UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසරින් එතෙර වූ සේක ඒ මහ රහත් තෙරණිවරු : සුක්කා මහරහත් තෙරණින් වහන්සේ

සුක්කා මහරහත් තෙරණින් වහන්සේ

සසර කතරෙහි අතරමංව අනන්ත දුක් විඳින්නා වූ සත්ත්වයින් ඒ දුකට ගොදුරු වන්නේ කැළඹුනු සිතක් උරුම කරගත් නිසාවෙනි. ගැඹුරු නිහඬ විලක කෙතරම් මල් පිපිලා තිබුණත් විල කෙතරම් ලස්සන වූවත් විල කැළඹී නම් විලේ මල්වල සුවඳ පැතිරෙන්නේ නැහැ. විචිත්‍රවත් බවක් දැනෙන්නේ නැහැ. කොපමණ ලස්සන මාළු සිටියත් පෙනෙන්නේ නැතිව යනවා. අපවිත්‍ර වතුරින් පිරුණු විල, කැළඹීමට ලක් වූ විල කිසිවෙකු ප්‍රියකරන්නේ නැහැ. සසර ගමනට හසු වූ පෘථග්ජන සිතත් එසේමයි.

නිසොල්මන් නිහඬ මලින් පිරුණු විල ඉතාමත් ප්‍රියමනාපයි. ආකර්ශනීයයි. එම විලේ වතුරෙන් යමෙකුට පිපාසය සන්සිඳවා ගැනීමට වූව ද සක්‍යතාවයක් ඇත්තේ ය. එම විලෙහි සිටින මාළුවන් ද දර්ශනීය වේ. නොකැළැඹුණු විලක මහත් වූ වටිනාකමක් ඇත්තේය. එවන් වූ සිතක උරුමය ලබන්නේ සියලු ඇලීම් බැඳීම්වලින් වියුක්ත වූ මහරහත් උතුමෙකු ම පමණි. සංසාර භය නිමා කළ නිහඬ නිසංසල විලක් බඳු සිතක් දැරූ, නැවත කිසිතැනක උපාදාන සිතක් සකස් කර නොගත් බුදුපියාණන් වහන්සේගේ හදවතින් නිපන් සුක්කා මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධා සිතක් සකස් කර ගනිමු. එම කුසල සිත් වඩාත් සවිබල කර ගනිමු.

මොතොමෝ මීට කල්ප අනූ එකකට පෙරාතුව ලොව පහළ වූ විපස්සී බුදුපියාණන් වහන්සේගේ සමයෙහි බන්ධුමතී නුවර එක් කුලගෙයක උපත ලද්දී ය. විපස්සී බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සැනසුණු ඕතොමෝ එම බුදුසසුනෙහි පැවිදිව ධර්මධර, බහුශ්‍රැත, ප්‍රතිභා ශක්තියෙන් යුක්තව විසිතුරු ලෙස බණ කියන්නා වූ මෙහෙණක් බවට පත්වූවා ය. එකල විසිතුරු ලෙස ධර්මය දේශනා කරන්නා වූ උන්වහන්සේ ජනතාව අතරට හිතසුව පිණිස වැඩමකොට වදාළ සේක. සංසාර දුකෙන් අතමිදීමේ ශක්තිමත් නොවූ උන්වහන්සේ පැවිදි දිවියෙන් පසුව තුසිත දෙව්ලොව උපත ලද්දීය.

අනතුරුව මහත් වූ දිව්‍ය සැප ලැබ තිස් එක් කල්පයකට පෙර සිඛී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි පැවිදිව උතුම් ශ්‍රී සද්ධර්මය බබුළුවා එයින් චුතව දෙව්ලොව උපත ලැබුවාය. කල්ප තිස්එකකට පෙර වෙස්සභූ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි ද පැවිදිව ධර්මධරව බුදුසසුන බබුළුවා දෙව්ලොව ගොස් මහත් සැප වින්දෝය.

පසුව මේ මහභද්‍රකල්පයෙහි කකුසඳ නම් බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි ද මුනි සසුනෙහි පැවිද්ද ලැබීය. කෝණාගමන බුදුපියාණන් වහන්සේගේ සමයෙහි ද පැවිදිව බහුශ්‍රැත ධර්මධර මෙහෙණක ලෙසින් පිළිවෙත් පුරන්නට වූවාය. ඉක්බිති කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි පැවිදිව මැනවින් ධර්මය ඉගෙන පිරිසුදු සිල් ඇතිව, ශික්ෂාවන්හි සංවර වෙමින් මිනිස් සිරුර අතහැර තව්තිසාවෙහි උපත ලද්දීය.

මේ අයුරින් කොපමණ නම් බුද්ධශාසනවල පැවිදිව පැවිදිදම් පිරුවා ද? කොපමණ ධර්මධර වීද? අන්තිම ආත්ම භාවයෙහි අප බුදුපියාණන් වහන්සේ පහළ වූ සමයෙහි ගිරිව්‍රජ පුරයෙහි මහා සම්පත් ඇති සිටුකුලයක උපත ලැබුවාය. දිනක අප තථාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ දස දහසක් භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන රජගහනුවරට මහත් වූ සිරියෙන් වැඩම කොට වදාළ සේක.

අනන්ත භව සසරින් මිදී, රන්වන් පැහැති සිරුරෙන් බබළන්නා වූ බුදුරජාණන් වහන්සේ දමනය කරනු ලැබූ රහතුන් වහන්සේලා සමඟ රජගහ නුවරට පිවිසිසේක. බුද්ධානුභාවය දැක, බුදුගුණ සමූහය අසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා තම ශක්ති ප්‍රමාණයෙන් දාන වස්තූන් පූජා කළාය.

ඉක්බිති ගිහිගෙයින් නික්ම ගොස් ධම්මදින්නා තෙරණිය වෙත ගොස් පැවිදිවූවාය. කෙස් සිඳුනු ලබන කල්හිම කෙලෙස් දැවී පැවිදි කෘත්‍යය සම්පූර්ණ කිරීමට උත්සුක වූවාය. මහජනයාහට ධර්මය දේශනා කොට වදාළ සේක. ධර්මය දේශනා කරන කල්හි ධර්මය සාක්ෂාත්කරණය කළ සේක. දහස් ගණන් ප්‍රාණීන්ට ඒ ධර්මය අවබෝධ විය. සුක්කා තෙරණියෝ ඍද්ධිවිධඥානය ලැබුවාය. දිවැස් ලද්දීය. චෙතොපරියඤාණය ලැබීය. ඉඳුරන් දැමූ තැනැත්තියක වූවාය. පෙර විසූ කඳපිළිවෙළ දැන ගත්තාය. දිවැස පිරිසුදු කළාය. සියලු ආශ්‍රව ප්‍රහීණ කළාය. මෙයින් මතු උපතක් නැති උත්තම මහරහත් තෙරණින් වහන්සේ නමක් බවට පත්වූවාය. භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ සමීපයෙහි අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිව්පිළිසිඹියාපත් මහාවීර්යාණන් වහන්සේ නමක් බවට පත්වූයේ අනන්ත දුක්ඛිත සිත් දුරු කළ සියලු ක්ලේෂ ධර්මයන්හි ප්‍රහාණත්වය ලද උත්තමාවියක ලෙසිනි.

සසර දුකින් අතමිදුණු ඕතොමෝ දිනක රජගහනුවර පිඬු පිණිස හැසිර බත්කිස නිමකොට භික්ෂුණී ආරාමයකට පිවිස හිඳ මහත් වූ පිරිසකට ධර්මය දේශනා කරන්නට වූවාය. මිහිරි මී පොවන්නාක් මෙන්, අමෘතයෙන් අභිෂේක කරනු ලබන්නියක සේ ධර්මය දේශනා කළ සේක. ඒ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනයෙන් සැනසෙන උතුමෝ නමාගත් කන් ඇත්තාහු වූහ. තැන්පත් කරගත් සිත් ඇත්තාහු වූහ. මෙසේ විචිත්‍ර වූ ධර්මයම සුක්කා මහරහත් තෙරණින් වහන්සේ දේශනා කෙට වදාළ සේක. මේ ආකාරයට ධර්මය දේශනා කොට එයින් පැහැදුනු සිත් ඇති සක්මන් මළුව කෙළවර ගසක විසූ දේවතාවෙකු සුක්කා තෙරණිය පිළිබඳව පැහැදී රජගහනුවරට පිවිස වීදියෙන් වීදියට, සිවුමංසලෙන් සිවුමංසලට හැසිර උන්වහන්සේගේ ගුණ අගය කොට ගාථා ධර්මයෝ දේශනා කළේය.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනාකරන සුක්කා තෙරණියට උවටැන් නොකර රජගහනුවර මිනිස්සු මධු පානය කර කාලය අපතේ යවන්නවුන් මෙන් කුමක් කළාහුද?

“අත්නොහළයුතු පිරිසුදු බැවින් ඔපවත් වූ මේ ධර්මය කාන්තාරයෙහි යන මිනිසෙකු වලාකුළුවලින් වැටෙන දියබිඳු මෙන් නොබොත්ද?”

මේ ආකාරයට රුක් දෙවියන්ගේ ප්‍රකාශය පිළිබඳව සිත් යොමුකළ මිනිසුන් අමෘතයක් බඳුව දහම් දෙසන්නා වූ සුක්කා මහරහත් තෙරණින් වහන්සේගෙන් දහම් ඇසීමට උන්වහන්සේගේ සමීපයට ගියෝය. පෙර පුරුදුතාව අර්ථවත් කරමින් විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ පටන් පැවිදිව සිට ධර්මය ප්‍රචාරණය කිරීමේ මහත් වූ වෑයමකට එළඹුණු සුක්කා තෙරණියෝ මේ ආකාරයට අපූරු දහම් දේශනා කොට වදාළ සේක.

පසුකලෙක සුක්කා තෙරණියෝ මහත් වූ ආයු ප්‍රමාණ වැළදූහ. අනතුරුව පිරිනිවන් පාන්නට ආසන්න සමයෙහි ශාසනයෙහි උත්තරීතරත්වය ඉස්මතු කරමින් ශාසනයෙහි නෛර්යානික ස්වභාවය ප්‍රකට කරමින් අපූර්ව උදානයක් ප්‍රකට කළ සේක.

“සුක්කා සුක්කෙහි ධම්මෙහි
විතරාගා සමාහිතා
ධාරෙති අන්ති මං දේහං
ජෙත්වා මාරං සවාහනං”

“සුක්කා, පිරිසුදු ධර්මයන්ගෙන් රාගය දුරු කර සිත එකඟකරගෙන සේනා සහිත මාරයා දිනාගෙන අන්තිම සිරුර දරයි”.

රහත් භූමියට එළඹුණු සුක්කා මහරහත් තෙරණිය ගේ උදානයෝ අපූර්ව වෙති. කාන්තාවක ලෙස ඉපිද වීර්යවන්තියක ලෙසින් සියලු කෙලෙස් ප්‍රහාණය කොට වදාළ ආකාරය සංසාර පුරුදු උපදවන්නකි.

සුක්කා මහරහත් තෙරණින් වහන්සේගේ චරිත විස්තරයෙන් අපූරු දෙයක් උගත හැකිය. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි උන්වහන්සේ පැවිදි දිවියට එළඹි මෙහෙණක වූවාය. එතැන් පටන් සියලු බුදුවරවයන් වහන්සේලා පහළ වූ සමයන්හිද පැවිදි ජීවිතය ගත කළාය. මේ සංසාර සාගරයෙහි දුර ප්‍රමාණය එමෙන් ම ඉපදෙන මැරෙන ප්‍රමාණය පිළිබඳව විස්තර කථනයේ දී අප මේ සංසාරේ පැවිදිව සිටි වාර ගණන කොපමණ ද? සිවුරු එක ගොඩකට ගොඩගැසුවහොත් ගිජ්ජකූට පර්වතය පරදනා හා සමාන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. මේ ආකාරයට පැවිදි ජීවිතයට එළඹුනද එයින් ඵල ලැබීමට නොහැකි වූ ප්‍රමාණය අනන්තය. මෙලෙස අනන්ත සංසාර චාරිකාවේ දීර්ඝ ගමනක යන අපහට සුක්කා තෙරණියෝ මහත් වූ අස්වැසිල්ලක් වනු ඇත.

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 28 වන දා බදාදා පූර්ව භාග 10.36 ට ලබයි. 29 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]