Print this Article


දැහැමෙන් ලොව දිනමු

මහ බෝ වන්දනාව

තිලොවග මුනිඳු වැඳ නඩයම සාදු දෙමින්
බුදු ගුණ සිතා බැති නාමල් ගෙන සුරතින්
පායුග නැමැඳ වැඩිහිටියන් හා සතොසින්
ගැල වෙත නැග්ගෙ සම්බුදු ගුණ සිහි කරමින්

අත්තම්මා ගැස්සි ගැස්සී නිදියන්නේ
පුංචි නංගි දත් පෙන්වා හිනැහෙන්නේ
මල්ලිලාගෙ කව් ගී හඬ වැඩි වන්නේ
නොදන්වාම අනුරපුරේ ළං වන්නේ

සිහිළැල් සුළඟ ගත සිත සනසාලන්නේ
ථූපාරාම රන් වැලි සඳ දිදු ලන් නේ
උවැසි උවසියන් නෙත් දිය පිසලන්නේ
සාධු නාද දී සෑ වට නමදින්නේ

සුවඳ මලින් බෝ සමිඳුන් පුද දෙන්නේ
සිරිමහ බෝධි සඳ උඩ මළුවේ වන්නේ
නැඟෙන සාධු නද මිහිරකි ගෙන දෙන්නේ
මහ බෝ සමිදු ගුණ ගීයකි කියැවෙන්නේ

සීත සුළං ඇඟදැවටී සිප ගන්නේ
තිස්ස වැවේ රැළි මාලා හිනැ හෙන්නේ
සැමගේ සිත් මෙත් සිසිලේ නැහැවෙන්නේ
නිවන් මගට යන මාවත සොයමින්නේ


මවුපිය ගුණ වරුණ

නැගෙනහිරින් හිරු උදාවෙත්ම ඝණාන්ධකාරයෙන් වැසුණු ලෝකය හිරු රැසින් ආලෝකමත් වෙයි. මවුපියන් නිසා දරුවන්ගේ ජීවිතය ආලෝකමත් වන්නේද එලෙසමය. එනිසාම බුදුරජාණන් වහන්සේ සදිසා නමස්කාරයේ දී මවුපියන් පූර්ව දිශාව හෙවත් නැගෙනහිර දිශාව ලෙස නම් කළහ.

දරුවෙකු මෙලොවට බිහිකර සමාජයේ වැඩදායී බුද්ධිමත් මිනිසෙකු කිරීම සඳහා මවුපියන් කරන කැපකිරීම් විඳින දුක් අසීමිතය, අප්‍රමාණය. මවක් තම දරුවා දසමසක් කුසතුළ හොවාගනිමින් හරිහැටි නින්දක්, කෑමක් නැතිව බොහෝ දුක් විඳ දරුවා මොලොව ජනිත කරන්නේ ලොව ඇති දරුණුම වේදනාව විඳිමිනි. රතු ලේ සුදු කිරට හරවා පොවා තම දරුවා පෝෂණය කරන්නේ අසීමිත දාරක ප්‍රේමයෙනි. පියාද එසේමය. උදේ සිට රෑ බෝ වන තුරු වෙහෙස මහන්සි වන්නේ තම දරුවාගේ සුබ සිද්ධිය උදෙසා ය.

මෙසේ අනේක විද දුක්කම්කටොළු මැද තම දරුවා ඇති දැඩි කරන මවුපියන් බුදුහිමියෝ ලොව අන් දෙයකට උපමා කළ නොහැකි බුදු පදවියට පවා සමාන කර දැක්වූහ. බුදුහිමියෝ දේශනා කළේ දරුවන්ට මව්පියන් කළ සේවයට කෘත්‍යුපකාර කර අවසන් නොකළ හැකි බවයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මව්පියන් විසින් සිය දරුවන් පවින් වැළකීම. යහපතෙහි යොදවීම ,ශිල්ප උගැන්වීම, සුදුසු පරිදි ආවාහ විවාහ කර දීම.

නිසි කල දායාද හිමි කරදීම ,යන යුතුකම් ඉටු කරමින් කරනු ලබන සේවයට දරුවන් විසින් තම මවුපියන්, ආහාර පානාදියෙන් පෝෂණය කිරීමෙන්.

ඔවුන්ගේ කටයුතු කරදීමෙන් , කුලපරපුර රැක ගැනීමෙන්

දායාද නිසිපරිදි භුක්ති විඳීමෙන් , මියගිය මව්පියන්ට පින් පැමිණවීමෙන්

උපස්ථාන කළයුතු බවය. මෙසේ මවුපියන්ට උපස්ථාන කරන, කළගුණ සළකන හොඳ දරුවන් සමාජයේ ප්‍රශංසාවට බඳුන් වේ. සමාජය විසින් ඔවුන් හොඳ ගති ඇති පුද්ගලයන් ලෙස පිළිගනී. එම නිසා අපිත් ඉහත අයුරින් අපේ මවුපියන්ට උපස්ථාන කරන හොඳ බොදු දරුවෝ වෙමු.


ගුණදම් සුරකිමු

ගුණ දම් යන්නට පිළිපැදිය යුතු, හොඳ පුරුදු, යහපත් ගතිපැවතුම් සිරිත් විරිත් ආදී බොහො දේ ඇතුළත්ය. අපේ රට බෞද්ධ රටක් ලෙස පන්සිල් සුරැකීම තුළින් ඇති කරගත් හොඳ පුරුදු රාශියක් තිබුණි. අතීතයේ සිටම ලාංකිකයා මෙම සාරධර්ම රැකගත් බවට සාක්ෂි ඇත.

කුඩා ළමයින් වන අප විසින් කළ යුතු යහපත් දෑ බොහෝය. දෙමවුපියන්ට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම, ගුරුවරයන්ට සැලකීම ඔවුනට කීකරු වීම ආදිය අපට කළ හැකි දේය. කුඩා කල සිටම පුරුදු විය යුතු දෙයකි, නිතරම පන්සල්යාම. එසේම දහම් පාසල් යාම. මගින්ද අපට නොදත් බොහෝ දේ අසා දැන ගත හැකිය. එමගින් නිවසේ දී මෙන්ම සමාජයේද හොඳ දරුවන් ලෙස අපට ජීවත් විය හැකිය.අද සමාජයෙහි සාරධර්ම පිරිහීමට හේතුවකි, යහපත් මිනිසුන් ඇසුරු නොකිරීම. එහෙත් නිතර පන්සල් යන දරුවාට මුණගැසෙන්නේ යහපත් පුද්ගලයන්ය. බුදුදහමට අනුව යහපත් පුද්ගලයන් ඇසුරු කිරීම දියුණුවට මඟකි.

වර්තමාන සමාජයේ ළමා පරපුර හා තරුණ පරපුර බටහිර විලාසිතා අනුකරණය කිරීමෙන් වටිනා සාරධර්ම පිරිහීමට ලක්වන ආකාරයක් දකින්නට ලැබේ. එහෙත් සාරධර්ම, පිරිහී යාමෙන් තමන්ගෙන්, සමාජයේත්, දියුණුව පිරිහී යයි. රටක් දියුණු වීමට නම් එහි ජීවත්වන මිනිසා හැදී සිටිය යුතුය. “මිනිසා නො හදා රට හැදිය නොහැකිය” මෙය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන්ගේ ප්‍රකාශයකි. පුංචි අප ඒ අවවාදය සිතට ගත යුතුය. අපේ වටිනා සාරධර්ම පරිහානියට යාමට ඉඩ නොදී සුරැකිය යුතුය.