Print this Article


බෙල්ලන්විල ඇසළ පුණ්‍යෙීත්සවය හා පෙරහර මංගල්‍යය

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෙීත්සවය හා පෙරහර මංගල්‍යය

බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රාජමහා විහාර ඇසළ පෙරහර කමිටුව, දායක සභාව ඇතුළු විහාරස්ථානයට සම්බන්ධ සියලු සංවිධාන 2016 මැයි මස 29 වන දින විහාරස්ථ ධර්ම ශාලාවේ දී රැස්වූහ. අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මීට වසර 66 කට පෙර ආරම්භ කර අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන ඇසළ මහා පෙරහර ඇතුළු පින්කම් මාලාව මෙවරද ඉතා උත්කර්ෂවත් අන්දමින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වීමට සාකච්ඡා කරගන්නා යෙදුණි.

ඒ අනුව බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් පැමිණවීමේ වාර්ෂික ධර්ම දේශනා මාලාව මෙවර ද අගෝස්තු මස 11, 12 හා 13 දිනයන්හි පැවැත්වේ. චිරාගත සාම්ප්‍රදායානුකූලව පවත්වනු ලබන සති පිරිත් දේශනය අගෝ, 14 දින ආරම්භ වේ. එම පිරිත් දේශනය අගෝ. 20 දින දක්වා පැවැත්වේ. සෑම දිනකම 50 නමකට අධික මහා සංඝරත්නය මේ සඳහා සහභාගී වන අතර එම දිනවල දහවල් දානය හා සවස ගිලන්පස පූජාවන් දායක කාරකාදීන් භාරගෙන ඇත. අගෝ. 20 සති පිරිත් දේශනය අවසන්වීම දේවදූත පෙරහර විහාරස්ථානයට පැමිණීමෙන් පසු දොරකඩ අස්න අනුශාසනාව සිදු කෙරේ.තවද සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව කුඹල් පෙරහර අගෝ. 20 දින පැවැත්වෙන අතර අනතුරුව අගෝස්තු 21 දින සිට 24 දින දක්වා මල් පෙරහර විහාරස්ථ භූමිය තුළ බෝධි මළුව, චෛත්‍ය මළුව හා විහාර මළුව පැදකුණු කරමින් පැවැත්වේ. සර්වඥ ධාතු කරඬුව ප්‍රථම වරට ධාතු මන්දිරයෙන් පිටතට ගෙන සැදැහැවතුන්ගේ හිස් මතින් වඩමවමින් පූජෝපහාර පවත්වා සිදුකරන පාවාඩ පෙරහර අගෝ. 25 දින සිදු කෙරේ.

විහාරස්ථානයේ පිටතට ප්‍රථම වරට සර්වඥ ධාතු කරඬුව හස්තිරාජයා පිට වඩමවමින් නැටුම් ගැයුම් වැයුම්වලින් යුත් අලංකාර රන්සිවිලි පෙරහර අගෝස්තු 26 දින රාත්‍රියේ වීථි සංචාරය කෙරේ.

අගෝස්තු 27 සෙනසුරාදා දින රාත්‍රී අලි ඇතුන් හා උඩරට, පහතරට, සබරගමුව නැටුම් රැගත් දර්ශනීය රන්දෝලි මහ පෙරහර වීථි සංචාරය කෙරෙන අතර එම පෙරහරට මාලිගාවේ පෙරහර සමඟ විෂ්ණු, සමන්, කතරගම විභීෂණ යන සතර දේවාල පෙරහර ද පැවැත්වේ.

පසුදින එනම් අගෝස්තු 28 පෙරවරු කාලයේ දී දිය කැපීමේ පෙරහර පවත්වා බොරලැස්ගමුව තොටුපළේ දී දියකැපීමේ මංගල්‍ය සිදුකිරීමෙන් පසු දේව දානය පිරිනැමේ. ඉන් පසු විහාරස්ථානයෙහි ද දේව දානය පිරිනැමීමෙන් පසු සන්ධ්‍යා යාමයේ දී ගරායක් ශාන්ති කර්මය පවත්වා ඇසළ පුණ්‍යෙීත්සවය සාර්ථක කර ගැනීමට සහාය වූ සැමගේ වස් දොස්, අස් වහ කටවහ අපල උපද්‍රව දුරු කොට ආශිර්වාද කරමින් මෙවර ඇසල පුණ්‍යෝත්සවයේ කටයුතු නිමාවට පත්වේ.