භවතරණය
යොමා නෙත් රාහුල පුතුන් නිදනා යසෝදර තුළට වෙලා
පමා වූයේ නොමැත කුමරුන් ඡන්න කන්ථක කැඳවලා
අනෝමා ගං නදී තරණය කරන් භව තරණය බලා
අමා මහ බුදු බව ලබන්නට සිදුහතුන් පියමං කළා
සිඳ සිරස කෙස් අඹරේ පාකර මැවුණු වත ගත පළඳවා
මැද ඇසළ සඳ දිලෙන මොහොතේ ඡන්න කන්ථක සනසවා
මද මාන වෙර සිඳුණු මනසේ කෙලෙස් කුණු ඇද පරදවා
ඉඳ රුකක් මුල බවුන් වඩනට පටන් ගති සිත පහදවා
සිරුර පිනවන සිතට සහනය ලබාදී සැප වළඳලා
කවර ලෙසකින් සැපෙන් පමණක් නොහැක දිනුමට වැටහිලා
විවර කරගත දුක් විඳින්නට නහර ඉල්පෙනු බල බලා
සසර ජය ගත හැකිය සිතලා ක්‍රියා දුෂ්කර අරඹලා
එයින් වුණුු නම් සෙතක් නොමැතිය අන්ත දෙක අතහැර දමා
දුකෙන් මිදෙනට එකම මාවත මැදුම් පිළිවෙත වෙත යොමා
කරන්නට විය භාවනාවන් නිසල සිතකින් නොම වී පමා
පෙනෙන්නට විය බෝ සතුන් හට මෙයයි මාවත වෙන කිමා
අනුර ජයවීර,
බදුල්ල -
පිරිසුදු සිත
තිරිසන් සත් වග අව්, වැසි නොතකා ජීවත් වන අරගලයෙ හැටී
බවයෙන් බවයට අප යන ගමනෙන් සිදු වෙයි ඉන්නට මෙලෙස වැටී
ඉඳුරන් පිනවන කෙලෙසුන් අපයන මිනිසුනි මේ ගැන සිතනු වටී
අප දැන් වෙහෙසෙමු බුදුබණ අතරින් කරගන්නට බව ගමන කෙටී
ඉමක් කොනක් නැති සසරෙහි මැරි මැරි විඳින විඳපු දුක නැහැ දන්නේ
තවත් කොතෙක් කල් මෙම දුක් විඳි විඳ ඉන්නද සුදනනි සැරසෙන්නේ
වෙනත් මගක් නැත බව දුක නැසුමට බුදු දහමය පිහිටට ඉන්නේ
ඉතින් තවත් දුක් නොවිඳින්නට නම් පන්සිල් අටසිල් රැකපන්නේ
සිත, කය, වචනය, ඇස, කන , නාසය, දමනය කර සංවරය කරා
යොමුකර සදහම් පිළිවෙත් සපුරා මෙත් සිත් වඩමින් දවස පුරා
අකුසල් සිදුවන සිත පිරිසුදු කර සිල්වත් වුවහොත් විරිය දරා
අප මහා දුක් දෙන සසරින් ගැලවී පිරිසුදු සිත යයි නිවන කරා
කරදන පීරිස්,
හොරණ
ලොවම එළිය විහිදූ
සත්‍ය ධර්මය ලොවට පිදූ ඒ
සම්බුදු හිමි ගුණයේ
උදාන ගී ගැයූ බුදු සමිදාණන්
දුර නැසූ සේක
සදහම් පවස නිවා
සී ල සමාධි ප්‍රඥා ගුණයට
ලොවම එළිය විහිදූ
මා හා කාරුණික බුදු සමිදාණන්
ලොවට අසම සම වූ
තිලොවට තිලකය වූ
අරිය අට මගේ සුවදායක බව
සරු බව ලොවට දෙසූ
නව අරහාදී ගුණයට නතුවෙන්
ලොව සදහම් මිහිරේ
බොදු මග නිති සරුවේ
සන්ධ්‍යා සුජීවනී ගලප්පත්ති -
ධාතු වන්දනා උපහාර
බැබලුනි බුදු දහම කුලියාපිටි පෙදෙසේ
බැලු, බැලු, හැමදෛනම “ශ්‍රීපති’ යම දිලිසේ
සතුටින් වැඳ පුදා ගන්නට සිත් සංකාසේ
නිසසල පරිසරය දිලිහුනි මුළු පෙදෙසේ
සම්බුදු සමිඳුන්ගෙ පහසින් සිසිල දෙන
බෝපත් සැලෙන පරිසරයක තිබෙන තැන
ගුණදම් සත් සිරිත් මල්මෙන් පිනපෙත තැන
මුළු පිරිවෙනම බැබැලුනි පින් සුවඳ දෙන
මල්පලතුරුවදුලු හිනහෙන අවට මෙහේ
පිරිවෙන අවට කුරුලුන් ගී තනුව ඇහේ
සැමගෙම සිත් සතන් පිබිදී මලක් ඉහේ
මහසෙනගක් ඇදුනි පිරිවෙන ළඟට මෙහේ
දියකලමුල්ලේ පිරිවෙන වෙත ගෙන එන්ට
ධාතූන් වහන්සේ සියසින් දැක ගන්ට
සැමගෙම පිනකි අප සැමටම වැඳ ගන්ට
මහසෙනගක් ඇදුනි මේ පින් ලැබ ගන්ට
කථිකා කළේ ගම්පෙදෙසෙට ගෙන දෙන්න
සැලැසුම් කළේ “ශ්‍රීපතියට” ගෙන එන්න
සැමටම පිනක් කරගන්නට අත දුන්න
”දෙවිඳුනි” අකිල” මැතිඳුන්වත් රැක ගන්න
දැඩි අදිටනින් සසුනේ වැඩ අත නෑර
කැපකළ වෙහෙස අමිලය “හිමි” මග නෑර
සසුනේ වැඩවලට දිිරිමත් වන වීර
අත්තන්ගනේ සමිඳුනි මගෙ උපහාර
උඩුබද්දාවේ
කුසුම් පීරිස්
මගෙ අම්මා බුදු වේවා
ඉරිදා පාන්දර මම උදයෙන් නැගිට
දම් පාසලට යන්නට මා හදන විට
මතක් වුණේ නැහැ නිවාඩු දුන් බවට
කඩා ගත්ත මල් යැව්වා පන්සලට
හැමදාමත් හැන්දෑවට බුදුන් වඳින මට
මතක් වුණේ නැහැ ඒ බව නිකමටවත් මට
සීනෙන් ඇවිත් බුදුරුව ළඟ සිටින විට
නුදුටුව අම්මා දැක්කා සතුටකිය මට
අම්මේ ඔබේ සුවඳයි මට දැනෙන්නේ
ඔබෙ ගුණ සුවඳමයි නිතරම ඇසෙන්නේ
මතු සසරෙදිත් මගෙ අම්මා වෙන්න අනේ
පතමින් සිටින විට සිහිනෙන් මව් පෙනුණේ
ලස්සන රුවක් මා ඉදිරියෙ පෙනී සිට
මගෙ දුව තමයි මේ ඉන්නේ කියන විට
දෙව්ලොව යන්න අඬගසමින් අනේ මට
නොපෙනී ගියා ඒ රුව මගෙ කරුමයට
අම්මා වෙලා මතු සසරෙදිවත් එන්න
පෙරුම් පුරාගෙන මා ඉන්නව ඔන්න
කවදාවත්ම මෙම විපතක් නොම වෙන්න
මෙත් මුනි දවසෙවත් අම්මා මට හමුවන්න
සෝමා වයලට්
පන්නිපිටිය |