Print this Article


අසිරිමත් පරිසරයකට මැදිවූ ලුනුඅටුලෑව ශ්‍රී සද්ධර්ම ජෝතිකාරාමය

අසිරිමත් පරිසරයකට මැදිවූ ලුනුඅටුලෑව ශ්‍රී සද්ධර්ම ජෝතිකාරාමය

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලුනුඅටුලෑව ශ්‍රී සද්ධර්ම ජෝතිකාරාමය ලුනුඅටුලෑව වැව පාමුල ඉතා රමණීය පරිසරයක පිහිටා තිබේ.

වියළි කලාපයේ කර්කෂ ප්‍රදේශයක පිහිටි මේ විහාරස්ථානයට නුදුරින් ස්වභාව ධර්මයා විසින් දායාද කරන ලද දිය උල්පත්වන ගරදි උල්පත, හා කළවැදි උල්පත පිහිටා තිබෙන්නේ ස්වභාව ධර්මයේ අපූරු දායාදයක් ලෙසිනි. වසර මුලුල්ලේම මේ උල්පත් නිල්වන් දිය දහරාවන් නිසොල්මනේ අවට පරිසරයට මුදාහරී.

ජුනි , අගෝස්තු මාසවලදී මේ ප්‍රදේශයට බලපවත්වන දැඩි නියඟය ද මේ දිය උල්පත්වල ක්‍රියාකාරිත්වය නිසා එතරම් නොදැනේ.

කිරිමැටියාවේ ජිනසෝභන හිමියන්ගේ නායකත්වයෙන් 1954 වසරේදී මෙම විහාරස්ථානය ආරම්භ කෙරිණි.

ලුනු අටුලෑව, කිරි කෙටුවැව, සිංහල ඇටවීර වැව , කළවැදි උල්පත, ගරදි උල්පත, ගල්කඩවල යන ගම්මානවල වෙසෙන බෞද්ධ ජනතාවගේ ආගමික හා සාසනික සේවාවන් සියල්ලක්ම පාහේ ඉටු කරනු ලබන්නේ මේ විහාරස්ථානය මගිනි.

කිරිමැටියාවේ ජිනසෝම නා හිමියන්ගේ අපවත්වීමෙන් පසු උන්වහන්සේගේ ගෝල හිමිනමක් වන ලුණුඅටුලෑවේ සීල සෝභන හිමියෝ විහාරස්ථානයේ නායකත්වයට පත්වෙති. උන්වහන්සේගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ දායක දායිකාවන්ගේ පූර්ණ සහයෝගය ඇතිව විහාරස්ථානයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරිණි. 1998 වසරේදී විහාර භූමියේ අභිනවයෙන් ඉදිකෙරුණු විහාරමන්දිරය බොදුනුවන්ගේ සිත් සතන් නිවාලීමට තරම් සමත් වෙයි. බුද්ධ චරිතයේ එන විවිධ අවස්ථා හා බෞද්ධ සාහිත්‍යයේ එන කථා වස්තු හා ජාතක කථා බොහොමයක් මෙහි ඉතා අලංකාරව මූර්තිමත්කර තිබෙන අයුරු දක්නට ඇත.

විහාර කර්මාන්තය සඳහා රුපියල් ලක්ෂ විසිපහක පමණ මුදලක් වැය කෙරුණු බව වත්මන් විහාරාධිපති ලුනුඅටුලෑවේ සීලසෝභන හිමියෝ පවසති.

කුංචුට්ටු කෝරළයේ විහාරස්ථාන අතුරෙන් බෞද්ධ සිත් සතන් නිමේෂයකින් පහන් කිරීමට සමත් වන විහාර කර්මාන්තයක් දක්නට ඇත්තේ ද ලුනු අටුලෑව ශ්‍රී සද්ධර්ම ජෝතිකාරාම විහාරස්ථානයේය.

විහාර භූමියේ ඇති බෝධීන් වහන්සේ සෙවණේ පැවැත්වෙන බෝධිපූජා වලින් ප්‍රදේශවාසීන්ට ඉමහත් සෙතක් ශාන්තියක් සැලසෙන බව ප්‍රදේශවාසීහු පවසති.

පුරපසළොස්වක පොහෝ දිනයන්හිදී විශේෂ සීල සමාදාන හා දහම් වැඩසටහන් පවත්වනුයේ විහාරවාසී ශාස්ත්‍රපති කලවැලි උල්පතේ පියසෝභන හිමියන් විසිනි.

කැබිතිගොල්ලෑව නගරයේ සිට හොරොව්පොතාන ප්‍රධාන මාර්ගය ඔස්සේ කිලෝමීටර් දහයක දුරින් ලුනුඅටුලෑව ශ්‍රී සද්ධර්ම ජෝතිකාරාමය පිහිටා තිබේ.