Print this Article


තමා උසස් යැයි සිතීම විනාශයට හේතුවක්

තමා උසස් යැයි සිතීම විනාශයට හේතුවක්

ලාභය නො සෙවීම නිවන් අවබෝධය පිණිස වේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය පන්සාළිස් වසක් මුළුල්ලේ දේශනා කළේ සියලු සත්ත්වයින් සසරින් එතෙර කිරීම සඳහා ය. එයින් එතෙර වී නිවනට යන මාර්ගය පෙන්වා දුන් උන්වහන්සේට වුවද කෙනෙක් නිවනට කැඳවාගෙන යාමට නොහැකිය. ඒ සඳහා අධිෂ්ඨානශීලි විය යුත්තේ නිවන් අවබෝධය පිණිස උත්සාහවත්වන පුද්ගලයාම ය.

තුම්හෙහි කිච්ඡං ආතප්පං
අක්ඛාතාරො තථාගතා
පටිපන්නා පමොක්ඛන්ති
ඣායිනො මාරබන්ධනා

කෙලෙස් දැවීම හා තැවීම පිණිස තමන්ම වීර්යය වැඩිය යුතුය. තථාගතයන් වහන්සේ වනාහි නිවන් ලබන පිළිවෙත වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියාදෙන්නෙකු පමණි. කිසිවෙකුගේ අතින් අල්වාගෙන මේ නිවන යැයි නොපමුණුවති. එම නිසා සමථ විදර්ශනා භාවනා වඩා වෙසෙන යම් කෙනෙක් වේ නම් ඔහු කර්මවාට, ක්ලේෂ වාට, හා විවා වාට යන තුන් ආකාර වූ මාර බැම්මෙන් මිදෙන්නාහුය” යනුවෙන් බුදුන් වහන්සේ විසින්ම දේශනා කරනු ලැබ තිබේ.

ඉහත කරුණ පදනම් කරගෙන කිසිවෙකුට නිවන කෙරෙහි අරමුණක් නොමැතිව එහි යාමට නොහැකි බව පැහැදිලිය. එහෙත් වර්තමානයේ ඇතැම් පිරිස් දෙස බලන කළ ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ වෙනත් මග ඔස්සේ ගමන් කරමින් මූලික අරමුණ අමතක කර දැමීමකි. බුදුන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට මෙලොව වසන තැනැත්තෝ දෙපිරිසකි. එක් අයෙක් ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරති. තවකෙනෙක් නිවන් මග යති. (අඤ්ඤාහි ලාභූපනිසා අඤ්ඤා නිබ්බානගාමිණී–ඛුද්දකනිකාය, ධම්මපද පාලි බාලවග්ග)

ලාභ අපේක්ෂාවෙන් ගමන් කරන තැනැත්තාගේ ස්වභාවය වන්නේ, තමන්ට යම් දෙයක ලාභයක් ලැබෙන්නේ නම් කරන කාර්යය පිළිබඳ වැඩි තැකීමක් නොකිරීම ය. එවැනි අනුවණකමින් ජීවත් වන කෙනා අවසානයේ තමාගේ විනාශය කරා ගමන් කරයි. එම නිසා මෙලොව වසන ගිහි පැවිදි දෙපිරිස ම සිදු කරන කාර්යයන් පිළිබඳ මනා වැටහීමක් ඇතිව කටයුතු කළ යුතුය. ගිහි පැවිදි දෙපිරිස විසින්ම නොසිතිය යුතු දේශනාවක් බුදුදහමෙහි ඇතුළත් වේ.

මමෙව කත මඤ්ඤන්තු
ගිහී පබ්බජිතා උභො
මමෙව අතිවසා අස්සු
කිච්චා කිච්චෙසු කිස්මිචි
ඉති බාලස්ස සංකප්පො
ඉච්ඡා මානො ච වඩ්ඪති

පන්සල් බිමක විහාරය , පොහෝ ගෙය, ලැඟුම් ගෙය, චෛත්‍යය , බණ ශාලාව ආදි විවිධාකාර ගොඩනැඟිලි ඉදි වී තිබේ. අනුවණ කෙනෙක් කියන්නේ, නැතිනම් සිතන්නේ මේ සියල්ල එක්කෝ මා විසින් නැතහොත් මාගේ වචනයෙන් ඉදිවුණ ඒවා කියා ය. පූජනීය ස්ථානයක් වන පන්සලක එවැනි යමක් තමා ගොඩ නැඟුවේ නම් ඒ පිළිබඳ පුරසාරම් කියමින් කටයුතු කිරීම ගිහි පැවිදි දෙපිරිසටම සුදුසු නොවේ. එසේම ඒ ස්ථානයන්හි සිදුවන කුදුමහත් කටයුතු වලදි තමන් යටතේ සියල්ල සිදු විය යුතු යැයි ද නොසිතිය යුතුය. මෙසේ කටයුතු කරන්නේ නම් එම තැනැත්තා බාලයෙකි. ඔහුගේ තිබෙන්නේ ඒ දේ කෙරෙහි ඇති ආශාව හා එයින් ඇති වන්නා වූ මානය පමණි.

මෙබදු අනුවණ ක්‍රියාවන් හි පවතින්නේ යම් ලාභ අපේක්ෂාවක් බව බුද්ධිමත් කෙනෙකුට වැටහෙයි. ලාභ සත්කාර අපේක්ෂා කිරීම ඉතා දරුණු වූවක් බවත්, එය නිවන් අවබෝධය පිණිස අන්තරායකර වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ.

“දාරුණො භික්ඛවෙ ලාභසක්කාරසිලොකො කටුකො ඵරුසො අන්තරායිකො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය” (සංයුත්තනිකාය දාරුණ සුත්තං)

මහණෙනි, ලාභසත්කාර, වර්ණනා ආදිය පැතීම කටුක වූ, ඵරුස වූ උතුම් යෝගක්ඛේම වූ නිවන සාක්ෂාත් කිරීමට අන්තරායකර වේ. එබැවින් සියලු දෙනා එම තත්ත්වය නැතිකොට නිවන් අරමුණු කරගෙන හික්මීමක් ඇතිකර ගත යුතු වේ)

යම් කිසි දෙයක් සිදු කිරීමෙන්, යමක් බලාපොරොත්තු වන්නේ නම් එය මිච්ඡා ආජීවයක් (වැරදි දිවි පෙවෙතක්) බව බුදුරදුන් විසින් පෙන්වා දී තිබේ. (ලාභෙන ලාභං නිජිගීසනකො අයං භික්ඛවෙ මිච්ඡා ආජීවො, මජ්ක්‍ධිම නිකාය මහාචත්තාරීස සුත්තං)

යම් දෙයක ලාභයක් අපේක්ෂා නොකරන තැනැත්තා ගුණධර්ම පහකින් සමන්විත වන බවද පෙන්වා දී තිබේ. හේ

1. කුහකයෙකු නොවේ

2. ලාභාපේක්ෂාවෙන් කථා කියන්නෙක් නොවේ

3. නිමිති කියන්නෙක් නොවේ

4. අනුන්ගේ ගුණ ලාභාදිය නසන්නෙකු නොවේ

5. අන් අයට අමනාප වූවෙක් නොවේ

ලාභයකින් උඩඟු වීමත්, අලාභයකින් කම්පා වීමත් නොවන එම දෙකෙහිම එකම ආකාරයෙන් සිතන යමෙක් වේ නම් ඒ මාගේ භවත් ශ්‍රමණ ගෞතමයන් පමණක් බව චූල සුභද්දාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

ලාභෙන උන්නතො ලොකො
අලාභෙන ච ඔනතො
ලාභාලාභෙන එකට්ඨා
තාදිසා සමණා මම

බුදුරදුන් මෙවැනි කෙනෙක් බව අන් අය අවබෝධ කර ගත්තේ නම් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වන ගිහි පැවිදි සියලු දෙනා ද එවැනි පුද්ගලයන් වීමට කල්පනා කළ යුතු ය.

ඉහතින් සඳහන් කළ කරුණු පදනම් කරගෙන යම් ලාභයක් හෝ කීර්තියක් හෝ බලාපොරොත්තුවෙන් යමෙක් කටයුතු කරයි නම් ඔහු බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් නිවන් මගේ යන්නෙකු නොවන්නේය. මෙය භික්ෂූන් වහන්සේලාට දේශනා කරන ලද්දක් වුවත් ගිහි , පැවිදි දෙපිරිසටම එක සේ බලපානු ලැබේ. සියලු දෙනා විසින් කල්පනා කළ යුතු වන්නේ බුදුරදුන් පෙන්වා දුන් නිවන් මගේ ගමන් කිරීමට උත්සාහ දැරීම ය. ඒ සඳහා පුද්ගලයා තුළ උත්සාහය, සිහිය, යහපත් කටයුතු කිරීම, දැමුණු සිත් ඇත්තෙකු වීම නිරන්තරයෙන් තිබිය යුතුය. එයින් පරිබාහිරව යමෙක් කටයුතු කරන්නේනම් නිවන ආවරණය කරගෙන වැරදි මාර්ගයේ ගමන් කරන්නෙකු වන්නේය.

ඒ අනුව වර්තමානයේ සිටින පුද්ගලයන්ගෙන් ඇතැමෙක් ලාභාපේක්ෂාවෙන් ගමන් කරමින් කටයුතු සිදු කරති. ඔවුන්ගේ ස්වරූපය වන්නේ තමාගේ ලාභය වෙනුවෙන් අන් අයට කුමක් වුවත් කම් නැත යන්නයි. ඒ වෙනුවෙන් තමන් විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් සමාජයයේ අන් අයගේ යහපත පිණිස හෝ අයහපත පිණිස පවතින්නේද, නැතහොත් එම ක්‍රියාව ගැලපේද නොගැලපේ ද යන්න පවා කල්පනා නොකරයි. අන් අයට හිංසාකාරී වන ආකාරයට කටයුතු සිදු කිරීම මොවුන්ගේ ක්‍රියා පිළිවෙතෙහි එක් අංගයක් වන්නේ ය. වෙනත් කෙනෙක් හරි මාර්ගය කියා දීමට උත්සාහ ගන්නේ නම් ඔහු කෙරෙහි ද්වේශය , තරහව, වෛරය, ක්‍රෝධය වැනි නුගුණ දම් ඉස්මතු කරමින් කටයුතු කිරීමට පෙළඹෙයි. එය තමන්ටත් අනුන්නටත් අවැඩ ක්‍රියාවක් වේ. ඔවුන් පිළිබඳව අන් ජනයා කෙරෙහි කලකිරීම් ඇති කරවීමට කටයුතු යොදයි. තමා කරන ක්‍රියාවන් නිතරම නිවැරදි බව වටහාගෙන ක්‍රියා කිරීම මොවුන්ගේ පිළිවෙතයි. කෙනෙකු යටපත් කොට තමා උසස් යැයි සිතීම තමාගේම විනාශයට හේතුවක් වන බව කල්පනා නොකරයි. මෙය ඉහතින් සඳහන් කළ අනුවණ පුද්ගලයාගේ ගති ස්වභාවයකි.

මේ තත්ත්වය හරිහැටි අවබෝධ කරගෙන තමා කවුරුන්ද යන්න මැනවින් වටහාගෙන ක්‍රියා කිරීමෙන් තමාට මෙන් ම අන් අයටද යහපතක් වන්නේ ය. සම්‍යක් දෘෂ්ටියෙන් කරුණු අවබෝධ කරගෙන යහපත් දිවි පෙවෙතක් ගත කිරීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උගන්වා ඇත. එම මාර්ගයෙහි යන තැනැත්තා නිර්වාණගාමී ප්‍රතිපදාවේ නියුතු වූවෙක් වන්නේ ය.