Print this Article


වෙසක් උත්සවයෙන් රටේ බෞද්ධ ප්‍රබෝධයක්


වෙසක් උත්සවයෙන් රටේ බෞද්ධ ප්‍රබෝධයක්

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති
ආචාර්ය විජයදාස රාජපක්ෂ

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය නයිගල රජ මහා විහාරස්ථානය තෝරා ගැනීමට විශේෂ හේතු ගණනාවක් පාදක විය. 2003 වසරේ සිට වෙසක් උත්සවය මෙරට නොයෙකුත් ඓතිහාසික විහාරස්ථානවල පැවැත්වුවත් ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික් ආවරණය වන විහාරස්ථානයක පවත්වා නොමැත.

අනුරාධපුර ඉතිහාසයට සමගාමීව ඓතිහාසික වෙහෙර විහාරස්ථාන දකුණු පළාතේද ඇත. විශේෂයෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමෙහිලා දුටුගැමුණු රජතුමා, වළගම්බා රජතුමා ආදීන් තමන්ගේ සේනාංක සකස්කර ගෙන සැලසුම් කර ගනිමින් අනුරාධපුරයට ගියේ දකුණෙනි. ඒ ඓතිහාසික විහාරස්ථාන ලෙස ගල්ලෙන් සහිත විහාරස්ථාන ලෙස සිත්තම් ගල්ලෙන රජමහා විහාරස්ථානය, මුල්කිරිගල විහාරස්ථානය ආදී විහාරස්ථාන ඉතා වැදගත් වේ. ඒ සමයේ ඉතා දර්ශනීය ආකාරයෙන් නිර්මාණය කර ඇති විහාරස්ථාන අතර නයිගල රජ මහා විහාරස්ථානය, කසාගලරජ මහා විහාරස්ථානය, සිතුල්පව්ව ආදී විහාරස්ථාන ඒ අයුරෙන් ඒ පළාතේ ඓතිහාසික වටිනාකමක් සිහිපත් කිරීමත් සමඟ ජනතාව දැනුම්වත් කිරීම තුළින් සමස්ත රටේම බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට අපේක්ෂා කරනු ලැබේ.

එකල පැවැති රුහුණූ රාජ්‍යය අවතක්සේරුවට ලක් කළ නොහැකිය.අනුරාධපුරය නිර්මාණය වීමත් සමඟ රෝහණ රාජධානියත් නිර්මාණය විය.අනුරාධ කුමාරයාගේ සහෝදරයෙකි රෝහණ කුමාරයා. ඒ ඓතිහාසික වටිනාකම් මෙන්ම ශාන්ති නායක ලොව්තුරා බුදුපියාණන් වහන්සේ වැඩම කළ ස්ථානයකි. කතරගම. කතරගම ඉංගී‍්‍රසින් ගේ දේශ සීමා අනුව ඌවට අයත් වුවද අතීතයේදී කතරගම ප්‍රදේශය රුහුණූ රාජ්‍යයේ කොටසකි. මොනරාගල දිස්ත්‍රික්කයද එකල රුහුණු රාජ්‍යයට අයත් විය.

වෙසක් මාසය පුරාම විවිධ උත්සව පින්කම් ආදිය කරමින් වෙසක් උත්සවය සමරනු ලැබේ. වෙසක් සතිය ලෙස මැයි මස 18 වනදා සිට 24 වනදා දක්වා පැවැත්වේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් මෙම 22 වනදා නයිගල රජමහා විහාරස්ථානයේ ප්‍රධාන උත්සවය පැවැත්වේ.

වෙසක් දිනය ජාත්‍යන්තර සැමරුම් දිනයක් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කිරීමෙන් පසු සෑම වසරකම ජාත්‍යන්තර වෙසක් දිනයක් පවත්වනු ලැබේ. වියට්නාමය ආදී රටවල මෙයට පෙර පැවැති අතර මෙවරද ජාත්‍යන්තර වෙසක් දිනය තායිලන්තයේදී පැවැත්වේ. එම ජාත්‍යන්තර වෙසක් උත්සවය ලබන වසරේදී අපේ රටේ දී පැවැත්වීමට අපි ඉල්ලීමක් කර තිබේ. ඊට මග පෑදෙන අවස්ථාවක් වූයේ මෙවර ජාත්‍යන්තර වෙසක් උත්සවයේ මුඛ්‍ය දේශනය සඳහා ලංකාව වෙනුවෙන් මා වෙත ආරාධනාවක් ලැබී තිබේ. එබඳු අවස්ථාවක් අපට හිමිවූ පළමු වන අවස්ථාවයි.

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් රුපියල් 08,10 සහ රු. 35 වටිනාකම්වලින් යුත් මුද්දර තුනක් පසුගියදා නිකුත් කැරිණි. එම සැමරුම් මුද්දර තුන සහිත මුල් දින කවරය තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා විසින් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ඉකුත් 02 වනදා බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී පිළිගැන්වීම සිදු කැරිණි. අනතුරුව බුද්ධ ශාසන අමාත්‍යවරයා විසින් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ඇතුළු මහ සඟරුවන වෙත එය පිළිගන්වන ලදී.