය කරන ක්‍රියාදාමයන් ගොඩනඟා ගන්නට වෙහෙසනවා නම්, බාධක හඳුනා ගන්නවා නම්, ඉදිරියට යන්න සිතනවා නම්, යහපත් අරමුණූ ජය ගැනීම අපහසු වන්නේ නැත. ඊට මූලික වන්නේ සිතයි.

සිත නිතර එහෙ මෙහෙ දුවයි. එක් තැනෙක නොරඳයි. රඳවා ගැන්මද අපහසුයි. සිත විකෘති කරන අංග පහක් දහමෙහි විස්තර කෙරේ. පළමුවැන්න ආශාවයි. බණ පොතේ කාමය, තණ්හාව ලෙසින් හැඳින්වෙන්නේ මේ ආශාවයි. ආශාව වැඩි වූ විට හැඟීම් ඉදිරියට එයි. බුද්ධිය යටයයි. දැනීම යටයයි. කල්පනා ශක්තිය අඩුවෙයි. නුවණින් මෙනෙහි කරන්නට අපහසු වෙයි. වරද නිවරද නොපෙනෙයි. මවුපිය, වැඩිහිටියන් අවවාද කළද ඒවා බැහැරලයි. එහි අවසන් ප්‍රතිඵලය කුමක්වේදැයි කිව නොහැකිය.

දෙවැනි අංගය ක්‍රෝධයයි. තරහව, වෛරය, ලෙසද එය අර්ථවත් වෙයි. බණ පොතේ ව්‍යාපාදය ලෙස හැඳින්වෙන්නේ ක්‍රෝධයයි. එවැනි සිතිවිලි වර්ධනය වූ විට ප්‍රකෘතිය විකෘති වෙයි. එවිට අවබෝධය ගිලිහී හැඟීම්බර වෙයි. උනුන් අඬදබර කරන්නේ , සිය දිවි නසා ගන්නේ , ගැටුම් උග්‍රවන්නේ එලෙස හැඟීම් ඇවිස්සී පාලනය කරගත නොහැකි වූ තැනය.

සිත විකෘති කරන තෙවැනි අංගය සිතේ ගිලන්බවය. ගිලන් සිතක උපදින සිතිවිලි මලානිකය. ප්‍රාණවත් ස්වභාවයක් නැත. ධෛර්යමත් බවක්, හැඟීමක් නැත. කිසිදු වැඩක් කරන්නට සිතෙන්නේ නැත. සිත නිද්‍රාශීලි වූවා බඳුය.

වික්ෂිප්ත බව හා පසුතැවිල්ලද සිත විකෘති කරයි. එනම් සිතේ එකඟ බවක් නොවීමයි. එවිට කරන දේ, කියන දේ අමතක වෙයි. වැඩ අතපසු වෙයි. සිත එහාට දුවයි. මෙහාට දුවයි. පැටලුනු නූල් බෝලයක් සේය. යමක් කරන්නට බැරි වුණා යැයි පසුතැවෙයි. නිතර ඒ ගැන මතක් කරයි.පස්වැනි අංගය සැකයයි. කෙනෙක් කරුණු ඇතිව යම් දෙයක් ගැන සැක කරති. තවත් කෙනෙක් කරුණූ නැතිව සැක කරති. බුදුරජාණන් වහන්සේ ‘සකාරණ’ හෙවත් කරුණු සහිත සැකයට අනුමැතිය දී තිබේ. ඒ සැකයට හේතු කාරණා තිබේ නම් පමණි. එහෙත් සමහරු ‘අකාරණ’ සැක ඇත්තෝ වෙති.

මෙසේ අංග පහකින් විකෘතිවන සිත ප්‍රකෘති තත්ත්වයට පත්කර ගන්නට බුදුරජාණන් වහන්සේ අපුර්ව මාවත් පහක් පෙන්වා දුන්හ. සිත සමාධිගත කරන්නට, තැන්පත් කරගන්නට පළමුව බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කළ යුතුය. නව අරහාදී බුදු ගුණ මෙනෙහි කිරීමෙන් සිත එක්තැන් වේ.

දෙවනුව ධර්මයේ ගුණ සිහි කළ යුතුය. සංඝයා වහන්සේගේ ගුණ සිහිපත් කළ යුතුය. ඒ ගුණ සිතන විට සිත සුවපත් වේ. දැවීම් තැවීම් දුරුවේ. එමෙන් තමන් යම් ශීලාදී ගුණ ධර්මයක් වඩන්නේ නම්, ප්‍රතිපත්ති සුරකින්නේ නම් ඒ පිළිබඳවද සිහිපත් කළ හැකිය. ඒ ගැන සිතමින් සතුටු විය හැකිය. ඒ සතුට සිතේ තැන්පත් බව, හික්මීම ඇති කරයි. අවුල් නිරවුල් කරයි.

එවැනි සිතක උපදින සිතිවිලි නිවැරැදිය. යහපත්ය. මේ වෙසක් පෝ දිනයේ අපි අදිටන් කරගත යුතු වන්නේ සිත අවබෝධ කරගෙන වැඩිදියුණු කිරීමටය. සිතට විකෘති වීමට ඉඩ නොදීමටය.