Print this Article


ඉපැරැණි චිත්‍රවලින් විචිත්‍රවත් හිඳගල රජමහා විහාරය

ඉපැරැණි චිත්‍රවලින් විචිත්‍රවත් හිඳගල රජමහා විහාරය

බෝධීන් වහන්සේ

මහනුවර පේරාදෙණිය ගලහ මාර්ගයේ කිලෝමීටර් 07ක් පමණ දුරින් හමුවන හිඳගල හන්දිය අසල සුන්දර කඳු මුදුනක පිහිටි හිඳගල රජමහා විහාරස්ථානය වළගම්බා රාජ්‍ය සමයට අයත් වෙයි.

එම විහාරස්ථානයේ පිහිටි “ලෙන” එකල සටන් පුහුණු මධ්‍යස්ථානයක් හා රට එක්සේසත් කිරීමේ කේන්ද්‍රස්ථානයක් විය. එහි සිහිවටනයක් වශයෙන් ඉදිවූ හිඳගල රජමහා විහාරයෙහි ක්‍රි.ව 06 හා 07වන සියවසට අයත් බෞද්ධ චිත්‍ර දක්නට ඇත.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයේ දී මාතෘ දිව්‍ය රාජයා ඇතුළු පිරිසට අභිධර්මය දේශනා කිරීමේ සිතුවමක් මෙහි දක්නට ඇතැ’යි ආනන්ද කුමාරස්සාමි මහතාගේ මතයට අනුව පැවැසේ.

”ඉන්ද්‍රපාල” ගුහා වශයෙන් හැඳින්වූ මෙම පින්බිම පසුව “හිඳගල” විය. ගම්පොළ යුගයේ 03වන වික්‍රමබාහු රාජ්‍ය සමයේදී මෙම විහාරස්ථානය නැවත ප්‍රතිසංස්කරණය කළ අතර හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ රාජ්‍ය අනුග්‍රහයෙන් මෙම විහාරස්ථානයට හැටපස් අමුණක ඉඩකඩම් පූජා කර තිබෙයි.

ලක්දිව ඉංශ්‍රීසීන්ට යටත් වූ පසුව හිඳගල විහාරයේ දිනක් තැන්පත් කර තිබූ දළඳා සමිඳුන් පසුව මහනුවරට වැඩම කරවූ බව ද සඳහන් වෙයි.

ලංකාවේ පැරැණි චිත්‍ර වලින් විචිත්‍රවත් වූ මෙම විහාරස්ථානයෙහි වෙස්සන්තර ජාතකය , දහම් සොඬ ජාතකය සුවිසි විවරණය ,සත් සතිය, මාර පරාජය, සුජාතාවගේ කිරිපිඬු දානය, මහා අභිනිෂ්ක්‍රමණය ආදී සිතුවම් රැසක් දක්නට ඇත.

මෙම ගුහාවේ ගල් තලයෙහි බදාම ගා ඒ මත ඇඳි සිතුවම් ආගමික තේමාවක් පදනම් කරගෙන ඇත. මෙම විහාරස්ථානයෙහි අඳින ලද ඇතැම් චිත්‍ර හඳුනාගත නොහැකි තත්ත්වයට පත්ව ඇත. මල්වතු මහා විහාර පාර්ශ්වයට අයත් වූ මෙම පින්බිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරව තිබෙන බව විහාරවාසී ඇඹිල්මිගම ධම්මකිත්ති හිමියෝ පැවසූහ. සිතුවම් කලාවේ කේන්ද්‍රස්ථානයක් ලෙසින් හැඳින්විය හැකි හිඳගල ඓතිහාසික රජමහා විහාරයෙහි දක්නට ඇති ඉපැරැණි සිතුවම් මතුවටත් සුරකිමින් එය අනාගත පරපුරට දායාද කරදීම වගකීම වේ.


 
ධර්ම ශාලාව පියගැටපෙළ