UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතය ඉල්ලූ ඩෝලැක්කිය

ජීවිතය ඉල්ලූ ඩෝලැක්කිය

ජීවිතය පුරා ඇත්තේ ද මේ අන්දමේ සිනාසීම් හා වැළපීම් ය. ඉන් බේරී සිටීමට කිසිවකුටත් නොහැකි ය. ඒ ලෝක ස්වභාවය නිසාය.

මොළයේ උණ හෙවත් එන්සෙෆලයිටිස් නම් භයානක වෛරස් වසංගතය එක්තරා ප්‍රදේශයක පැතිර ගියේ ලැව් ගින්නක් මෙනි. වසර සිය ගණනක සිට එම ප්‍රදේශයේ තිබූ ඌරු කොටු බොහොමයක්ම එක් දහස් නවසිය අසූ පහේ දී පමණ සිදු වූ මේ වසංගතය නිසා වසා දමනු ලැබීය. ඌරන්, වසංගතය පතුරුවාලන මදුරුවාට මධ්‍යම ධාරකයකු වීම එයට හේතුවය.

මෙම රෝගයට ගොදුරු වී ඇත්දැයි සොයාගැනීම සඳහා සුසුම්නාවෙන් ලබාගන්නා තරලයක් පරීක්ෂා කිරීමට අත්‍යවශ්‍ය විය. එම වකවානුව වන විට රෝහලේ මෙම සුසුම්නා තරල පරීක්ෂා කිරීමට තරම් අවශ්‍ය උපකරණ හා පහසුකම් නොවීය.

බොහෝ දෙනෙක් පෞද්ගලික රසායනාගාරයකින් එම පරීක්ෂණ කරගත්හ. දිනක් උදය වරුවේ එක්තරා තරුණයෙකු එලෙස රසායනාගාරයට, වාට්ටුවේ නවතා ඇති තම බිරිඳගේ සුසුම්නා තරල කුප්පියත් රැගෙන පැමිණියේ ය. බැලූ බැල්මට දුප්පත් තරුණයෙකුගේ පෙනුම තිබුණත් රැගෙන ආ තුන්ඩුවේ නොමිලයේ කර දෙන ලෙස වාට්ටුව භාර වෛද්‍යවරයා සටහන් කර නොතිබූ නිසා මේ පරීක්ෂණය සඳහා රුපියල් විසි පහක් ගෙවන ලෙස මුදල් අයකැමි දැන්වීය. විස්තර කිසිවක් නොකී පුද්ගලයා, "මම ඉක්මනට මුදල් රැගෙන එන්නම්. එනකන් පරීක්ෂණය කරන්න." පවසා ඉවත්ව ගියේ ය. ටික වේලාවකින් රුපියල් විසි පහ වෙනුවට රුපියල් විස්සක් රැගෙන පැමිණි ඔහු මේ මුදල් රැගෙන තම බිරිඳගේ පරීක්ෂණය කරදෙන ලෙස බැගෑපත් වූයේ ය.

ඔහුගෙන් කුමන රැකියාවක් කරන්නේද? මේ මුදල හදිසියේ සොයාගත්තේ කෙසේදැයි එහි එක් සේවකයෙක් ඇසීය. තමා නයි නටවන අහිගුණ්ටික අයෙකු බවත්, සති දෙකක කාලයක් සිට අදාළ ප්‍රදේශයේ පහත් බිමේ කූඩාරම් ගසාගෙන සිටින බවත් පවසන ලදී.

මේ අවුරුදු විසිපහක් පමණ වූ අහිගුණ්ටික තරුණයා, තම රෑනේ සිටි හැඩකාර, හුරුබුහුටි, අවුරුදු දාහතක් පමණ වූ තරුණියක හා මාස කීපයකට පෙර එක කූඩාරමකට පැමිණ පවුල් දිවිය අරඹා ඇත. තරුණියට දෑවැද්ද වශයෙන් ඩෝලැක්කියක් හා නුපුහුණු රිලා පැටියෙකුට අමතරව නයි ගලක් ලැබී ඇත.

දින කීපයක්ම මේ තරුණියට වැළඳී තිබූ උණ රෝගයට අත් බේත් කොට සුවයක් නො ලද නිසා රෝහල් ගත කර ඇත. පරීක්ෂණ සඳහා අවශ්‍ය මුදලින් මෙම කොටස සොයාගත්තේ තරුණියට දෑවැද්දට ලැබුණු එසේම තම ජීවිකාව සඳහා එකම පිහිට වූ ඩොලැක්කිය රෝහල ඉදිරිපස ඇති කෑම කඩයට උකසට තැබීමෙනි. මෙම පුවත ඇසූ එම රසායනාගාරයේ සේවකයෝ මහත් කම්පාවට පත්ව රුපියල් විස්සත්, තවත් රුපියල් කීපයක් සහිතව ආපසු ලබා දී වහාම ගොස් ඩොලැක්කිය බේරා ගෙනෙන ලෙස දන්වා සිටියහ. ඔහු මුදල් රැගෙන ගොස් ඩෝලැක්කිය සමඟ විදුලි වේගයෙන් ආපසු පැමිණියේ මහත් සතුටිනි.

පරීක්ෂණය සඳහා සෑහෙන වේලාවක් ගත වන නිසා ඔහු එහි මිදුලේ පේර ගසයට බිම වාඩි වී ඩෝලැක්කිය වාදනය කරමින් බලා සිටින පිරිස් සතුටට පත් කරනු සඳහා ගීත ගයන්නට විය. මිදුල වටා නොයෙක් ආකාරයේ රඟ දැක්වීම් සහිතව නටන්නට විය.

දැරියගේ පරීක්ෂණයේ ප්‍රතිඵල සටහන පිළියෙල කරන අතර රෝහලේ තවත් සේවකයෙක් වෙනත් රෝගියෙකුගේ නිදර්ශකයක් රැගෙන රසායනාගාරයට පැමිණියේ ය. ඔහු පැවසුවේ අහිගුණ්ටික තරුණිය මීට මොහොතකට පෙර මොළයේ උණ රෝගයෙන් මිය ගිය බවයි. මේ වන විටත් තරුණයා ඩෝලය ගසමින්, නටමින්, සිංදු කියමින් සිටිනු දුටු අපට ඇති වූ සංවේගය කියා නිම කළ නොහැකිය. සිංදු කියමින් නටන මෙම තරුණයා තව මොහොතකින් මර හඬ දී වැළපෙනු ඇත. අපේ ජීවිතය පුරා ඇත්තේ ද මේ අන්දමේ සිනාසීම් හා වැළපීම් ය. ඉන් බේරී සිටීමට කිසිවකුටත් නොහැකිය. ඒ ලෝක ස්වභාවය නිසාය. ලැබීම් හා නොලැබීම් හමුවේ මනසින් කඩා නොවැටෙන්නට නම් ජීවිතයේ යතාර්ථය හොඳින් තේරුම්ගෙන කටයුතු කළ යුතු ය. එවිට ජීවිතයේ ඕනෑම අවස්ථාවකට මුහුණ දීමේ ශක්තිය ලැබෙනු ඇත.

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 28 වන දා බදාදා පූර්ව භාග 10.36 ට ලබයි. 29 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]