Print this Article


බුදු උපත සැපතකි


බුදු උපත සැපතකි

“සුඛො බුද්ධානං උප්පාදො”

ශ්‍රී ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය , පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්ලය, සිදු වූ, ශ්‍රී වෛශාඛ පුන් පොහෝ දිනය, ලක්වැසි බෞද්ධයන්ගේ පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම බුද්ධාලම්බන පී‍්‍රතිය පුබුදුවාලන, පරම පූජනීය මහෝත්සව දිනයයි. මෙදින ශ්‍රී සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේගේ අනන්ත මුනිගුණ සිහිපත් කොට, ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පිදීම ලෝකවාසී බෞද්ධයන් තුළ පවත්නා උතුම් චාරිත්‍ර ධර්මයකි.

මෙම උතුම් වෙසක් පුන් පොහෝ දිනය මුල් කොට , විසිතුරු වෙසක් සැරසිලි , දන්දීම්, මල් පහන් පිදීමාදී ආමිස පූජාවන්ගෙන් පමණක් නොසෑහී සීල, සමාධි , ප්‍රඥාව වඩා වර්ධනය කරගනු වස්, සියලු අකුසලයන්ගෙන් මිදී, කුසල් දහම් රැස් කර, සිත කෙලෙසුන්ගෙන් මුදවාගෙන නිර්වාණාවබෝධය ලැබීමට හේතු වන්නා වූ, ධර්මානුධර්ම ප්‍රතිපත්තීන් හි පිහිටීමට වඩාත් උත්සුක විය යුතුය. ආධ්‍යාත්මික ගුණධර්ම පෝෂණය කොට උභයාර්ථ ලෝක සංසිද්ධිය හා ආධ්‍යාත්මික ශාන්තිය සාදාගනු පිණිස ධර්මානුධර්ම ප්‍රතිපත්තීන් හි මනාව යෙදී දහමෙහි හැසිරීම, බුදුරජාණන් වහන්සේට කළ හැකි උතුම්ම පූජාවයි.

සතර පොහොය නිමිති කොට පළවන බුදුසරණ පුවත්පතෙහි ,මෙවර කලාපය ශ්‍රී බුද්ධවර්ෂ 2560 වන සම්බුද්ධ ජයන්තිය නිමිති කොට, පිටු 52 කින් යුක්තව පළ කිරීමට කටයුතු යොදා තිබීම අගය කරන අතර, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සම්බුදු තෙමඟුල් දිනය ලෝකවාසී සියලු සතුනට පරම ශාන්තිය උදා කර දෙත්වායි ආශිංසනය කරම්හ.