Print this Article


වැව කෙත දාගැබ සංකල්පය මත ඉදි වූ මහා ස්තූපය

වැව කෙත දාගැබ සංකල්පය මත ඉදි වූ මහා ස්තූපය

කොත්මලේ මහවැලි මහා ස්තූපය 2016 ජුනි මස 20 වන සඳුදා දින පස්වරු 2.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මහවැලි සංස්කෘතික පදනම් භාරයේ සභාපති වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ආරාධනයෙන් සැදැහැවතුන්ගේ වන්දනාමානයට විවෘත වේ

කොත්මලේ මහවැලි මහා ස්තූපය

“වැව කෙත දාගැබ” සංකල්පය යටතේ ඉදිවුණු මේ මහා ස්තූපය මඟින් සිහිකරවන්නේ පංච මහා ජලාශවලට යට වූ ඓතිහාසික බෞද්ධ වෙහෙර විහාර සහ පූජනීය වස්තු අනුස්මරණ කිරීමයි. තවත් මහවැලි ජලාශ තිබියදී විශේෂයෙන් කොත්මලේ මේ සඳහා තෝරා ගැනුනේ ඒ ප්‍රදේශයේ ඓතිහාසික, සංස්කෘතිය හා ශාසනික වැදගත්කම නිසාවෙනි. මුළු මහත් බෞද්ධ ලෝකයේම මුදුන්මල්කඩ බඳු වූ සෙංකඩගල දළදා මැදුරෙහි වැඩ වෙසෙන දළදා වහන්සේටත්, එසේම පාත්‍රා ධාතූන් වහන්සේටත්, සුප්‍රකට මලියදේව මහරහතන් වහන්සේටත් කලක් රැකවරණය දුන්නේ මේ කොත්මලයයි.

ඒ හැරුණු විට කොත්මලේ ජලාශ ප්‍රදේශ ස්වභාවික සෞන්දර්යය අතින් ද සියලුම ජලාශ අභිබවා යයි. කොත්මලේ ප්‍රදේශයේ උස් කඳු වැටි කොත් කඳු මුදුන්වලින් වැසී ගත්තේ ය. ඒ නිසා ‘කොත්මලය’ නම් අන්වර්ථ නාමය එයට ලැබී ඇතැයි බොහෝ දෙනා සලකති. මේඝ වර්ණ කොත් පෙළ අතරට අලුතින් එක්වන ස්වේත වර්ණ කොතක් බඳුව කඩදොර කඳු මුදුනේ අහස උසට නැඟී සිටිමින් කොත්මලා ස්තූපය කොත්මලේ ජලාශයට ඉහළින් දර්ශනය වන කල එහි ස්වභාවික සෞන්දර්යය තවත් ඔපවත් වන්නේ ය. දුටුවන් නෙතට රසඳුනක් බඳු වන්නේ ය. ඓතිහාසික කොත්මලේ මහා සෑ රඳුන් පූජනීයත්වයෙන් පූජනීයත්වයට පත් වන්නේ ය. මහවැලි වංශ කතාවටත්, ශ්‍රී ලංකාවේ ස්තූප වංශයටත් නව පරිච්ඡේදයක් එක් වන්නේ ය.

කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ ඉදි කරන ලද ජලාශයන්ට යට වූ බෞද්ධ සිද්ධස්ථාන සිහිකිරීම සංකේතවත් කරමින් පින්බර මහවැලි මහා සෑ රඳුන් මුළු මහත් ශ්‍රී ලංකාවටම මහත් ආශිර්වාදයක් වනු ඇත. සලකවාසී ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව අතර, මේ පිළිබඳව වඩාත් සතුටට පත් වන සුවිශේෂී පිරිසක් වන්නේ අලුතින් ඉදි වූ මහවැලි ජනාවාසවල ජීවත්වන බෞද්ධ ජනතාවයි.

1983 වර්ෂයේ මාර්තු මස 20 වන දින පස්වරු 2.00 ට යෙදුන සුබ මුහුර්තියෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජුනියස් රිචඩ් ජයවර්ධන මැතිතුමාගේ සහ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ නියමු දිවංගත ගාමිණී දිසානායක මහතාගේ අතින් මුල්ගල් තැබුණු කොත්මලේ කඩදොර කන්දේ පිහිටි මහවැලි මහ ස්තූපය පසුගිය වසර 30 කට අධික කාලයක් මුළුල්ලේ නොයෙකුත් බාධක මැද ගොඩනැගෙමින් නැවත අඩපණ වෙමින් තිබිණි. මාගේ සහ මහවැලි සංස්කෘතික පදනම් භාරයේ මහත් කැපවීම් මත ජූනි මස 20 වන දින මෙම ස්තූපය ශ්‍රී ලාංකික ජනතාවගේ වන්දනාමානය පිණිස දායාද කිරීමට හැකිවීම පිළිබඳව දිවංගත ගාමිණී දිසානායකයන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා ලෙස ද වර්තමාන රජයේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසද මා ඉතාමත් ආඩම්බරයට සහ තෘප්තියට පත්වන්නෙමි. 1994 වසරේ මාපියාණන්ගේ අභාවයෙන් පසු මේ කර්තව්‍ය සඳහා උරදුන් විශාල පිරිසක් වූහ. ඒ අතර එවකට මහවැලි අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ, වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මේ සඳහා ලැබුණු දායකත්වය ඉතාමත් ඉහළය. ඉන්පසු 2002 වසරේ එක්සත් ජාතික පක්ෂ රජයේ මහවැලි අමාත්‍යවරයා වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන් ද එම ස්තූපය තැනීම සඳහා මහත් ආධාර උපකාර ලැබිණ.

ඉන්පසු මහවැලි භාර ඇමැතිවරයා වූ නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ද ඒ සඳහා මහත් සහයෝගයක් ලැබුණු අතර 2006 න් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද බුද්ධ ශාසන ඇමති දී.මු. ජයරත්න මහතාගෙන් ද මේ සඳහා ලැබුණු සහයෝගය අති විශිෂ්ටය.

මහවැලි සංස්කෘතික පදනම භාරයේ හිටපු සභාපතිනිය වූ මාගේ මෑණියන් වන ශ්‍රීමා දිසානායක මැතිනියගේ අපරිමිත කැපවීමද පදනම් භාරයේ කටයුතු කළ සියලුම නිලධාරීන්ගෙන් ද මහවැලි අධිකාරියෙන් සහ මෙම විස්මිත නිර්මාණය සකස් කළ එහි සභාපති දිවංගත ඒ.එන්.එස්. කුලසිංහ මහතා ඇතුළු එම ආයතනයන්හි සහය නොවන්නට මෙම සත්කාරය ඉදිරියට ගමන් නොකරනු ඇතැයි මාගේ විශ්වාසයයි.

මේ පිළිබඳ මහා සංඝරත්නයෙන් ලැබුණු අවවාද අනුශාසනා ද අගය කරන අතර කොත්මලේ ජනතාව ප්‍රමුඛ නුවරඑළිය දිස්ත්‍රික් ජනතාව යන සකලවාසී මුළු මහත් බෞද්ධ ජනතාවගේ දායකත්වය ගෞරවයෙන් සිහිපත් කරන්නෙමි. 2016 ජූනි මස 20 වන සඳුදා දින මල්පළ ගැන්වෙන මෙම ස්තූපය පිළිබඳ දැක් වූ උනන්දුව සහ සිහිනය සැබෑ කර ගනු පිණිස සකලවාසී ශ්‍රී ලංකා වාසී යන මුළු මහත් බෞද්ධ ජනතාවම එම මහා ස්තූපය වැඳ පුදා ගැනීමට පැමිණෙන ලෙස මෙම ස්තූපයේ නිර්මාතෘ යුග පුරුෂ ගාමිණී දිසානායක මැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වශයෙනුත්, කොත්මලේ මහවැලි සංස්කෘතික පදනම් භාරයේ සභාපතිවරයා වශයෙනුත් සියලු දෙනාටම ආරාධනා කරමි.

ඔබ සැමට තෙරුවන් සරණයි.