Print this Article


මොරටුව ලුනාව ශ්‍රී බෝධිරාජාරාමය දස වසක පැමිණි මඟ

මොරටුව ලුනාව ශ්‍රී බෝධිරාජාරාමය දස වසක පැමිණි මඟ

දස වස සමරන මොරටුව ලුනාව ශ්‍රී බෝධිරාජාරාමයේ දස වස සමරු වැඩසටහන

මොරටුව ලුනාව උයන ශ්‍රී බෝධිරාජාරාමයේ දස වස සැමරුම නිමිත්තෙන් ජූලි 2 වන දා බටහිර වෛද්‍ය සායනය, රෝදපුටු 25ක් බෙදාදීම, ඇස් කණ්ණාඩි 550ක් ප්‍රදානය 3 වනදා ආයුර්වේද වෛද්‍ය සායනය හා ලේ දන්දීමේ පින්කමද 8 වනදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද 9 වනදා උදෑසන දානය, අනතුරුව කුලදරුවකු පැවිදි කිරීම දවල් අසූ නමක් මහ සඟරුවන උදෙසා පිරිනමන සංඝගත දක්ෂිණාව, සවස 5 ට නව නිවස ප්‍රදානය කිරීම සහ 10 වනදා සවස 3 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සව සභාව පැවැත්වේ.

මොරටුව නගරාසන්නයෙහි කුරුස හන්දියෙන් ඇරඹෙන උයන පාරෙහි පිහිටි ලුනාව උයන ප්‍රදේශය එක් පසෙකින් මහ මුහුදත් අනෙක් පසින් ලුනාව කලපුවත් ආවරණය කර ගත් ඉතා සුන්දර භූමි භාගයකි. බෞද්ධ මෙන්ම ක්‍රිස්තියානි, කතෝලික ජනයා වෙසෙන මෙහි ධීවරයන්, වඩු කාර්මිකයන්, දැව ව්‍යාපාරිකයන් හා රජයේ සේවකයන් ඇතුළු දුගී ජනයා බහුතරයකගේ වාස භූමිය ලුනාවයි. බෞද්ධ විහාරස්ථාන දෙකකුත් දේවස්ථාන කිහිපයකුත් සහිත මේ ගම කේන්ද්‍ර කොට සෙබස්තියන් විදුහල, උයන කනිටු විදුහල, රජයේ රෝහල, ආයුර්වේද රෝහල හා දුම්රිය නැවතුම්පල ද වෙයි. නගර මධ්‍යයේ අහස උසට ඉදිව තිබෙන දැවැන්ත නිවාස සංකීර්ණය සෙමින් සෙමින් වැඩ නිම වෙමින් පවතී.

රජය රුපියල් කෝටි දහසකටත් වඩා වැය කොට දියත් කළ ලුනාව පරිසර සංවර්ධන ව්‍යාපෘතියෙන් කලපුව කලඑළි විය. ගම වටා වැටුණු මාවතත්, ක්‍රීඩාංගණය මෙන්ම ශරීර සුවතා මං තීරුව ද ලුනාවට එක් කළේ අලංකාරයකි.

දස වසකට පෙර 2006 ජූලි මස 07 දින අප මෙම ගම්මානයට පැමිණෙන විට අප නෙතට නිතර නිතර යොමු වූයේ කසිප්පු බැරල් එහේ මෙහේ රැගෙන යන මිනිසුන්ය. බේබදු ජීවිතවලට නැඹුරු වූ බොහෝ දෙනාගේ පවුල් ජීවිත මුළුමනින්ම බිඳ වැටී තිබුණු බොහෝ නිවෙස්හි ඌරන් ඇති කිරීම නිසා ඉතා අප්‍රසන්න වටපිටාවක් ගොඩනැගී තිබුණි. දිනපතා උපයන කුලියකින් එදිනෙදා ජීවිතය ගත කිරීමම ජීවිතය බවට පත් කර ගත් ඔවුන්ට ආගමික වශයෙන් සුදුසු නායකත්වයක් නොලැබීමෙන් අසංස්කෘතික ජීවන රටාවකට හුරුව පැවතුණි. නූගත්කම ද මේ සමඟ ම බද්ධ වී පැවතීම ජන දිවියේ විශාල ඛේදවාචකයක් විය.

2006 දී අප විහාරස්ථානයට පැමිණ ප්‍රමුඛව කළේ ජනතාවගේ ප්‍රජා කටයුතු ඉටු කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ගොඩනැගිලි සපුරා ගැනීමය. ඒ සඳහා අපට හමු වූ කල්‍යාණ මිත්‍රයා ලක්ෂ්මන් මහානාම වන අතර ඔහුගේ මාර්ගයෙන් ජර්මන් ජාතික සුදු අම්මා හෙවත් උර්සුලා බයර් මැතිනිය හඳුනාගත හැකි විය. එතුමියගේ කරුණාව හා දයාව පදනම් කොට 2006 ජූලි 27 දින නව මැදුරට මුල්ගල තබා එය 2008 ජූලි 27 දා එතුමියගේ ජන්ම දිනය දා දින තුනක් තිස්සේ පිරිත් දේශනා කරමින් 200 නමක් සංඝරත්නය වඩමවා දන් දී විවෘත කෙරිණි. මෙම ගොඩනැගිල්ලෙහි දාන ශාලාව, ප්‍රජා ශාලාව, සංඝාවාසය, පුස්තකාලය සහ අමුත්තන්ගේ කාමර ද සනීපාරක්ෂක පහසුකම් ද ඇතුළත් විය. සකසා පැවති බෝධි ප්‍රාකාරයට අලංකාර පියස්සක් යොදා බෝධිඝරය ද, ජරාවාස වී පැවති විහාරයේ වහල ගලවා ස්ථිර වහලක් ද ඉදිකරවීය. මේ සඳහා රොහාන් ප්‍රනාන්දු මහතා ධන පරිත්‍යාග කෙරිණි. බුදු පිළිමය නැවත පිළිසකර කරවා විහාර මන්දිරයේ සියලු අවශ්‍යතා ඉටු කෙරිණි. අනතුරුව අලංකාර ගොඩනැගිල්ල මත චෛත්‍යය රාජයාණන් වහන්සේ ද ඉදි කොට ත්‍රිවිධ බෝධිය සපිරිණි. ප්‍රධාන දායක ඩඩ්ලි ප්‍රනාන්දු මහතා මේ සඳහා මූල ධනය සැපයිණි. බෝ මළුව ද විවෘත ධර්ම ශාලාවක් බවට පත් කරවා මළු පෙත්මං නිමවා සියලු භෞතික වටපිටාව දියුණු කෙරිණි. විහාරස්ථ කාර්යාලය සහ වාහල්කඩ රොෂාන් අබේකෝන් මහතා විසින් ඉදිකරන ලදී. ජනතාව සැකසීමේ කාර්යභාරය පියවර තුනක් යටතේ ඇරඹිණි. ළමා අධ්‍යාපනය හා චරිත සංවර්ධනය, වැඩිහිටි හා තරුණ ජනයාගේ ආධ්‍යාත්මික සංවර්ධනය සහ යහපත් සෞඛ්‍ය වටපිටාවක් ගොඩනංවාලීම එම කරුණු තුන වෙයි.

මේ යටතේ පළමුව බෝ සෙවන පෙර පාසල ඇරඹිණි. භද්‍රා ගුණදාස මහත්මියගේ උපදේශකත්වය යටතේ මෙය ඇරඹුණු අතර ‘සේව් ද චිල්රන්ස්’ අයතනය අවශ්‍ය සම්පත් සලසා දුන්නේ ය. එය නොමිලේම පැවැත්වෙන අතර දුප්පත් දෙමාපියන්ට මෙය විශාල අස්වැසිල්ලක් විය. අනතුරුව දහම් පාසල අරඹමින් ඉතා හොඳ ආචාර්ය මණ්ඩලයක් යටතේ ශිෂ්‍යයන්ගේ විනය ගොඩනැංවීමෙහි පදනම සැකසිණි. මේ සඳහා ආරම්භයේ සිට මේ දක්වාම දිවා ආහාරය ලබා දීම ගල්කිස්ස මවුරි සමාගම වෙතින් සිදු වෙයි. ශිෂ්‍යයන් 350 කට ආසන්නව සෑම ඉරු දිනම පැවැත්වෙන දහම් පාසලෙහි අධ්‍යාපනයට වඩා චරිත සංවර්ධනය මූලික කොට පවතී. ද්විවාර්ෂික ත්‍යාග ප්‍රදාන උළෙල උත්කර්ෂයෙන් සිදු කෙරෙන අතර නන්දා මාලිනී, දීපිකා ප්‍රියදර්ශනී, එඩ්වඩ් ජයකොඩි, චරිතා පි‍්‍රයදර්ශනී වැනි විශිෂ්ටයන් ඒ සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගිව තිබේ.

වැඩිහිටියන් හා තරුණ පිරිස උදෙසා ඇරඹි පෝදා ආගමික වැඩසටහන මේ වන විට ඉතාම සාර්ථකව සිදුවෙයි. නිශ්චිත වැඩසටහනක් යටතේ පොහොය දවස පුරා ඔවුන් මෙහෙයවෙන අතර ඔවුන්ට අවශ්‍ය උදෑසන, දාවල දානය විහාරස්ථානයේ ම පිළියෙල කෙරෙයි. ඒ සඳහාම කැප වූ ප්‍රජාව ‘උපස්ථායක සභාව‘ නමින් සංවිධානගතව සුබසාධන අරමුදල් ද පිහිටුවා ඔවුන්ට උපකාරී කෙරේ.

ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව නඟාසිටුවීමට සෑම මසකම අවසන් සෙනසුරාදා වෛද්‍ය සායනයක් පැවැත්වීම නොකඩවා සිදු කෙරෙයි. කටුබැද්ද සොයිසාපුර වෛද්‍ය මධ්‍යස්ථානයේ පූර්ණ අනුග්‍රහයත්, සාමය හා දයාව පදනමෙන් අවශ්‍ය බේත්හේත් ලබා දීමත්, ලක්ෂ්මන් මහානාම මහතාගේ පූර්ණ මෙහෙයවීමත්, කුසුම් මැද්දෙපොල මහත්මියගේ කැපවීමත් විශේෂයෙන් සඳහන් කරමි. මෙහිදී විශාල පිරිසකට මාසිකව අවශ්‍ය බේත්හේත් සපයනු ලබයි.

මීට අමතරව ජනතාවගේ රසවින්දනය දියුණු කරලීම උදෙසා ‘භක්ත්‍යාංජලී’ නමින් බැති ගී ප්‍රසංගයක් විශිෂ්ටතම ගාන්ධර්ව වික්ටර් රත්නායක ලවා සිදු කෙරිණි. සෑම වසරකම ඇසළ පෝදා දහම් පාසලේ දරුවන්ගේ බැති ගී ප්‍රසංගය ද සිදු කළ අතර එයට විශාල දෙමාපිය සහභාගිත්වයක් දක්නට ලැබිණි.

මේ හැර වසර කිහිපයක්ම මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සම්බන්ධ කොටගෙන ගැබිනි මාතාවන් වෙනුවෙන් උපදේශාත්මක වැඩමුළු රාශියක්ම දියත් කෙරිණි. විශේෂඥ වෛද්‍යවරුන් මේ සඳහා සහභාගි කෙරිණි. එමෙන්ම ලේ දන්දීමේ වැඩසටහන් වසර තුනක්ම සිදු කළ අතර ඒ ඔස්සේ විශාල පිරිසකට ලේ පරිත්‍යාග කිරීමට අවකාශ සැලසිණි.

වාර්ෂික කඨින පුණ්‍යොත්සවය ඉතා අත්‍යාලංකාරව සංවිධානය කෙරුණු අතර එහි ප්‍රධාන දායකත්වය ලද පින්වතුන් විසින් විහාරස්ථානයේ වැදගත් අවශ්‍යතා ඉටු කෙරිණි. ලංකාවේ ජනපි‍්‍රය ධර්ම දේශකයන් වහන්සේලා වැඩමවා සතියක් පුරා ධර්ම දේශනා පැවැත්වීම මේ හා සමගාමීව සිදු කෙරෙයි. බෝමළුවට ගල් අල්ලා සැකසීම ඉසුරු ට්‍රැවල්ස් අධිපති සනත් කුමාර මහතා වෙතින් ඉටු කෙරිණි.

වාර්ෂිකව දායක පිරිස් රැගෙන දෙදින චාරිකාවක් සංවිධානය කරන අතර සමගිය, සහජීවනය හා විනෝදය මේ ඔස්සේ වර්ධනය කෙරේ. සිංහල අවුරුදු නැකත සමඟම ගමේ සියලු දෙනා විහාරස්ථානයට පැමිණීමත් විශේෂයෙන් කතෝලික ජනයා ද ඒ අතර සිටීමත් ඔවුන් අවුරුදු සංග්‍රහය හා තෑගි බෝග පිරිනැමීමත් ඔස්සේ ගමත් පන්සලත් යා කෙරිණි. දෙසැම්බර් 31 දින රාත්‍රී 12.00 ට සියලුම ගම්වැසියන් විහාරස්ථානයට පැමිණීමත් ඔවුනට ආශිර්වාද කොට කිරිබත් සංග්‍රහ සිදු කිරීමත් සිදුවෙයි. පෙබරවාරි මාසයේ දී කිරි අම්මාවරුන්ගේ දානය සිදුවන අතර 2016 වෙසක් පොහොය නිමිති කොට ගමේ දහස් ගණනකට දිවා ආහාරය පිදෙන මහා දන්සැලක් ද සිදු කෙරණි.

විහාරස්ථානය පිළිබඳ වෙබ් අඩවියක් සකස් කොට තොරතුරු යාවත්කාලීන කිරීම හා ධර්ම දේශනා ඇතුළත් කිරීම් සිදු කෙරිණි. ඩුලිප් වික්‍රමසිංහ මහතා මේ සඳහා ධනය වැය කළේ ය. විහාරස්ථාන ධර්ම ශාලාව හා විහාර මළුව අවස්ථා ගණනාවක දී ම මංගල උත්සව සඳහා වෙන් විය. දුප්පත් තරුණ පිරිසට වියදමකින් තොරව එම කටයුතු ඉටු කර ගැනීමට මඟ පෙන්වා තිබෙයි. උයන උතුර ග්‍රාම නිලධාරී කාර්යාලය ද විහාරස්ථානයේ පිහිටුවා ජනතාවට පහසුවෙන් එම කටයුතු ඉටු කර ගැනීමට හැකියාව ඇති කර තිබෙයි.

දිනපතා උදෑසන, දහවල දායක පින්වතුන් විහාරස්ථානයට දානය පූජා කරන අතර ඔවුනගේ ආගමික හා සමාජ ජීවිතයේ සියලු අවශ්‍යතා වෙනුවෙන් විහාරස්ථානයෙන් අවශ්‍ය සහයෝගය නොමඳව සැලසේ. මේ අය අතර කියවීම පුරුදු කර ගත් බොහෝ පිරිසක් විහාරස්ථ පුස්තකාලය පරිහරණය කරති.

කතෝලික ජනතාව සමඟ ද සහජීවනයෙන් ජීවත්වන අපවෙත මාසිකව දන් පුදන බෞද්ධ නොවන නිවෙස් ද වෙයි. විහාරස්ථානයට පැමිණෙන මාර්ගය පුළුල් කරලීම උදෙසා ඉඩම් පරිත්‍යාග කරන්නට කතෝලික පවුල් තුනක්ම ඉදිරිපත් වීමෙන් මෙන්ම අපගේ සේවාවන් බෞද්ධ නොවන අයට ද යොමු කර තිබීමෙන් ඔවුනගේ සහයෝගය අපට ලබා ගත හැකිව තිබෙයි.

මේ හැර දස වසක් පුරා ඉටු කළ මෙහෙවර අනාගතය කරා රැගෙන යන්නට අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අගලකඩ ධම්මරතන ශිෂ්‍යයන් වහන්සේ සමඟ ඌරුමුත්තේ රතනසාර, කන්දේගම නන්දසිරි ශිෂ්‍ය දෙපළ ද තනා ඇත්තෙමු.

මේ දස වස සමරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමරන්නට ලැබීම ගැන සතුටු වෙමු. මෙම උත්සවයට අදාළ සියලු කටයුතු වෙනුවෙන් වෙහෙස වී වැඩ කළ දායකත්වය දෙමින් මිල මුදල් වැය කළ අපගේ සියලුම දායක භවතුන්ට පුණ්‍යානුමෝදනා කරමු. විශේෂයෙන් 2006 ජූලි 07 දා ලුනාව විහාරස්ථානයට වැඩිදා සිට මේ දක්වා කවරාකාරයෙන් හෝ අපට එකතුව දිරි දුන් සහයෝගය දුන් උදව් උපකාර කළ වියදම් කළ දානමාන දුන් සියලු දෙනාටම විමාන පහළ වේවා. නොදන්නා රටක සිට නොදන්නා කෙනෙකු වූ උර්සුලා බයර් මැතිනිය අපගේ සුදු අම්මා වෙමින් ගෙවුණු දසවස පුරාම වසරකට දෙතුන් වතාවක් පැමිණ සතුටට පත්වෙමින් කළ සියලු උපකාර වෙනුවෙන් එතුමියට ද විමන් පහළ වේවා. එතුමියගේ සියලු කටයුතු අප වෙත රැගෙන එමින් දවස පුරාම අපට මහා දිරියක් වූ අපමණ බෝසත් ගුණයෙන් සපිරි මානවවාදියෙකු වන ලක්ෂ්මන් මහානාම මැතිඳුට ද විමන් පහළ වේවා. මගේ ළඟින් සිටිමින් මා සුරකින මගේ දිවිය පහසු කරවන මගේ කටයුතු නොමඳව ඉටු කර දෙන මට කලණ මිතුරන් වන සියලු දෙනාට දස වසක් පුරා කළ පින් සසරේ දිවි මඟ සියලුම සැපතින් ආඪ්‍ය වීමට හේතු වාසනා වේවා!

දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය

විහාරාධිපති හිමියන් සමඟ පෙර පාසලේ සිසු දරුවන්

 


සම්බුද්ධ ශාසනය ජනතාව අතරට පැතිර ගියේත් ප්‍රායෝගික දහමක් බවට පත්වූයේත් සංඝ සමාජයේ අප්‍රතිහත කැපවීම නිසාය

සම්බුද්ධ ශාසනය ජනතාව අතරට පැතිර ගියේත්, ප්‍රායෝගික දහමක් බවට පත් වූයේත්, එදවස සිට බහුජන හිත සුව පිණිස ගමින් ගමට වැඩම කළ සංඝ සමාජයේ අප්‍රතිහත කැපවීම නිසාය. අතීතයේ විසූ භික්ෂූන් වහන්සේලා සංඝ ශාසනයේ පැවැත්ම සහ චිරස්ථිතිය පිණිස සංවිධානය වූ ආකාරයත් බුදු දහම කෙතරම් ගැඹුරින් අධ්‍යයනය කළේ ද, යන්නත් ජන සමාජයේ කවර පිළිගැනීමට ලක්ව සිටියේ ද යන්නත් අපගේ ඉතිහාසය මනා සේ සාක්ෂි දරයි.

වර්තමානයේ බුදු සසුනේ දැක්ම ජනතාව වෙත රැගෙන යන උගත් ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා ග්‍රන්ථකරණයෙන්, ධර්ම දේශනා මගින් සහ ජනතාවට සමීපව හැසිරීම තුළින් ද දැකිය හැකිය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ අතීත වියත් භික්ෂු ධාරාවේ වත්මන් යතිවර ලකුණක් ලෙසින් බුහුමනට පත්වන්නේ උන්වහන්සේ තුළ පවත්නා ප්‍රාමාණික විෂයාත්මක දැනුම සහ සතර පේරුවේ දායක දායිකාවන් කෙරෙහි උන්වහන්සේ දක්වන අසීමිත කාරුණික ගුණයද හේතුවෙනි. අනාගත පරම්පරාවට ප්‍රඥා පාරමිතා පූරණය කරන්නට මඟ පෙන්වමින් ද ග්‍රන්ථකරණයෙන් තම දැනුම සමාජගත කරමින් ද මොරටුව ලුනාව බෝධිරාජාරාමය විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් ප්‍රදේශවාසී ජනතාවට ඉමහත් ශාසනික මෙන්ම සමාජයීය මෙහෙවරක් සපුරමින් ද පරමාදර්ශී පැවිදි දිවියක පූර්වාදර්ශ සපයමින් ද කසාවතේ උත්තරීතරත්වය යාවත්කාලීන කරමින් ද වැඩ වෙසෙන පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ද දීර්ඝායුෂ ද ප්‍රාර්ථනා කරමි.


පොදු ජන සුබසෙත උදෙසා ආධ්‍යාත්මික හා සමාජමය වශයෙන්ද කළ හැකි මෙහෙවර අතිමහත්ය

පොදු ජන සුබසෙත උදෙසා ආධ්‍යාත්මික වශයෙන් ද, සමාජමය වශයෙන්ද භික්ෂූන් වහන්සේලාට කළ හැකි මෙහෙවර අති මහත් ය. බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් සැට නම ඉදිරියේ ‘චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය සුඛාය අත්තාය හිතාය දේව මනුස්සාය’ යනුවෙන් වදාළේ ජනතාවගේ හිත සුව පිණිස පමණක් නොව දෙවියන්ගේ ද යහපත පිණිස ද වැඩරකරන්නැයි ඉල්ලීම භික්ෂු පරපුර හමුවේ තබමිනි. ඒ බුදු වදන අනුව යමින් ලක්බිම ගම්දනව් පුරා වෙහෙර විහාර, ආරාණ්‍ය, අසපු තුළ වැඩ වාසය කරමින් ජන ජීවිත නගා සිටුවන්නට බහුතර සංඝයා වහන්සේලා දරණ වෙහෙසට අපගේ ගෞරවනීය ප්‍රශංසාව හිමි විය යුතු ය.

මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි එම යතිවර පරපුරේ විශිෂ්ට යතීන්ද්‍රයාණන් වහන්සේ නමකි. 2006 වසරේ ගරා වැටුණු කුඩා විහාරස්ථානයකට පිවිසෙමින් දිළිඳුකම සහ නූගත්කම විසින් කාලාන්තරයක් තිස්සේ පීඩාවට ලක් වූ ලුනාව ප්‍රදේශයේ ජන කොටසකට උන්වහන්සේ ආධ්‍යාත්මික පහන් වැටක් වූහ. මොරටුව නගරය කේන්ද්‍ර කරගෙන පසුගිය දස වසර පුරා උන්වහන්සේ ඉටුකළ ධර්ම, ශාස්ත්‍රීය, අධ්‍යාපනික, සමාජ මෙහෙවර අනූපමේය වෙයි. ලුනාව බෝධිරාජාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරමින් ඇරඹි සමාජ සත්කාරක සේවාවට දස වසරක් සපිරෙන මොහොතේ තවත් දිගු කලක් එකී සේවාව දියත් කරන්නට මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් නිදුක් නිරෝගී සුවයත්, චිර ජීවනයත් මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.