Print this Article


දානය සහ අතහැරීම

දානය සහ අතහැරීම

අප ඉල් පුර පසළොස්වක පෝදා මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකයේ විභංග වර්ගයට අයත් දක්ෂිණ විභංග සූත්‍ර දේශනාවෙහි අදහස තේරුම් ගැනීම ආරම්භ කළ අතර තථාගත බුදුරජාණන් වහන්සේ තවදුරටත් මහා ප්‍රජාපතී ගෝතමි දේවියගේ මනස ධර්මය නම් වූ ක්ෂීරපායාසයෙන් සුවපත් කළ ආකාරය, එය උතුම්ම සුවපත් කිරීම බව, ප්‍රති උපකාර කිරීම බව පැහැදිළිකොට දේශනාවෙහි කරුණු දක්වනවා.

බුදුරජාණන් වහන්සේගේ අදහසත්, ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් පවසන ලද්දත්, මේ අදහස් පෙළ කියවන අපට කරුණාවත්, මෛත්‍රීයත් ඉන් අනතුරුව ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය සොයාගෙන යන ගමනකට උදව් කරන බවත්, අපේ සිත නතු කරන බවත් පැහැදිලි වෙනවා.

තථාගත බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අදහස් පෙළ අසා සිට මෙසේ සඳහන් කරනවා. ආනන්දය, එය එසේය එය සත්‍යයයි. ආනන්දය, යම් හෙයකින් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු මුණ ගැසුණොත් එසේ මුණගැසී බුදුන්, දහම්, සංඝයා සරණ ගියේ වේද? ආනන්දය, මේ පුද්ගලයා හට මේ පුද්ගලයා විසින් උපකාර සංඛ්‍යාත මනා ප්‍රති උපකාර නොකට හැකි යැයි කියමි. කුමන ආකාරයකින් ද? අභිවාදන කිරීමෙන් එනම් වන්දනා කිරීමෙන්, උපස්ථාන කිරීමෙන්, ඇඟිලි බැඳ ගෞරව කිරීමෙන්, ඒ වගේ ම යහපත් වූ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් කටයුතු කිරීමෙන්, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බේත්හේත්, පරිෂ්කාර යන මේවා දී මෙනුයි.

මෙහි දී තවදුරටත් අප විසින් පැහැදිළි කරගත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහි සඳහන් කරනු ලැබුයේ. යම් පුද්ගලයෙක් යම් පුද්ගලයෙක් මුණ ගැසී බුදුරජාණන් වහන්සේ සරණ ගොස් ධම්ම රත්නය, සංඝ රත්නය, සරණ ගොස්, එසේ සරණ යන්නට උපකාරී වූ ඒ පුද්ගලයාට ප්‍රත්‍ය උපකාර කොට නිදහස් වෙන්නට යැයි කිව නොහැකියි. කුමන දේවල් ප්‍රතිඋපකාර හැටියට සිදුකිරීමෙන් මා ප්‍රතිඋපකාර කළා යැයි සැනසෙන්නට නොහැකි වේද?

එනම් වන්දනා කිරීමෙන්, ඇඟිලි බැඳ ගෞරව කිරීමෙන්, කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන්, ඇසුරු කරමින්, වචන පවසමින් ද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පරිෂ්කාර පූජා කිරීම ආදියෙනුයි. මේ අදහස් පෙළින් සඳහන් කරන්නේ කුමක් ද? එනම් බාහිර වස්තු නැවත යමක් දීමට වඩා ඒ උතුම් චතුරාර්ය සත්‍යය ධර්ම මාර්ගය අනුගමනය කිරීමත්, එසේ අනුගමනය කරමින් එයට අවශ්‍ය පසුබිම සකස්කොට ගැනීමත් වඩාත් ම වූ කුසල මාර්ගයක සිත යොමු කිරීමත් යන අදහසයි.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරනවා. ආනන්දය, යම් හෙයකින් පුද්ගලයෙක් පුද්ගලයෙකු මුණ ගැසී ප්‍රාණඝාතයෙන්, සොකරමින්, කාමය වරදවා හැසිරීමෙන්, බොරුකීමෙන්, මදය ප්‍රමාදය යන දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූණේ වේද? ආනන්දය, මේ පුද්ගලයා හට මේ පුද්ගලයා විසින් ප්‍රතිකාර නොකොට හැකි යැයි කියමින් එනම් මනාකොට නැවත නැවතත් උපකාර නොකොට හැකියැයි කියමි. කුමකින් ද යත් වන්දනා කිරීමෙන් උපස්ථාන කිරීමෙන් කල්‍යාණ මිත්‍රව කතා කරමින්, ඇසුරු කරමින් ඇඟිලි බැඳ ගෞරව කිරීමෙන්, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් හේත්, පරිෂ්කාර පූජාකිරීමෙන් යන කරුණුවලිනුයි.

ආනන්දය, යම් හෙයකින් පුද්ගලයෙකු පුද්ගලයෙකු මුණ ගැසී බුදුරජාණන් වහන්සේ කෙරෙහි අත්‍යන්ත ප්‍රසාදයෙන් සමන්නාගත වෙනවාද? ධර්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි අත්‍යන්ත ප්‍රසාදයෙන් සමන්නාගත වෙනවාද? ආර්යකාන්ත සීලයෙන් සමන්නාගත වෙනවාද? ආනන්ද, මේ පුද්ගලයා හට පුද්ගලයා විසින් ප්‍රති උපකාර නොකට හැකි යැයි කියමින්, කුමකින් ද යත් අභිවාදනය හෙවත් වන්දනා කිරීමෙන් උපස්ථාන කිරීමෙන් ඇඟිලිබැඳ ගෞරව කිරීමෙන්, කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන්, කතා කිරීමෙන්, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් හේත් හා පරිෂ්කාර දීමෙන් හෝ පිළිගැන්වීම් ආදියෙනුයි.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා. ආනන්දය, යම් හෙයකින් පුද්ගලයෙක් පුද්ගලයෙකු මුණ ගැසී දුක්ඛ සත්‍යයෙහි, දුක්ඛ සමුදය සත්‍යයෙහි, දුක්ඛ නිරෝධ සත්‍යයෙහි, දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදා සත්‍යයෙහි සැක නැති වේද? ආනන්ද, මේ පුද්ගලගයාට මේ පුද්ගලයා විසින් ප්‍රති උපකාර නොකොට හැකි යැයි කියමින් එනම්, වැඳීමෙන්, හුනස්නෙන් නැගිටීමෙන්, ඇඟිලි බැදීමෙන්, සාමීචි කර්ම කිරීමෙන්, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පරිෂ්කාර දීම යන ආදියෙනුයි.

භාග්‍යවතුන් වහන්සේ විසින් උත්තරීතර වූ ප්‍රති උපකාරය මනා උපකාර කිරීම පැහැදිළි කරන බව අපට වැටහෙනවා. දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලබන මනුෂ්‍යයන්ට අති දුර්ලභ වූ බුද්ධ ශාසනය මුණ ගැසීම මහත් වූ භාග්‍යයකි. ඒ අති දුර්ලභ වූ බුද්ධ ශාසනය තෙරුවන් සරණ යෑම වශයෙනුත් උතුම් වූ ආර්යකාන්ත සීලයේ පිහිටීම වශයෙනුත් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයෙහි මඟ එළිපෙහෙලි කර ගන්නටත් අවස්ථාව සැළසෙනවද ඒ උතුම්ම භාග්‍යවත් වූ අවස්ථාවකි. ඒ අවස්ථාව සලසා දුන් අය වෙනුවෙන් වැඳීම, දකිනවිට අසුනෙන් නැගිට ගරු කිරීම, ඇඟිලි බැඳගෙන සිටීම කල්‍යාණවන්ත වූ ආශ්‍රය, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් හේත්, අනිකුත් අවශ්‍ය දෑ හෙවත් පිරිකර දීමෙන් පමණක් උපකාර කළ නොහැකියි. ප්‍රත්‍ය උපකාර කළ නොහැකියි. එනම් අති දුර්ලභ වූ මේ සම්බුද්ධ ශාසනය මුණ ගැසීමෙන් ලැබිය හැකි වූ උතුම්ම දායාදය ලෙස දක්වන ඝෝර වූ සසරින් සදහට ම බැහැරවන සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය සිදු කිරීමයි. ඒ කෙලෙසුන්ගේ නැසීම තමා තුළින් ම ඇති කර ගැනීමයි. ඒ සඳහා උපකාර වන හේතුප්‍රත්‍ය වන පිළිවෙත් මාර්ගය අනුගමනය කළ යුතුමයි. එය මූලික වශයෙන් දාන, සීල, භාවනාව වශයෙනුත්, පරමාර්ථ ධර්මයේ දී සීල, සමාධි, ප්‍රඥා වශයෙනුත් එය තවදුරටත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය චතුරාර්ය සත්‍ය ධර්මය නිවන හැටියටත් කෙටියෙන් පැහැදිළි කොට ගත හැකියි.

තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මින් අනතුරුව දානය හෙවත් දීම, පරිත්‍යාගය අවසන තෘෂ්ණාවෙන් අත්මිදීම නම් වූ අතහැරීම පිළිබඳව මෙසේ විස්තර කොට දේශනා කරනවා.

ආනන්දය, වෙන් වෙන් වශයෙන් පුද්ගලයා කෙරෙහි පිහිටි මේ දාන හෙවත් දක්ෂිණාවෝ තුදුසකි එනම් දහ හතරකි. කවර තුදුස් දෙනෙක් ද යත්,

අරහත්, තථාගත, සම්‍යයක් සම්බුදුරජාණන් වහන්සේ විෂයෙහි දන් දෙයි එනම් මේ පළමුවන පුද්ගලික දක්ෂිණාවයි.

පසේ බුදුරජාණන් වහන්සේ විෂයෙහි දන් දෙයි.

අරහත් තථාගත ශ්‍රාවකයා විෂයෙහි දන් දෙයි.

රහත් ඵලය ප්‍රත්‍යක්ෂ කරන්නට මාර්ගයට බැස ගත් ශ්‍රාවකයා විෂයෙහි දන් දෙයි

අනාගාමී වූ පුද්ගලයාට දන් දෙයි

අනාගාමී ඵලය පසක් කරන්නට පිළිපන්නා වූ පුද්ගලයා කෙරෙහි දන් දෙයි

සකදාගාමී වූ හට දන් දෙයි

සකදාගාමී ඵලය පසක් කරන්නට පිළිපන්නා වූ පුද්ගලයා කෙරෙහි දන් දෙයි

සෝවාන් වූ පුද්ගලයා කෙරෙහි දන් දෙයි

සෝවාන් ඵලය පසක් කරන්නට පිළිපන්නා වූ පුද්ගලයා කෙරෙහි දන් දෙයි

කාමයෙහි බැහැර කළ ඇලීම් ඇති අන්‍යය බාහිර වූ තාපසයන් කෙරෙහි දන් දෙයි

පෘතග්ජන එනමුත් සිල්වතා කෙරෙහි දන් දෙයි

පෘතග්ජන වූ එනමුත් දුසිල්වත් වූ පුද්ගලයා කෙරෙහි දන් දෙයි

තිරිසන් සතාටත් දන් දෙයි

භාග්‍යවතුන් වහන්සේ විසින් පුද්ගලික දාන දාහතරක් පිළිබඳව මෙහි දී විස්තර කොට දේශනා කරයි. අපි පසු අවස්ථාවක මේ එක් එක් කරුණ පිළිබඳව වෙන් වෙන්ව විස්තර කරන්නට බලාපොරොත්තු වෙමින් සූත්‍ර දේශනාවේ ඊළඟ කරුණ කෙරෙහි අවධානය යොමු කරමු.

මෙහි තවත් කොටසක් ඉල් අමාවක (නොවැම්බර් 28) පෝදා පළ වේ.