UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

102 වන ජන්ම සමරුව නිමිත්තෙනි : ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහ නාහිමි

102 වන ජන්ම සමරුව නිමිත්තෙනි :

ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහ නාහිමි

මෙරට මෑත යුගයේ පහළ වූ සංඝපීතෘන් වහන්සේලා අතර ගිහි පැවිදි උභය සමාජයේ ගෞරවාදරයට පාත්‍රව වැඩ සිටින සංඝ පීතෘන් වහන්සේ නමකි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

මහා නා හිමිපාණන් වහන්සේ දුටුවන්ගේ සිත් පහදවන අපූර්ව වාසනා ගුණයකින් යුක්තවන අතර උන්වහන්සේ ලද දෙයින් සතුටුව නිහතමානීව වැඩ සිටින යතිවරයන් වහන්සේ නමකි. ඇසුරු කරන්නන්ට පි‍්‍රයශීලීව සුහදව ආගමික, ශාසනික, සාමාජික විවිධ සේවාවෙහි ද දිගු කලක් නිරත වූ උන්වහන්සේ ආදර්ශවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි.

ආලෝක මුදියන්සේලාගේ කවිරාල සහ ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1915 දෙසැම්බර් 31දවුල්දෙණ ගම්මානයේ දී උපත ලද පින්වත් කුමරු කුඩා කල ඌව පරණගම ගුණරතන විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. එහිදී අටවන වසර දක්වා අධ්‍යාපනය ලැබීය.

පෙර පින් බෙලෙන් සපුගොල්ල තපෝධනාරාමයේ වැඩ සිටි ඌමැලේ පඤ්ඤානන්ද මහ නාහිමියන් සහ ඌමැලේ පියරතන නාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1928 මාර්තු 8 වන දා දවුල්දෙණ ඤාණිස්සර නමින් පැවිදි බිමට පත්විය.

පැවිදි අධ්‍යාපනයට අවශ්‍ය මූලික පොත්පත් කියවා 1932 කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත්ව කහවේ ශ්‍රී රතනසාර නාහිමිපාණන් වහන්සේ මුල්කර ගනිමින් විද්‍යෝදය අවසානය දක්වා අධ්‍යාපනය ලබා ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසානය දක්වා අධ්‍යාපනය ලබා රාජකීය පණ්ඩිත උපාධිය හිමිකර ගත්හ. පසුව ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් පළකිරීමට සමත් වූ උන්වහන්සේ බුද්ධභක්ති මක්‍ද්ජරී, යතිදුතම්, ධර්මචින්තා, ‘යශෝධරා කාව්‍යම්’ මහා මහේන්ද්‍ර ක්ෂීණාශ්‍රවගමනම්’ කෘති ඇතුළු සම්භාවනීය පැවිදි චරිත ද ඇතුළත් ප්‍රශස්ති සංස්කෘත කාව්‍ය විස්සකට අධික සංඛ්‍යාවක්ද ලියා පළ කර ඇත.

උන්වහන්සේ ඇටැම්පිටියේ විද්‍යාභූෂණ පිරිවෙනෙහි ආචාර්ය ධූරයක් දරමින් මහරගම සිරි වජිරඥාන ධර්මායතන පිරිවෙනෙහිද ආචාර්යවරයකු ලෙසද මහඟු මෙහෙවරක් ඉටු කළහ. කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි ආචාර්ය ධුරයට පත්ව සිදුකළ විශිෂ්ට සේවය සම්භාවනීයහ.

තායිවානයට වැඩමවා චීන භාෂාව හදාළ උන්වහන්සේ තායිලන්තයෙන් ආචාර්ය උපාධියකින්ද පිදුම් ලැබූහ. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය ධූරයෙන්ද, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ මහාමහෝපාධ්‍යාය ධූරයෙන්ද පිදුම් ලැබූහ. උන්වහන්සේගේ ශාසනික, ආගමික ධර්ම ශාස්ත්‍රීය මෙහෙවර ප්‍රචලිත කරමින් තායිවානයේ ළිං සෝම් සහ වුට්හ්වා විශ්වවිද්‍යාලවල මහාචාර්යවරයෙකු ලෙස කළ මෙහෙවර අමන්දානන්ද වූවකි.

සපුගොල්ල මුල මහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරය මෙන්ම පාගොඩ ශ්‍රී විද්‍යාවිජයාරාමය අරඹා සිදු කරන ලද්දේ මහඟු මෙහෙවරකි. නුගේගොඩ පාගොඩ පාරේ පළමු හරස්වීදියේ භාවනා විවේකාශ්‍රමය පිහිටුවා අතිවිශිෂ්ට කාර්යභාරයක් සිදුකර ඇත. බොරලැස්ගමුව දෙහිවල පාරේ දවුල්දෙන ඤාණිස්සර භික්ෂු ගිලන්හලද පිහිටුවා ඇති උන්වහන්සේගේ ශාසනික හා ආගමික සේවාවේ අනගි ප්‍රතිඵල අතර වේ. එකී ආයතනයන්හි ආධිපත්‍යය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙත පවරා ඇති උන්වහන්සේගේ මෙහෙවර ආදර්ශවත් වේ.

උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ කාරක සභික ධූරයට පත්ව ස්වකීය නිකායේ මහානායක ධූරයෙන් පිදුම් ලද උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවියෙන් පිදුම් ලැබූහ. ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙන් ග්‍රන්ථ විශාරද උපාධියෙන්ද විද්‍යෝදය පිරිවෙන මගින් සංස්කෘත චක්‍රවර්තී හා සුමංගල විද්‍යාවතංස ගෞරව නාමයෙන්ද සම්මානිත වූ උන්වහන්සේ අමරපුර මහා සංඝ සභාව මගින් “භාෂාන්තර විශාරද ජින ශාසන කීර්ති ශ්‍රී” ගෞරව සම්භාවනවට පාත්‍ර කෙරිණි.

ස්‍යාමෝපාලි වංශික ශ්‍රී රෝහණ සංඝ සභාව මඟින් “දෛවි භාෂා විශාරද” ගෞරව නාමයෙන්ද පිදුම් ලද දවුල්දෙණ ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ සංඝ සභාව මඟින් ‘සාහිත්‍යසූරී’ සම්මානයෙන්ද උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාව මගින් ‘ත්‍රිපිටකාචාර්ය’ හා ‘මහෝපාධ්‍යාය’ නාමයන්ගෙන්ද ඌව අමරපුර නිකාය, උඩරට අමරපුර මහා නිකාය, ඌව උඩුකිඳ අමරපුර නිකාය, උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාව මඟින් ‘ශාසනවංසාලංකාර පරියත්තිධජ’ නාම සම්මුතියෙන් පුදනු ලැබූහ. අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය මගින් “සංස්කෘත සාහිත්‍ය සරස්වතී” සම්මානයෙන් ද අමරපුර මහා නිකායේ එක්නැලිගොඩ පාර්ශ්වය මඟින් ෂඩ්භාෂා පරමේශ්වර මහා මහෝපාධ්‍යාය නාමයෙන්ද උන්වහන්සේ පුදනු ලැබූහ. ආසියානු බෞද්ධ සම්මේලනය මගින් ‘සාම රන්පදක්කම’ පුදා උපහාර පුදන ලදී. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මගින් දෛවිභාෂා පරමේශ්වර ගෞරව නාමයෙන් හා බුරුම රජය මගින් අග්ග මහා පණ්ඩිත උපාධිය පුදනු ලැබූහ. රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, එංගලන්තය, ඉන්දියාව, මොංගෝලියාව, ඕස්ටේ‍්‍රලියාව, සිංගප්පූරුව, මියන්මාරය, ඉන්දුනීසියාව, තායිවානය ආදී පෙර අපර දෙදිග රටවල ධර්මදූත සේවාවෙහි නිරත වෙමින් සිදුකර ඇති මෙහෙවර පැසසිය යුතු වේ.

භාෂා සාහිත්‍යයෙහි මෙන්ම ධර්ම ශාස්ත්‍රීය උදාර මෙහෙවරෙහි නිරත වු දවුල්දෙණ ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුනඹරේ ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි.

දවුල්දෙණ ඤාණිස්සර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 102 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා මෙම මස 30 වන දා නුගේගොඩ පාගොඩපාරේ විද්‍යා විජයාරාමයේ දී බෝධි පූජා පින්කමක්ද පසුදා තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමද දවල් දෙසියනමක් මහ සඟරුවන උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පිරි නැමේ. දවුල්දෙණ ඤාණස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් බලයෙන් තවත් දිගු කලක් ලෝසසුන් වැඩ සලසන්නට කායික මානසික ශක්තිය ලැබේවායි දිගාසිරි පතමු.

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 28 වන දා බදාදා පූර්ව භාග 10.36 ට ලබයි. 29 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 28 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 05 වනදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]