Print this Article


ජාතික ආගමික සමගිය උදෙසා බුදු දහම

ජාතික ආගමික සමගිය උදෙසා බුදු දහම

බුදුදහම යනු ප්‍රවර්තන වර්තමානය වඩාත් හොඳින්, වඩාත් නිවැරදිව හා වඩාත් ක්‍රමවත් ලෙස ගත කරන්නට මනුෂ්‍යයා මෙහෙයවනු ලබන ප්‍රතිපදා මාර්ගයයි. ඒ සඳහා වන පිළිවෙල සම්මා දිට්ඨි හෙවත් නිවැරදි දැක්ම යන පියවරෙන් ආරම්භ කොට ඇති බවත්, ආර්ය මාර්ගය නම් වූ උතුම් මාර්ගය එහිලා පැහැදිළි කර ඇති බවත් දහම් නය දන්නා කාටත් සුපැහැදිළිය.

ඒ මාර්ගයේ සාර්ථකත්වයේ ඵල නෙළන්නේ ධර්මානුගත හා පාරිසරික කරුණු තථ්‍යාකාරයෙන් අවබෝධකරගැනීම මගිනි. “සයං අභිඤ්ඤා සච්ඡිකත්වා විහරති” යනුවෙන් දක්වා ඇති පරිදි ද තහවුරු වන්නේ ඒ කාරණයමයි.

ආලවක සූත්‍ර දේශනාවේදී බුදුරදුන් විසින් පිළිතුරු සපයා ඇත්තේ ලෝකයේ වෙසෙන හැමදෙනාටම පොදුවේ වැදගත්වන එකී ප්‍රස්තුත කාරණාවම මුල්කරගෙනය.

යහපත් ජීවිතය යනු කුමක්ද? ශ්‍රේෂ්ඨ ජීවිතය යනු කුමක්ද? (කතං ජීවිං ජීවිතමාහු සෙට්ඨං) පිළිතුර ලැබුනේ ප්‍රඥාවෙන් යුතු ජීවිතය ම වැදගත් බවයි. එයින් කියැවෙන්නේ ප්‍රවර්තන වර්තමානය පිළිබඳ අවධානයෙන් යුතු අවබෝධයෙන් හා ප්‍රජානනයෙන් යුතු ජීවිතය වැදගත් වන බවයි.

ප්‍රවර්තන වර්තමානය ගැන වඩාත්ම මා අවධානය යොමු කළේද ධර්මානුධර්ම පිළිවෙල පදනම් කරගෙනය. ‘අතීතං නානුසෝචන්ති නප්පප්පප්නති නාගතං” තවම නොපැමිණි, තවමත් අත් නුදුටු හෙට දවසක් ගැන සිහින මැවීමද නිෂ්ඵලය. එනිසාම “ වත්තමානේන යාපෙන්ති” මේ එළඹ සිටි මොහොතේ, මේ ජීවත්වන අවස්ථාවේ වඩාත් සිහියෙන් හා නුවණින් කටයුතු කිරීම වැදගත්වෙයි.

මා මේ පෙරවදන ඉදිරිපත් කළේ මෙහි මුලින් සඳහන් වී ඇති මාතෘකාවට පිවිසුමක් සඳහාමයි. ජාතික ආගමික සමගිය සඳහා බුදුදහම උපයෝගි වන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමේදී අදාළ වන පසුබිම සකසාලීම සඳහාමයි.

ජාතික, ආගමික සමගිය සඳහා අප ක්‍රියාකළ යුත්තේ ඇයි ද යන්න පළමුව වැදගත්වන ප්‍රශ්නයයි. එයට පිළිතුර වන්නේ යහතින් ජීවත්වීම සඳහාය යන්නයි. එය තවදුරටත් විග්‍රහ කරනවානම් යහතින් ජීවත්වීම සඳහා වන මේ මොහොතේ, මේ වකවානුවේ , මේ සමාජ පසුබිමේ හා මේ මානව පරිසරයේ යථා ස්වභාවය පිළිබඳ අවබෝධය, දැනුම හා තත්වාවබෝධය පූර්වාංගමව පුද්ගලයාගේ ජීවිතය සකසා ගැනීම සඳහාය යනුවෙන් දැක්වීම වඩාත් අර්ථවත් ලෙසත් නිවැරදි ලෙසත් අවබෝධකරගත හැකිය.

ජීවිතයේ පැවැත්මට පිරිසුදු වායුව, පෝෂ්‍යදායි ආහාර, හිසට සෙවන, ලෙඩට බෙහෙත් සේම අත්‍යවශ්‍යම වන්නේ සාමකාමී සමාජ පැවැත්මයි. සාමය නැතිවු තැන අන් කිසිවක් නැත. ඉතාම වටිනා අංගය වන ජීවිතය සුරැකෙන්නේ සාමය තිබුණොත් පමණි. මේ සත්‍යතාවය වැටහෙන්නේ සාමය නැති පරිසරයක් පිළිබඳ අත්දැකීම් ලද විටකය. නිදසුනක් වශයෙන් 2009 වසරේ මැයි 18 දිනට පෙර ශී‍්‍ර ලංකාවේ තත්වය විශේෂයෙන්ම උතුරු ප්‍රදේශයේ හා කොළඹ නගරයේ පැවති භීෂණාත්මක පරිසරය ගැන මතකය අවදිකළ හැකිය.

එදා මිනිසුන් ඉල්ලා සිටි ප්‍රධානම කාරණය වූයේ සාමයයි. අදත් දස අතේ නන්නත්තාර වී සිටින මැද පෙරදිග ප්‍රමුඛ කරගත් යුද භීෂණයෙන් ඇළලී ගිය රටවල මිනිසුන් දෑත් අහසට ඔසවාගෙන යාඥා කරමින් ඉල්ලා සිටින්නේත්, දුටු දුටු අයගෙන් හා සංවිධාන වලින් ඉල්ලා සිටින්නේත්, අපට ජීවත්වීමේ අයිතිය ලබා දෙන්න, අපට සාමය ලබාදෙන්න” කියාය. මේ අනුව සාමය යන වචනයේ ගැඹුර හා වටිනාකම ගැන සිතා ගත හැකිය. සාමකාමී පරිසරය නැතිවූ විට සමාජය වෙලා ගන්නේ භීතිය විසිනි.මේ මනෝභාවය පහළ වු තැන නිර්මාණය වන්නේ අතිශයින්ම අපි‍්‍රයජනක දුක්ඛදායක හා වික්ෂිප්ත වූ මානසික සංසිද්ධියකි.

ධජග්ග සූත්‍ර දේශනාවේදී මූලිකම අරමුණ වන්නේ පුද්ගලයා තුළ ඇතිවන එම දුක්ඛදායක මනෝ භ්‍රාන්තිය (භයං වා ඡම්භීතත්තංවා, ලෝමහංසෝවා) බුදු ගුණ බලයෙන් තුරන් කරලීමයි.

සමාජගත සංත්‍රාසය හෙවත් බිය පුද්ගලයාට ඍජු ලෙසම බලපායි. යුද කෝලාහල, අවි ගැටුම් පවත්නා පරිසරයක සතුටින් හා නිර්භයව කිසිවෙකුත් ජීවත් නොවෙති. අවම වශයෙන් ගිනි අවි අත දරාගෙන සටනේ නියැළෙන්නෙක් තුළද පවත්නා එකම මනෝභාවය භීතියයි. සටන්කාමියෙකු , විමුක්ති භටයෙකු, ත්‍රස්තවාදියෙකු හෝ සාම හමුදා සෙබලෙකු ආදී වශයෙන් හඳුන්වනු ලබන හැම කෙනෙකු තුළම පවත්නා අනිවාර්ය පොදු ලක්ෂණය වන්නේ බිය ම මිස වෙන දෙයක් නොවේ. පුද්ගලයා තුළ බිය වැඩි වන්නට වැඩි වන්නට ඔහු තව තවත් ගිනි අවිය වෙතට නැඹුරු වෙයි. තව තවත් අවියේ පිහිට පතයි. මෙවන් දුක්ඛදායක තත්ත්වයක් නිර්මාණය වන්නේ කුමක් නිසාද? නැතහොත් සාමය කඩවී ත්‍රස්ත භීෂණයක් ඇති වන්නේ කුමක් නිසාද?

මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ජාති හා ආගම් පිළිබඳ පුද්ගලයා දක්වන ආකල්පයේ වරදයි. ඒ වැරදි ආකල්පය වන්නේ තමා අදහන ආගම පමණක් නිවැරදිය. සත්‍යය. අනිත් ආගම් බොරුය. මිථ්‍යාවන් ය. එනිසා පැවතිය යුත්තේ මගේ ආගම පමණයි. අනිත් ආගම් විනාශ කළ යුතුය යන මතයයි. ඒ මතය දරාගෙන එහිම ජීවත්වන ආගමිකයා සිතන්නේ අන් අයද මගේ සත්‍ය ආගමට පැමිණිය යුතුය. නැතිනම් ඒ ආගම් විනාශ කළ යුතුය. හේතුව ඒ ආගම්වලින් මිනිස් ප්‍රජාවට අයහපතක්, හානියක් සිදුවන නිසාය යනුවෙන් සිතිවිලි පහල කර ගැනීම නිසාය.

මෙසේ ම තමා අයත්වන ජාතිය හෝ ජනවර්ගය ගැනද මිනිස්සු අභිමානීව ආකල්ප උපදවා ගනිති. අන්‍ය ජාතීන් හෝ ජනවර්ගවල අය අභිබවා ගොස් කරුණු තහවුරු කිරීමට යත්න දරති. සමාජයේ සාමය බිඳවැටෙන්නට විවිධ කරුණු කාරණා අතර ආගම හා ජාතිය පිළිබඳ ඉහත දැක්වූ කරුණු ප්‍රධාන තැනක් ගනියි.

“යම් පුද්ගලයෙකු තම ජීවිතය සතුටින් ගත කිරීමට කැමතිනම් ඔහු වෙතින් ඉටුවිය යුතු වැදගත්ම යුතුකම වන්නේ තමා ජීවත්වන සමාජයේ හා පරිසරයේ විවිධත්වය පිළිගැනීමයි.එයට එකඟවීමයි. හෙවත් විවිධත්වය අනුමෝදන්වීමයි”.යන මතය සාධු සම්භාවිත ධර්මෝපදේශනයකි.අංගුත්තර නිකායේ සත්තාවාස සූත්‍රයේදී ද එන මේ ධර්මපාඨය මගින්ද ඒ සඳහා ලැබෙන ආලෝකය අනල්පය.

“සන්ති භික්ඛවේ සත්තා නානත්තකායා, නානත්ත සංඤිනො” සත්වයෝ වනාහි කායික ස්වරූපයෙන්ද මානසික ස්වරූපයෙන්ද විවිධාකාර ඇත්තෝය. යනු එහි සරල අදහසයි.

මේ අනුව ම බුදුරජාණන් වහන්සේ තම ජීවිත කාලය තුළ ප්‍රායෝගික ලෙස මේ සංකල්පය ක්‍රියාත්මක කළ සේක්. ආගමික පිළිගැනීම් හා මතිමතාන්තර අනුව හෝ ජාති, ජන්ම, වර්ණ, කුල ආදි මානව ස්වරූප වශයෙන් මිනිසුන් බෙදා වෙන්කරන්නටද උත්සාහ නොකලාහුය. එපමණක් නොව එසේ බෙදා වෙන්කර තිබුණා වූ නීති රීති හා පිළිගැනීම් ද එකහෙළාම ප්‍රතික්ෂේප ද කලාහුය.