UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගමට ආලෝකයක් වූ ගලේවෙල බෝධිසිරි නා හිමි

ගමට ආලෝකයක් වූ ගලේවෙල බෝධිසිරි නා හිමි

පිටිගල හිඹුටුගොඩ ශ්‍රී බෝධිරාජාරාමාධිපති සමස්ත ලංකා සාමවිනිසුරු ශ්‍රී අශෝක දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගලේවෙල බෝධිසිරි හිමියෝ 1997 ජූලි මස 20 වන ඇසළ පුර පසළොස්වක පොහෝදින හිඹුටුගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයට වැඩම කරවන ලදහ.

නගරයේ සිට සැපවත් ජීවිතයක් ගත කිරීමට පහසුකම් සැලසී තිබුණද එම සුඛෝපභෝගී ජීවිතය අතහැර තම සුඛ විහරණයට වඩා ප්‍රදේශවාසී ජනතාව අඳුරෙන් මුදවා දහම් මඟට යොමුකරවීමේ උදාර අරමුණ පෙරදැරිව උන්වහන්සේ විහාරස්ථානයේ සිට තම ආගමික හා ශාසනික මෙහෙවර ඇරඹූහ. රටට ජාතියට හිතෛෂි සිල්වත් ගුණවත් ධර්මානුකූල ප්‍රජාවක් ඇති කිරීම හිමිපාණන්ගේ ඒකායන පරමාර්ථය විය.

ඒ සඳහා උන්වහන්සේ අනුගමනය කළ වැඩපිළිවෙල කාගේත් සිත් ඇඳ බැඳ තබාගත් සරලවූත් අර්ථවත් වූත් එකක් විය. සෑම සතියකම බදාදා සහ සෙනසුරාදා දිනවල උදේ සහ සවස පවත්වන ආශිර්වාදාත්මක බෝධිපූජා ඉන් මුල් තැන ගනී. එම උතුම් බෝධි පූජාවෙන් පිහිට ලබා සුවපත් වූත් යහමඟට පැමිණියාවූත් පිරිස මෙතෙකැයි කියා නිම කළ නොහැකිය.

තවද නා හිමිපාණෝ යුගයේ අවශ්‍යතාවය හොඳින් හඳුනාගෙන කටයුතු කරති. වරෙක උතුරුකරයට වැඩමකොට හමුදා නිල දරුවන්ගේ සිත්සතන් දිරිමත් කරමින් බණ, පිරිත් දේශනා කිරීම කාගේත් ප්‍රසාදයට හේතු වූවා මෙන්ම වර්තමානයේ පොළොන්නරුව ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය බෙදාදීම ද කාගේත් ප්‍රසාදයට හේතුවීය.

එසේම උන්වහන්සේ විහාරාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව පුරා ශත වර්ෂයකටත් එහා ඉතිහාසයක් ඇති හිඹුටුගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරමින් විහාරස්ථ පුස්තකාලය සඳහා ත්‍රිපිටක පොත් වහන්සේ පනස් හතර නමක් වැඩම කොට අභිනවයෙන් චෛත්‍යයක්ද ඉදිකරනු ලැබූහ.

ආදර්ශමත් පැවිදි ජීවිතයක් ගත කරන හිමිපාණන් වහන්සේ සමාජ සත්කාර වැඩසටහන් කෙරේ දක්වනුයේ ඉමහත් කැමැත්තකි. එනිසා තමාගේම සංකල්පයකට අනුව සමාජ සත්කාර කිරීමේ මූලික පරමාර්ථයෙන් යුතුව 2011 ඔක්තෝබර් 29 වන දින බෝධිසිරි පදනම පිහිටුවන ලදී. සියයකට ආසන්න සාමාජික පිරිසකගෙන් ආරම්භ කරනු ලැබූ එහි වර්තමාන සාමාජික සංඛ්‍යාව දහස ඉක්මවයි.

බෝධිසිරි පදනම හරහා සිදුකරනු ලබන සමාජ සත්කාර වැඩසටහන් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ වාර්ෂිකව සිදුකරන අතර එයින් ආගමික, සෞඛ්‍ය, අධ්‍යාපනික වැඩසටහන් ප්‍රමුඛත්වයක් ගනී.

වාර්ෂිකව ගැබිණි මව්වරු 200 ක් සඳහා පෝෂණ මලු බෙදා දීමත්, පරිත්‍යාගශීලී සියයකට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් වසරක් පාසා සිදු කරනු ලබන ලේ දන් දීමේ වැඩසටහනත්, නොමිලයේ ඖෂධ ලබාදීමත් සමඟ සිදුකරනු ලබන විශේෂඥ වෛද්‍ය සායනයත්, නැතිබැරි අයට ඖෂධ ගැනීමට මුදල් ලබා දීමත් යන වැඩසටහන් සෞඛ්‍ය අංශයේ සිදුකරන සේවාවන් අතර කැපීපෙනෙයි.

තවද බෝධිසිරි පදනම මඟින් වාර්ෂිකව සිදුකරනු ලබන අධ්‍යාපන වැඩසටහන් අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන සාමණේර හිමිවරු පස්නමකට හා අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය හදාරන දරු දැරියන් සියයකට පාසල් උපකරණ ලබාදීමත් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගත් අධ්‍යාපන සම්මන්ත්‍රණයක් පැවැත්වීමත්, ජාතික මට්ටමේ විභාග වන පහ ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය, අ. පො.ස. උසස් පෙළ විභාගය යන විභාග සඳහා ඉදිරිපත් වන දහස් ගණන් දරු දැරියන්ට ආශිර්වාද කොට පිරිත් නූල් බැඳීමත් සෑම වර්ෂයකදීම සිදු කරන උදාර මෙහෙවරයන්ය.

හැමවිටම නිහතමානී අල්පේච්ච ගුණයෙන් හෙබි උන්වහන්සේ සතුන් කෙරේද දක්වනුයේ ඉමහත් කරුණාවකි. මරණයට කැපවුන ගවයින් නිදහස් කර අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබාදීමද උන්වහන්සේ සතු වූ උදාර ගුණයකි. තම ප්‍රදේශවාසීන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම උදෙසා නා හිමිපාණන් ඉටුකරන්නාවූ ජාතික, ආගමික, සංස්කෘතික හා සාමාජීය මෙහෙවර මෙසේ වදනකින් ලියා නිමකළ නොහැකිය. මෙම උතුම් පින් බිමෙහි සෑම පුර පසළොස්වක පොහොය දිනකදීම පෙහෙවස් සමාදන් වන 400 කට අධික සැදැහැවත් පිරිස උදෙසා සිදුකරනු ලබන සීල භාවනා වැඩසටහන් බෝධි පූජා හා ධර්ම දේශනාද සියලු දෙනාගේම ප්‍රසාදයට පාත්‍ර වී ඇත.

විදේශීය ධර්ම ප්‍රචාරය කිරීමේ පරම අදහසින් යුතුව ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ප්‍රංශය, නේපාලය හා ඉන්දියාව යන රටවලට වැඩමකොට ධර්ම දේශනා පැවැත්වීම අගය කළ යුතු ය.

එසේම නා හිමිපාණන් වහන්සේ හිඹුටුගොඩ ශ්‍රී අශෝක දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරයට පත්වෙමින් දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ හා දෙමව්පියන්ගේ සහයෝගයෙන් දහම් පාසල දියුණු කරමින් සිසු දරු දැරියන්ද ගුණදහමින් අණූූන නැණවත් පිරිසක් බවට පත් කිරීමට නිරතුරුව උත්සාහ කරති.

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 28 වන දා බදාදා පූර්ව භාග 10.36 ට ලබයි. 29 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]