Print this Article


අසිරිමත් ත්‍රිවිධ සිද්ධීන් බෞද්ධයන් සමරනු ලබන්නේ ශ්‍රද්ධාවෙනි


අසිරිමත් ත්‍රිවිධ සිද්ධීන් බෞද්ධයන් සමරනු ලබන්නේ ශ්‍රද්ධාවෙනි

අප භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහමායා දෙව් මව්කුසින් බිහිවූයේ මෙයට අවුරුදු 2640 කට පෙරදාය. තිස්පස් වෙනි වියේ දී සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ අදට අවුරුදු 2605 කට පෙරය. එසේම ලෝ වැස්සන්ගේ පසුතැවිල්ලට හේතු වූ අසූ හැවිරිදි වියේ දී පරිනිර්වාණයට පත්ව අද දින උදා වන්නේ 2560 වෙනි වසර වේ. එවන් සෑම වසරකම වෙසක් පෝ දාක සිදුවූ ආශ්චර්යමත් මේ ත්‍රිවිධ සිද්ධීන් ලෝ වාසී බෞද්ධයන් සමරනු ලබන්නේ මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙනි, ඒ අන් කවරක් නිසා හෝ නොව, වෙනත් බුදුවරයකු හැර මෙතෙක් ලොව පහළව ඇති වෙනත් ආගම් ශාස්තෘවරුන් අතර ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ ලෙස බෞද්ධ අපි පිළිගන්නා හෙයින් වෙමු.

අප ශාස්තෘ බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය මැනවින් දෙසුවකී. එය ස්වඛ්‍යාතයහ. මෙහි සීලය (කය, වචන හික්මීම) නම් වූ මුලක් ඇත. සමාධිය (සිතේ සංවරය) නම් වූ මැදක් ඇත. ප්‍රඥාව (ත්‍රිවිධ සංවරයෙන් උපදවාගත් විශේෂ ඥානයක්) නම් වූ අගක් ඇත. යමෙක් මේ ත්‍රිවිධ ධර්මතා උපදවා ගන්නේ නම් එහි ප්‍රතිලාභ වශයෙන් සිත, කය (නාම රූප) දෙක අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැක ආස්වාදය අල්ප බවත්, ආදීනව මහත් බවත් වටහාගෙන නිස්සරණ ධර්මතා වෙත එළඹ සියලු සසර දුකින් මිදිය හැකි බව කළ දේශනාව පිළිගන්නා හෙයින් බෞද්ධ අපි වාර්ෂික මේ වෙසක් මංගල්‍යය සමරන්නෝ වෙමු. එහෙයින් මෙතරම් උත්කෘෂ්ට ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨවීම සඳහා බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් වන අපි පළමු කොට මෙතෙක් ලොව පහළ වූ සියලු බුදුවරයන් වහන්සේ ලා දෙසූ පරිදි පව් කිරීමෙන් ඈත් වෙමු. ඒ සඳහා කළ යුත්තේ පව් නම් කවරේදැයි හඳුනාගෙන පව් කිරීමට භයවීමය. පව් කිරීමට ලජ්ජාවීමය. මෙසේ පවට ලජ්ජා භය ඇත්තේ ද ඔහු සතර දුගතියෙන් මිදේ. අනතුරුව සුගතිගාමී වීමට යහපතෙහි යෙදිය යුතු ය. ඒ සඳහා පිනම කරන්න. මෙසේ පින් කරන බෞද්ධයා ධර්මය නිතර ඇසීමෙන් බුදුමග කවරක්දැයි නිසි ලෙස දැන සසර දුකින් මිදෙන ක්‍රියා මාර්ගයන්ට (කුසල් කිරීමට) පිවිසෙන්නේමය. ඒ සඳහා ලැබෙන සත්පුරුෂ හා කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් මෙලොව යහපත්ව වාසය කොට පරලොව ද යහපත් කරවාගෙන හැකි ඉක්මනින් සසර ගමනින් මිදෙන්නෙක් ද වන්නේමය.