Print this Article


මැල්සිරිපුර තලංගමුව වළගම්බා රජමහා විහාරය

මැල්සිරිපුර තලංගමුව වළගම්බා රජමහා විහාරය

ලෙන් ආශි‍්‍රත විහාර මන්දිරය

ශෛලමය හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ

කුරුණෑගල දඹුල්ල මාර්ගයේ මැල්සිරිපුර නගරය පසුකරත්ම හමුවන මැදමුල්ල රජයේ පාසල අසලින් මඩහපොල මාර්ගයේ කිලෝමීටර් තුන කණුව පසුවත්ම වම්පස ඇති මාර්ගයේ කිලෝමීටර් තුනක් ගමන් කළ විට කෙත්වත් වටකර ගත් රමණීය ගල්තලාවක් මත පිහිටි ඓතිහාසික තලංගමුව රජමහ විහාරය දිස්වේ. පෞරාණික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මෙම ඓතිහාසික තලංගමුව වළගම්බා රජමහා විහාරය,වළගම්බා මහ රජතුමා විසින් ඉදිකරන ලද්දක් බව විහාර ආශි‍්‍රත ආගමික සාධක කියාපායි. වයඹ පළාතේ පුරාවිද්‍යාත්මක හා පෞරාණික වටිනාකමක් ඇති සිද්ධස්ථාන අතර මෙම සිද්ධස්ථානයට කරුණු රැසක් මුල්කර ගෙන හිමිවන්නේ සුවිශේෂ තැනකි.

බුද්ධ ප්‍රතිමා වහන්සේලා පිරිවරාගත් ශෛලමය පරිනිර්වාණ බුද්ධ ප්‍රතිමා වහන්සේ, ඉපැරැණි විහාර මන්දිරය , පැරැණි බෝධින් වහන්සේ, තායිලන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත චෛත්‍යය, පැරැණි ඝන්ඨාර ස්ථම්භය පැරැණි දේවාල සංකීර්ණය සහ සංඝාවාය මෑතක නිම කරන ලද උඩුගම ශ්‍රී රතනපාල බුද්ධ රක්ඛිත අනුස්මරණ ශාලාව ඇතුළු ආගමික වටපිටාවකින් පිරි තලංගමුව වළගම්බා රජමහ විහාරයේඅනාගත චිරස්ථිතිය වෙනුවෙන් වළගම්බා මහ රජතුමා විසින් විහාරයේ පුද පූජාවන් සඳහා තඹ සන්නසකින් ඉඩම් පූජා කර ඇති බව සඳහන් වේ. තවද විහාරය ආශි‍්‍රත ඇති වැවක්ද කුඹුරු යායක්ද අස්වද්දා පූජා කර ඇති බවද ප්‍රකාශ වේ.

පැරැණි දේවාලයක නටබුන්ද දක්නට ඇති අතර ඒ ආශි‍්‍රත පැරැණි ශිලා ලේඛන කිහිපයක්ද ,ලෙන් විහාර ආශි‍්‍රතව ඇති බ්‍රාහ්මි අක්ෂර කටාරන් මගින් ආරක්ෂා කර ඇති බව පෙනෙන්නට ඇත. අපවත්වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශී‍්‍ර රතනපාල බුද්ධරක්ඛිත මහ නා හිමියන්ගේ ආධිපත්‍යයෙන් විහාරයේ ඇතිවූ ශාසනික දියුණුව, හා විහාර සංවර්ධන කටයුතු

අස්ගිරිය, මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සභික වඳුරාගල ධම්මාරාම හිමියන් විසින් සිදු කරගෙන යනු ලබන්නේ දායකයින්ගේ ආධාරයෙනි. තායිලන්ත බුද්ධ ප්‍රතිමාව සහිත චෛත්‍යය මෙහි තවත් විශේෂතාවයකි. උඩුගම ශී‍්‍ර බුද්ධ රක්ඛිත මාහිමි ගුණානුස්මරණය කිරීම සඳහා ඉදිකරන ලද ගුණසමරු ශාලාව මහ නා හිමි වර්ෂ පූර්ණ ගුණසමරු පින්කම මුල්කරගෙන 2015.08.14 වෙනි දින විවෘත කිරීමත් සමඟම අංග සම්පූර්ණ ධර්ම ශාලාවක අඩුපාඩුව පිරිමැසී ඇත. තලංගමුව වළගම්බා රජ මහා විහාරයේ වත්මන් ශාසනික ප්‍රබෝධයේ දියුණුව ඉදිරියටත් පවත්වාගෙන යෑමට වඳුරාගල ධම්මාරාම හිමියන්ගේ කැපවීම ගිහි පැවිදි දෙපිරිසගේ පැසසුමට ලක් වී ඇත.

උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමි අනුස්මරණය කිරීම් වස් ඉදිකරන ලද මාහිමි අනුස්මරණ ශාලාව
 

නව චෛත්‍යරාජයාණන් වහන්සේ