UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විශ්මිත ප්‍රාතිහාර්ය පානා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ

විශ්මිත ප්‍රාතිහාර්ය පානා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ

අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් ධාතුන් වහන්සේගේ පරම්පරා කතාව ඔබ බොහෝ කාලයක් සිට ඉගෙන ගත් අතර, ඒ පිළිබඳව ඔබ දැනුවත් ඇතැයි සිතමු. ඒ ඉගෙන ගත් දේ ජීවිතයට ගලපා ගත්තා වන්නේ ධාතූන් වහන්සේ පිළිබඳව තමා තුළ ඇති වූ ශ්‍රද්ධාවත්, ගෞරවයත් අනුවය.

මහා පහන් වූ සිතින් යුතුව උතුම් ස්තුපයන් හෝ ධාතුන් වහන්සේ වන්දනා කරන්න හැකිනම් එයත් පිනට එක් උල්පතකි. එකිනෙකාගේ සිත පහදින ක්‍රම වෙනස්ය. සමහර අයගේ හිත බුදුගුණ ඇසෙනවිට පැහැදේ. සමහර අය නිරය, දෙව්ලොව, පේ‍්‍රත ලොව ආදි විස්තර ඇසෙනවිට තමා කළ පින්, කුසල් ගැන සිත සිතා පැහැදේ. සමහර අයට හිත පහදින්නේ ධාතුන් වහන්සේගේ විස්තර ඇසෙන විටය. සමහර අයට සිත පහන්වීම පිණිස උපකාර වන්නේ බෝධින් වහන්සේගේ ප්‍රාතිහාර්ය කතා ශ්‍රවණය කිරීම තුළිනුයි. ඒ නිසා බෝධීන් වහන්සේගේ අසිරිමත් විස්තර කතාව යම් කෙනෙකු ශ්‍රවණය කර සිත පහදවා ගනීනම් ඔහුට එය උපකාර පිණිස අද සිට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පරම්පරා විස්තරය ඔබට ඉගෙන ගැනීමට හැකියාව ඇත.

මිහිඳු මහ රහතන් වහන්සේගේ දායාදය

එදා පොසොන් පොහෝ දිනක මිස්සක පව්වෙන් ඇසුණු දහම් හඬයි අදත් මේ රැව් පිළිරැව් දෙන්නේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් දුටුවේ අනාගතයේ තථාගත ශ්‍රී සද්ධර්මය පිහිටන්නේ ලංකාද්වීපයේ බව. පිරිනිවන්පානා මොහොතේ අපගේ තථාගතයන් වහන්සේ සක් දෙවිඳුට ලංකාව බාර කළේ එය ආරක්ෂා කරන්න කියමින්. මේ අපූරු විස්තරය මහා වංශයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ චූලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළේ ජානුස්සෝනි බමුණාටය. එදා ජානුස්සෝනි බ්‍රාහ්මණයා වී සිටියේ දේවානම්පියතිස්ස රජතුමා බව අටුවාවේ සඳහන්ව ඇත. එනිසායි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකා ගමනයෙන් පසු පළමු දේශනාව ලෙස චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කොට වදාළේ. රජතුමා නුවණැති නිසාත්, සසර පුරුද්ද නිසාත් ඉක්මණින් දහමට පැහැදුණි.

රටවල් ගණනාවක ධර්ම ප්‍රචාරය සඳහා රහතන් වහන්සේ වැඩමවීමේදී ධර්මාශෝක රජතුමා තමාගේ පුත්‍ර රත්නයම ලංකාවට වැඩම්මවීමට කටයුතු යෙදීම මේ ධර්ම ද්වීපයේ ඉරණමයි. මිහිඳු මහරහතන් වහන්සේ නො වැඩියානම් අදවනවිට අපගේ ඉරණම කෙසේද? මොනවා කරමින් සිටීද? දරුණු ස්වභාවයෙන් මියගොස් සතර අපායේ වැටෙන්නයි සිදුවන්නේ. දකුණු අකු ධාතුන් වහන්සේත්, ප්‍රාත්‍රා ධාතුන් වහන්සේත් ලංකාවට වැඩම කරවිය. මිහිඳු මහරහතන් වහන්සේ පෞද්ගලිකව වන්දනාමාන කළ අෂ්ඨවංක මාණික්‍යය තුළ වූ තථාගතයන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුවත් ලංකාවටම දායාද විය. හෙළවැසි රහතන් වහන්සේ බිහිවුණි. මාර්ගඵලලාභීන් බිහිවුණි. රුවන්වැලි මහා සෑය ආදී මහා ස්තූප වලට හරසර ලැබුණි.

මහාබෝධි පරම්පරාව මහින්දාගමනයේ දායාදයකි

මිහිඳු මහ රහතන් වහන්සේමයි අතීතයේ බෝධින් වහන්සේ ලංකාවේ වැඩසිටි විස්තරය වදාළේ. දැන් අනුරපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින පින්බිමේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩසිටි විස්තර අතීතය දකිනා ඤාණයෙන් දේවානම්පියතිස්ස රජතුමාට විස්තර කළ සේක. අතීතයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, යන සම්මා සම්බුදුවරු ජීවමානව වැඩ සිටිද්දීමයි රහත් භික්ෂුණියක් විසින් බෝධිය රෝපණය කළේ. අපේ බුද්ධ ශාසනයේ එය සිදුවන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ සමයේ මිහිඳු මහරහතන් වහන්සේ මුල් වීමෙනි. දේවානම්පියතිස්ස රජතුමාගේ පූර්ණ රාජ්‍යය අනුග්‍රහයෙන් බෝධින් වහන්සේ වැඩමවන්නට කරුණු යෙදුණි. ඒ බෝධි ආගමනය අතිශයින්ම ප්‍රාතිහාර්ය කතාවකි. විස්මිත සිද්ධිදාමයකි. ඒ විස්තරය අප ඉදිරියේදී ඉගෙන ගනිමු.

බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන පහ

පිරිනිවන් මංචකයේ වැඩසිටින අපේ බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන පහක් කළ බව වංශකතාවල සඳහන් වේ. එයින් අධිෂ්ඨාන තුනක්ම බෝධින් වහන්සේ සම්බන්ධවය .

01. ධර්මාශෝක නරේන්ද්‍රයා බෝධින් වහන්සේ ලංකාවට වැඩමවන්නට කටයුතු යොදද්දී දක්ෂිණ ශාඛාව මහා බෝධියෙන් ඉබේම වෙන් වෙත්වා.

02 බෝධියෙන් මිදී රන් කටාරමේ පිහිටි දක්ෂිණ ශාඛාව ආකාශයට පැන නැඟී වලාවෙන් වැසී දින සතක් පවතීවා.

03. බෝධින් වහන්සේගේ පත්‍රයෙනුත්, බීජයෙනුත් සවනක් ඝණ බුදුරැස් විහිදේවා යනුවෙන් ඒ ප්‍රාර්ථනා අතර තුනක්ම බෝධින් වහන්සේ සම්බන්ධවය . ඒ නිසායි බෝධි පරම්පරාවෙන් එන බෝධින් වහන්සේගේ ප්‍රාතිහාර්ය නොයෙක් අයුරින් සිදුවෙන්නේ. අදටත් එවැනි ප්‍රාතිහාර්ය සිදුවේ. 1929 දී උම්මත්තක මිනිසෙකුගෙන් බෝධින් වහන්සේට සිදුවුකළ අනතුර මිස ආක්‍රමණවලට හෝ වෙනත් උපද්‍රවයකට අනුරාධපුරයේ වැඩසිටින ශ්‍රී මහා බෝධීන් වහන්සේට කිසිදු අනතුරක් කරන්නට කිසිවෙකුට නොහැකි වූ බව ඉතිහාසය අධ්‍යනය කරද්දී පෙනී යයි.

අපේ රටේ ඉරණම බෝධින් වහන්සේගෙන් ප්‍රකට වේ

මහාබෝධින් වහන්සේ අනුරාධපුර උඩමළුවේ රෝපණය වූයේ සෘර්ධියෙනි. නොයෙක් ප්‍රාතිහාර්ය සිදුවිය. බෝධින් වහන්සේට ධර්මාශෝක රජු දඹදිව තලයෙනුත් දේවානම් පියතිස්ස රජු ලංකාදීපයෙනුත් පිදූ අතර ඡත්‍ර සේසත් වලින්ද පිදුනු ලැබීය. ඒ කෙසේද කියා ඉදිරියේදී අප සාකච්ඡා කරන්නෙමු. ලංකාවේ සමෘද්ධිමත් කාලවලදී මෙන්ම අභාග්‍යසම්පන්න කාලවලදීද යම් හෝඩුවාවක් බෝධීන් වහන්සේගෙන් සොයාගත හැකි බව අප අසා තිබේ. සුනාමියට කලින් බෝධි ප්‍රාකාරයට හානි වුණි. ඒ වගේම යම් වෙනසක් බෝධින් වහන්සේ ඇසුරුකොට සිදුවේ නම්, එය රටටම සිදුවන වෙනසක ලකුණක් බව පැරණි මිනිසුන් කියති. අලි එළවමින්, දරමිටි ගෙනෙමින්, කවි කියමින් ජය ශ්‍රී මහ බෝ සමිඳු වැන්ද ශ්‍රද්ධාවන්ත අතීතයක් අපට තිබේ. මහා බෝධියට කිරි ආහාර පූජා නොකොට අස්වැන්න බුක්ති විඳින එක පාපයක් කියා හිතපු මිනිසුන් ඉතාමත් ගෞරවයෙන් ශ්‍රී මහා බෝධියට වන්දනා කළහ. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල වඳින ආකාරයට ඔවුන් මහා බෝ පා මුල වන්දනා කළේය. බෝ පත් මුල් පෑගුණත් ශ්‍රද්ධාවන්තයා සමාව ගත්තේය.

ඔබ දන්නවාද?

ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ පරම්පරා කතාවත්, ආනන්ද බෝධි පුරාණයත් විශේෂයෙන් අෂ්ඨඵල බෝධි, දෙතිස්ඵල බෝධි පිළිබඳ විස්තරත් පරම්පරා බෝධිවල විස්තරත්, බෝධි ප්‍රාතිහාර්යත් ඉදිරියේදී විස්තර වේ. බෝධි වන්දනා කළ සැදැහැවතුනට ලැබුණ අපූරු විපාක හා ආනුභව සම්පන්න බෝධි වන්දනාවක් කරන ආකාරයත් බොහෝ දෙනා දන්නා බවක් දන්නට නැත. හේතුව බෝධින් වහන්සේට විප්‍රකාර සැරසිලි කරමින් කරන පූජා දුටුවිට එසේ සිතේ. බෝධීන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් අවබෝධයට පිට දුන් වෘක්ෂය යි. “බෝධිය” ලෙස එය හඳුන්වන්නේ චතුරාර්ය සත්‍යාබෝධය ඇසතු වෘක්ෂය යටදී සිදුවූ නිසායි. ඒ ගැන තවත් විස්තර ඉදිරියේදී කථා කිරීමට බලාපොරොත්තු වෙමු.

බෝධීන් වහන්සේගේ පරම්පරා කතාව ඉගෙනගෙන හිත පහදවාගෙන පින් දහම්, කුසල් දහම් රැස්කරගෙන සසර දුකින් නිදහස් වනු කැමැති පිනැතියන් අද සිට දිගහැරෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආනුභාව සම්පන්න පරම්පරා කතාව පහන් සිතින් ඉගෙන ගනිත්වා.


 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]