Print this Article


ශී‍්‍ර බුද්ධවර්ෂ 2560 රාජ්‍ය වෙසක් උත්සවය නයිගල පුරාණ රාජමහා විහාරස්ථානයේදී


ශී‍්‍ර බුද්ධවර්ෂ 2560 රාජ්‍ය වෙසක් උත්සවය නයිගල පුරාණ රාජමහා විහාරස්ථානයේදී

ප්‍රධාන උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 22වනදා:

මැයි මස 18 සිට මැයි මස 24 වන දින දක්වා රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වේ. තේමා පාඨය ‘වෙසක් අසිරිය විඳගමු සිතින් වැළකෙමු මතින්” යනුවෙනි.

රාජ්‍ය වෙසක් උත්සවය මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඓතිහාසික නයිගල පුරාණ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පවත්වනු ලැබේ.

එහි සමාරම්භක මොහොත ඓතිහාසික වටිනාකමක් ඇති කසාගල රාජමහා විහාරස්ථානයේදී මැයි මස 18 වන දින පැවැත්වේ. එහිදී කුල දරුවන් 35 දෙනෙකු සසුන්ගත කිරීම සිදුවේ.

1) ඒ සියලු දෙනා වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයක් සකස් කර දීමට සජිත් පේ‍්‍රමදාස ඇමතිතුමන් විසින් කටයුතු කර තිබෙන අතර, එම සියලුම නිවාස සඳහා සහනදායී අන්දමට විදුලිය ලබා දීමට විදුලිබල මණ්ඩලය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

2) සසුන්ගත වන සියලුම කුල දරුවන්ගේ දෙමාපියන්ට දඹදිව වන්දනා කිරීම සඳහා අවස්ථාවක් ලබා දීමට බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි දඹදිව වන්දනා සංවිධානය තීරණය කර තිබේ.

3) සසුන්ගත වන සියලුම ස්වාමීන් වහන්සේලාට මූලික වත් පිළිවෙත්, සාරධර්ම පිළිබඳව මූලික අවබෝධයක් ලබා දීමට එම ස්ථානයේ සාමණේර භික්ෂු පුහුණු ආයතනයක් ඇති කිරීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය සූදානම් කර ඇත. මැයි මස 19 වන දින සිට 20 වන දින දක්වා විවිධ පින්කම් එනම්, බෝධි පූජා,ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා , මෙන්ම දාන, ශීල, භාවනා ආදී විවිධ වැඩසටහන් ඓතිහාසික නයිගල රාජමහා විහාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර 21 වන දින මුළු දවස පුරා ශීල සමාදානය පැවැත්වේ. මැයි 22 වන දින අතිගරු ජනාධිපතිතුමා සැපත් වන රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වේ,

එදින එතුමා අතින් ඓතිහාසික නයිගල විහාරස්ථානය පූජා භූමියක් වශයෙන් ස්ථාපනය කිරීම ද , එදින හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල සංවර්ධනය සඳහා මෙන්ම දහම් පාසල් වෙනුවෙන් බුද්ධශාසන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 291 ක ආධාර ලබා දීම ද, අතිගරු ජනාධිපතිතුමා අතින් සිදුවේ.

නයිගල පුරාණ රාජමහා විහාරය සංවර්ධනය කිරීම සඳහා බුද්ධශාසන අමාත්‍යාංශය මගින් ලක්ෂ 90 ක මුදලක් ලබා දීමට කටයුතු කර ඇත. මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, බුද්ධශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය,පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ,මධ්‍යම සංස්කෘතික අරමුදල. සියලුම ආරක්ෂක ප්‍රධානීන් (පොලිස්, නාවික , යුද හමුදා) ,හම්බන්තොට දිසාපතිතුමා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරින්ගේ සහාය ද ලැබී ඇත.