උපන්දා සිට කරපු පව්
දුරු කළ හැකිද?
කැලණිය විශ්වවිද්‍යාලයේ
නූතන භාෂා අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
අලුතෑපොල ගණේකන්ද
පුරාණ රජමහා විහාරාධිපති
ආචාර්ය රාජකීය පණ්ඩිත
නැදලගමුවේ ධම්මදින්න හිමි
‘උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ’ යනුවෙන් අප නිතර අසා පුරුදු කවි
පදයක් තිබේ. බුද්ධ දේශනාවට අනුව කෙනෙකු විසින් කළ පවක් නැති කර ගැනීමට පුළුවන්ද?
මෙන්න මේ ප්‍රශ්නය බොහෝ බෞද්ධයන්ට තිබෙන බව අප අමතක කළ යුතු නැත. කරපු පව් දුරු
කිරීම කෙසේ වෙතත් කරපු පව් අහෝසිවීම නම් සිදු විය හැකි දෙයක් ව අභිධර්මයට අනුව
පිළිගත හැකිය.
විපාක දෙන කාලය අනුව කර්මයක් සතරාකාර විය හැකි බව එහි දී ඉගැන්වේ. එම චතුර්විධ
කර්මය නම්
1. දිට්ඨධම්ම වේදනීය කර්මය
2. උපපජ්ජ වේදනීය කර්මය
3. අපරාපරිය වේදනීය කර්මය
4. අහෝසි කර්මය යනුවෙනි.
මෙම කර්ම අතර මෙහිදී අපගේ මාතෘකාවට අදාළ වන්නේ “අහෝසි කර්ම” යි මන්දයත් අහෝසිකර්ම
යනු අතීතයේදි විපාක නොදුන්න වූද අනාගතයේදි විපාක නොදෙන්නා වූද කුසලාකුසල කර්මයයි.මේ
අනුව පැහැදිලි වන්නේ යම්කිසි පවක් කොට ඵලය අතීත ජීවිතයේදී විපාක නොදුන් පරිදිම
අනාගත ජීවිතයේද විපාක නොදෙන්නේ නම් අහෝසි කර්ම බවට පත්වන බවයි.
අභිධර්මයට අනුව පැහැදිලි වන්නේ සත්ත්වයාගේ ලෞකික බලාපොරොත්තු වලට අනුව පවක්
අහෝසිකර්මයක් බවට පත්කරගත නොහැකි බවයි. වඩාත් සරල ලෙස කිවහොත් කිසිම කෙනෙකුට තම
අයෙකු ගේ පව් සමාකිරිමට හෝ අහෝසිකිරීමට පුළුවන්කමක් නැත. බුදුරජාණන් වහන්සේ වදාළේ.
“සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමංඥේ විසෝධයේ”
“පිරිසුදු වීම හෝ අපිරිසුදු වීම තමා මත රඳා පවතී. කාටවත් තව කෙනෙකු පිරිසුදු කළ
නොහැකිය”
මෙම ගැඹුරු යථාර්ථය අභිධර්මයට අනුව විස්තර කළ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල
මහානාහිමියෝ මෙසේ විභාග කළහ.
“කුශලවූ හෝ අකුශල වු හෝ ක්‍රියාවක් සිදුකිරීම් වශයෙන් සත්ත්ව සන්තානයෙහි ඇති
වන්නාවූ එක් එක්චිත්තා විථියක ජවන නම් බලවත් සිත් සත බැගින් ඇතිවේ. ඒවායින් පළමුවන
ජවන චිත්තය දෘෂ්ට ධර්මවේද කර්මය වේ. සත්වන ජවනය උපපද්‍ය වේද්‍ය කර්මය නම් වේ.
මධ්‍යයේ ජවන පස අපරාපර්ය වේද්‍යකර්ම නම් වේ. එක් ජාතියක දි එක් පුද්ගලයෙකුගේ
සන්තානයෙහි එබඳු කුශලාකුශල චිත්තවීථී බොහෝ ගණනක් ඇතිවේ. ඒවායේ ඇති ඒ ජාතියේදී විපාක
නොදුන් ප්‍රථම ජවන චේතනා සියල්ලම මරණින් පසු අහෝසිකර්ම භාවයට පැමිණේ. එක්ජාතියකදී
ඇතිවන්නා වූ ඒ වීථිවල ඇති වු සප්තම ජවන චේතනාවලින් දෙවන ජාතියේදී විපාක දීමට අවකාශය
නොලබනා සියල්ලම ද අහෝසි කර්මවේ. ඉතිරි චේතනාවෝ නිවනට පැමිණෙන තුරු අහෝසිකර්ම
නොවෙති. කල්ප ලක්ෂ ගණනක් ගතවූවාට පසුව වුද අවකාශයක් පැමිණියහොත් ඒවා විපාක දෙන්නේය”
බෞද්ධයාගේ අත්පොත – 188 පි)
දෘෂ්ට ධර්මවේද්‍ය හෙවත් දිට්ඨධම්මවේදනීය පාපකර්ම පළමුවන ජවන චිත්තයක්ම වන නිසා මේ
ආත්මයේදීම විපාක දෙන නමුත් එසේ විපාක දීමට ඉඩක් නොලැබුණහොත් අහෝසි භාවයට පත්වේ.
උපපද්‍යවේද්‍ය හෙවත් උපපජ්ජවේදනීය පාපකර්මද සත්වන හෙවත් අන්තිම ජවනය වන බැවින් දෙවන
ආත්මයේදීම විපාක දිය යුතු වුවත් එසේ විපාක නුදුනහොත් ඒවා ද අහෝසිතාවයට පත්වේ.
මේ අනුව අභිධර්මයට අනුකූලව විමසන විට පෙනී යනුයේ මෙලොවදිම පල දෙනු දිට්ඨධම්මවේදනීය
පාපකර්ම හා උපපජ්ජවේදනීය පාපකර්ම හෙවත් දෙවන ආත්මයේදි අනිවාර්යයෙන්ම විපාක දෙන පාප
කර්මද එලෙස විපාක දුන්නේ නැත්නම් අහෝසි කර්ම බවට පත්වන බවය.
කරන ලද පව්කම් දුරුකිරීම හෝ දුරු වීමට හේතුවන කරුණු පිළිබඳ අපූරු විස්තරයක්
බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තික නිපාතයෙහි ලොණඵල වග්ගයේ පැහැදිලි කළ සේක.
එහිදී උන්වහන්සේ මෙසේ වදාළ සේක.
“ඉධභික්ඛවේ ඒකච්චස්ස පුග්ගලස්ස අප්පමත්තකම්පි පාපං කම්මං කතං තමේනං නිරයං උපනේති.
ඉධ පන භික්ඛවේ ඒකම්චස්ස පුග්ගලස්ස තාදිසඤ්ඥේව අප්පමත්තකං පාපං කම්මං කතං
දිට්ඨධම්මවේදනීය හෝති, නානුම්පිඛායති. කිං බහුදේව“ මෙහි තේරුම් නම්
“මහණෙනි, මේ ලෝකයේ ඇතැම් පුද්ගලයන් අල්පමාත්‍ර වු පාපක්‍රියාවක් කළත් ඒ නිසා ඔවුන්
නිරයට එළවයි. මහණෙනි මේ ලෝකයේ ඇතැම් පුද්ගලයන් ඒ බඳුම අල්පමාත්‍ර වු පාපක්‍රියාවක්
කළත් එය මෙලොවදීම පළදෙන කර්මයක් බවට පත්වෙයි. අංශුමාත්‍රයක් වත් පරලොව විපාක බවට
පත් නොවෙයි. බොහෝ සේ විපාක දෙතැයි කියනුම කවදරේද?
මෙයින් පැහැදිලි වන්නේ එකම පව්කම කළ දෙදෙනෙකු දෙවිදිහකට විපාක ලබන බවයි. ඒ කුමන
හේතුවක් නිසාද? යන්න උන්වහන්සේ ඉන්පසුව මෙසේ විස්තර කළ සේක. “මහණෙනි මේ ලෝකයෙහි
ඇතැම් පුද්ගලයන් කායභාවනාව, ශීලභාවනාව, චිත්තභාවනාව හා ප්‍රඥාභාවනාව නැතිව කටයුතු
කරන අතර අල්පගුණ ඇති, ඒ නිසාම කුඩා ආත්ම ඇති හෙයින් කුඩා පව්කමකිනුත් දුකසේ කටයුතු
කරන අය වෙති. මහණෙනි, මෙබඳු පුද්ගලයෙකු ඉතා කුඩා පව්කමක් කළත් එයින් නිරයට යයි.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයන් කායභාවනාව, ශීලභාවනාව,චිත්තභාවනාව හා ප්‍රඥා
භාවනාව මැනවින් වැඩීමෙන් උසස් ගුණ ඇති ඒ නිසාම මහාත්ම ඇති බැවින් ඉතා කුඩා පව්කමක්
කළත් දුකසේ කටයුතු නොකරති. මහණෙනි, මෙබඳු පුද්ගලයන් ඉතා කුඩා පව්කමක් කළත් මෙලොවදි
පමණක් පලදෙයි. අංශුමාත්‍රයක්වත් පරලොවදි පල නොදෙයි. බොහෝ සේ විපාක දෙතැයි කියනුම
කවරේද?
මින් අනතුරුව බුදුරදුන් උපමාවක අනුසාරයෙන් ඉහත සඳහන් කරන ස්වභාවය භික්ෂූන්
වහන්සේලාට මෙසේ විස්තර කරන ලදී. “මහණෙනි, යම් පුරෂයෙක් ලුණුකැටයක් කුඩා වතුර
කෝප්පයකට දැමුවොත් මහණෙනි, ඔබලා මොනවද සිතන්නේ, ඒ කෝප්පයේ ඒ වතුර ටික මේ ලුණු කැටය
නිසා ලුණුරස වෙනවාද?
එසේය ස්වාමීනි,
ඊට හේතුව කුමක්ද?
ස්වාමීනි, වතුර කෝප්පයේ වතුර ටිකක් නිසා ලුණු රස වෙයි.
මහණෙනි, යම් පුරුෂයෙක් ලුණු කැටයක් ගලන නදියෙහි දමන්නේ නම් මහණෙනි, ඔබලා මොනවාද
සිතන්නේ? ඒ ගැන නදිය මේ ලුණු කැටය නිසා ලුණුරස වෙනවාද? නැත ස්වාමීනි,
ඊට හේතුව කුමක්ද?
ස්වාමීනි, ඒ ගංගා නදියේ මහජල කඳක් තිබේ. ඒ ජලය මේ ලුණුූ කැටයෙන් ලුණු රස නොවන්නේමය.
(අංගුත්තර නිකාය, තික, නිපාතය, ලෝණඵල වග්ගය) මේ විස්තරයට අනුව පැහැදිලි වන්නේ
උපන්දා සිට කරපු පව් දුරු කරගත හැකි සත්‍ය ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට
දේශනා කළ බවයි. එම ක්‍රමවේදය නම්
1. කාය භාවනාව හෙවත් කය සංවරකර ගැනීම
2. ශීල භාවනාව හෙවත් ශීල සමාදානය
3.චිත්ත භාවනාව හෙවත් සමථ භාවනාව වැඩීම
4. ප්‍රඥා භාවනාව හෙවත් විදර්ශනා භාවනාව වැඩීම
ඉහත සඳහන් කරුණු 4 මැනවින් දියුණු කරගත් පුද්ගලයා මෙම ආත්ම භාවයේදීම තමන් උපන්දා
සිට කරපු පව් දුරලා ඉතා විශාල සැනසීමකට පත්වෙන බව බුදුරජාණන් වහන්සේගේ දේශනා වෙන්
පෙනීයයි.
|