UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලොව ප්‍රණීත වචනය

ලොව ප්‍රණීත වචනය

මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මහා දාර්ශනිකයාණෝ ගෞතම බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේට කරුණා සිහිල් වූ හද මඬලක් ඇති සේක. (කරුණා සීතල හදයං) ඇවිලගත් ප්‍රඥා ලෝකයෙන් නසන ලද මෝහාන්ධකාරය ඇති සේක. (පඤ්ඤාපජ්ජෝත විහතමෝහතමං) සනරාමර ලෝකගුරු වූ සේක. (සනරාමර ලෝකගරුං) භවගතීන්ගෙන් මිදුණා වූ සුගත තථාගතයාණන් වහන්සේ සසර මං මුළා වූවන්ට සුන්දර වූ ගමන නොහොත් නිර්වාණ ධර්මය පෙන්වා දුන් සේක.සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය වචනයෙන් කියා හෝ ලියා නිමකළ නොහැකි ය. ලෝකයේ අස්සක් මුල්ලක් නෑර උන්වහන්සේගේ සදහම් සිසිලස ගලා ගියේය. බුදු සුවඳ විහිදී ගියේය. එනිසාවෙන් ම ලෝකයේ විවිධ උගතුන්, වියතුන්, ප්‍රාඥයින් විසින් උන්වහන්සේ ගැන සටහන් කොට ඇත්තේ පුදුමාකාර හැඟීමකිනි.

තථාගත කරුණාව

කරුණාවේ ප්‍රතිමූර්තියම වූ මහා කාරුණික තථාගතයාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ම පෙරුම්දම් සැපිරීමට ඉටා ගත්තේ මහා කරුණාවෙන් මෙහෙයවනු ලැබූ සිතින් ම ය. බුදුබවට කරුණාව මුල් වන්නේ එබැවිනි. මෙසේ පෙරුම්දම් පිරීමට මහා බෝසතාණන්වහන්සේ දුක්ඛිත සත්ත්වයින්ට පිහිට වීමට අවකාශ ඇති තිරිසන් භවය පවා ස්වර්ගය ලෙස සැලකූහ. එසේම පරාර්ථ චර්යාවට අවකාශ නැති දෙව් ලොව පවා අපාදුක සේ පිළිකුල් කළහ.

මහා කරුණාවෙන් මෙහෙයවනු ලැබූ සිත් ඇති භාග්‍යවතුන් වහන්සේ සසර මඩ වගුරින් සත්ත්වයා ගොඩගනු පිණිස බුදුබව සඳහා සිත් ඇතිකරගත් සේක.

අනුපිළිවෙළින් පෙරුම්දම් පුරා අනුත්තර වූ සම්මා සම්බෝධි ඥානය සාක්ෂාත් කරන ලදී. සම්බෝධියේ සිට පුරා පන්සාළිස් වසක් තිස්සේ ලෝක සත්ත්වයාට නිවන් මඟ දේශනා කරමින් ජීවමානව වැඩ විසූහ. මුළුමහත් සම්බුදු රජාණන් වහන්සේගේ ඒ ගතකළ ජීවන කාලය ම කැප කොට ඇත්තේ පරාර්ථ චර්යාව ම අරමුණු කරගෙනය.

මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේද තථාගතයාණන් වහන්සේම ය. සත්ත්වයන්ට අනුශාසනා කරන බැවින් සත්ථා හෙවත් “ශාස්තෘ” නම් වේ.

තවත් විවරණයකදී පැහැදිලි වන්නේ ශාස්තෘ ධර්ම නැමැති පිරිසුදු වතුරෙන් කෙලෙස් නැමැති මඩ සෝදා හරින හෝ දේශිත ධර්මයන් ඇසීමට සත්ත්වයා කැමැතිවේය යන අදහසින් “ශාස්තෘ” නම් වන බවයි.

මේ අයුරින් පැහැදිලි වන්නේ ආධ්‍යාත්මික සංවර්ධනයේ ඉහළ ම තලයක සිටියා වූ ද, ගුරුවරයෙකු වශයෙන් එකී ආධ්‍යාත්මික සංවර්ධනය පැහැදිලි කරන්නා වූ තැනැත්තාට “ශාස්තෘ” නාමය භාවිත වන බවයි.

බුදුරජුන් සතු ගුණ

දීඝ නිකායේ මහා ගෝවින්ද සූත්‍රයට අනුව ශක්‍ර දේවේන්ද්‍රයන් තව්තිසා වැසි දෙවියන් අමතා ප්‍රකාශ කරන්නේ වෙනත් ශාස්තෘවරයෙකු කෙරෙන් ප්‍රකට නොවෙන ගුණ අටක් බුදුරජාණන් වහන්සේ කෙරෙන් විද්‍යාමාන වන බවකි.

1). ලෝකානුකම්පාවෙන් යුතුව බොහෝ දෙනාගේ හිතසුව පිණිස ක්‍රියා කිරීමට ඉදිරිපත්වීම (බහුජනහිතාය පටිපන්නං බහුජනසුඛාය ලෝකානුකම්පකාය)

2). තමා ම අවබෝධ කළ යුතු දහමක් දේශනා කිරීම (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි)3). කුසල් අකුසල් පිළිබඳ මැනවින් දේශනා කිරීම (ඉදං කුසලන්ති ඛෝ පන තේන භගවතා සුපඤ්ඤත්තං ඉදං අකුසලන්ති සුපඤ්ඤත්තං)

4). නිසැකව ම නිවන් අවබෝධ කළ හැකි මඟක් පෙන්වා දීම (සුපඤ්ඤත්තා ඛෝ පන තේන භගවතා සාවකානං නිබ්බානගාමි පටිපදා)

5). මද ප්‍රමාදයන්ගෙන් තොරව ආහාර වැළදීම (විගතමදෝ ඛෝ පන සෝ භගවා ආහාරං ආහාරේති)

6). ආශි‍්‍රත පිරිස මැද දී වුවද සිතින් ඔවුන්ගෙන් වෙන්ව වැඩ සිටිය හැකිවීම (ඒකාරාමතං අනුයුත්තෝ විහරති)

7). යථාවාදී, තථාකාරී, යථාකාරී, තථාවාදී වීම (යථාවාදී ඛෝ පන සෝ භගවා තථාකාරී යථාකාරී තථාවාදී)

8). සැකයෙන් තොරව අභිමතාර්ථ සාධනය කරගෙන තිබීම (තිණ්ණ විචිකිච්ඡං විගත තථංතථං) මෙකී කරුණු සමුදාය නිසා සමකාලීන සියලු ම ශාස්තෘවරුන් අභිභවනය කරමින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශාස්තෘත්ත්වය ඉස්මතු වී ඇත.

ලොව සුන්දරතම වචනය

එසේ ගුණයන්ගෙන් පරිපූර්ණ වූ අපගේ ශාස්තෘන් වහන්සේ උන්වහන්සේ විසින් තමන් වහන්සේගේ ගුණ කැටිකොට වදාළ සේක. එහිදී “අරහං” ගුණය උන්වහන්සේ වඩාත් ඉස්මතුකොට ඇත. අරහං යන වචනයේ සාමාන්‍ය අදහස නම් “සුදුසු ය” යන්නයි. බුදුරජාණන් වහන්සේ දක්ෂිණාව පිළිගැනීමට සුදුසු ශ්‍රේෂ්ඨතම උත්තමයා ය. එබැවින් අරහං නම් ලෙස සඳහන් ය.

ආරකතත්තා භතත්තා ච – ක්ලේසාරී නයෝ මුනී
හත සංසාර චත්තාරෝ - පච්චයාදිනා චාරහෝ
න රහෝ කරෝති පාපනි – අරහං තේන වුච්චති

ඒ භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් කෙලෙස් සතුරන් නැසූ හෙයින්ද, සංසාර චක්‍රයාගේ ගරාදි සිඳ දැමූ හෙයින් ද චීවරාදී ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු වන හෙයින්ද, “අරහං” යැයි කියනු ලැබේ.

අනුත්තරං ධම්මචක්කං ච ආණාචක්කං ච පවත්තෙතුං අරහාතීති යනුවෙන් අනුත්තර වූ ධර්ම චක්‍රය හා ආඥා චක්‍රය පැවැත්වීමට සුදුසුය යන අර්ථයෙන් ද තථාගතයන් වහන්සේ අරහං නම් වේ යැයි සඳහන්ය. ලොව සුන්දර සහ ප්‍රනීත වචනය වන අරහං ගුණය පිළිබඳව අප දීර්ඝව විස්තර ඉගෙන ගැනීම ඔබගේ දෙලොව යහපතට උපකාරි වනු ඇත.

වචී සංවරය

සාමාන්‍ය සමාජයේ ඇතැම් අය වචී සංවරය නොමැතිකමින් මේ වටිනා වචනය වැරදි ලෙස ව්‍යවහාරයෙහි යොදන අවස්ථා ඇත. “මට නම් දැන් එයා අරහං වෙලා ඉන්නේ” මට ඒ රැකියාව අරහං නිසා වැඩට යන්න බැහැ” මෙයාට එයාගේ මනුස්සයා අරහං” මෙන්න මේ වගේ ප්‍රකාශන බොහෝ ලෙස අසන්න ලැබේ. මෙහිදී අරහං යන්නෙන් එපා වෙලා, තිත්ත වෙලා වැනි අදහසක් ගම්‍ය වන අතර එය සම්බුදුරජාණන් වහන්සේගේ විශේෂ ගුණයක් වරදවා වචන පටලවා ගැනීමකි.

මෙලෙස පුහුදුන් සත්ත්වයාගේ සාවද්‍ය භාවිතයට ගැනීම ඉතා භයානක වේ. වාග් සුචරිතය නැති පිරිසයි මෙලෙස බුදුන් වහන්සේට පවා නිගා කරන වචන භාවිතය සිදු කරනුයේ්. වාග් සුචරිතයෙන් ඈත්වීම බොහෝම භයානක ය.

දිනක් මුගලන් මහරහතන් වහන්සේට අරුම පුදුම පේ‍්‍රතයෙක් මුණ ගැසුණි. පේ‍්‍රතයාගේ ශරීරය ඉතාමත් පියකරුයි. රන්වන් පාටයි. නමුත් මුඛය ඇරිය විට මුළු පළාතම දුගඳ හැමේ. එවිට ඒ පේ‍්‍රතයාම කියන්නේ අනේ ස්වාමිනි, මම කාය සංවරය රැක ගත්තාට වාග් සංවරය ඇති කරගන්න බැරි වූ නිසා මේ වගේ විපත්තියකට මුහුණ දෙන්නට සිදු වු බවයි.

මේ නිසා බුදුරජාණන් වහන්සේගේ විශේෂ නව අරහාදි බුදු ගුණවලින් අරහං ගුණය සාවද්‍ය භාවිතයෙහි නොයොදා ඒ භයානක තත්ත්වයෙන් වළකින ලෙසත්. අරහං ගුණය මැනවින් ඉගෙන ගෙන අරහං වචනය නිසි ලෙස භාවිතා කිරීමටද ඔබ උත්සුක විය යුත්තේ ඒ අප සරණ ගිය එකම ශාස්තෘන් වහන්සේගේ නිර්මල ගුණයක් වූ බැවිනි.

 

  බිනර පුර පසළොස්වක

 බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 16 වන දා සිකුරාදා පූර්වභාග 03.15 ට ලබයි.
17 සෙනසුරාදා පූර්වභාග 00.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 16 වනදා සිකුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 23 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]