Print this Article


බුදුරජාණන් වහන්සේගේ ඓතිහාසික සංකථනය


බුදුරජාණන් වහන්සේගේ ඓතිහාසික සංකථනය

වෙසක් දිනය එළඹෙනුයේ බුදුරදුන්ගේ තෙමඟුල සිහි ගන්වමින්ය. එබැවින් තෙමඟුල හා සබැඳි චරිතාංගය වනුයේ බුදුරජාණන් වහන්සේය. තථ්‍යතාව, ප්‍රභවය, කර්තෘත්වය හා පක්ෂපාතීත්වය ආදී කරුණු සැලකිල්ලට ගනිමින් මූලාශ්‍රවල විශ්වසනීයත්වය නිශ්චය කොට දෙස් විදෙස් සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක වශයෙන් මූලාශ්‍රයනට අනුව අතීත සංසිද්ධීන් හි විශ්වසනීයත්වය තහවුරු කරමින් සිද්ධීන් හා සබැඳි චරිතාංග සජීවීව, සිද්ධීන් හා බද්ධ කරමින් නූතනය වෙත ගෙන ඒම ඉතිහාසඥයෙකුගේ වගකීම වන අතර එම දෘෂ්ටියට සාපේක්ෂිතව බුදුරදුන්ගේ ඓතිහාසිකත්වය මෙහිදී විමසුමට ලක් කෙරේ.

බුදුන් වහන්සේගේ ඓතිහාසික බව තහවුරු වන එක් ප්‍රධාන සංසිද්ධියක් වනුයේ බුදු උපතය, ථෙරවාදී ත්‍රිපිටකගත මූලාශ්‍රයන්හි අවස්ථා කීපයක බුදු උපත හා එහි ආශ්චර්යාමක බව සඳහන්වන අතර එම සිද්ධිය අනෙකුත් සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මතින් තහවුරු කිරීම ඔස්සේ බුදු උපතේ මෙන්ම බුද්ධ චරිතයේ ඇති ඓතිහාසිකව මනාව ඉස්මතු කරගත හැකිය. ත්‍රිපිටකගත තොරතුරුවලට අනුව බුදු උපත සිදු වූ ස්ථානය නිවැරැදිව හඳුනාගැනීම, සිදු වු ආකාරය අනෙකුත් මූලාශ්‍රගත තොරතුරු සමඟ සංසන්දනය කිරීම තුළින් එහි නිරවද්‍යතාවය පෙන්වාදිය හැකිය. මෙහිදී පළමුව වැදගත් වන්නේ ත්‍රිපිටකයේ සඳහන් බුදු උපත සිදුවු ලුම්බිනියේ ඓතිහාසිකත්වය හඳුනා ගැනීමය. ඒ තුළින් එම ස්ථානය හා බුදු උපත අතර ඇති බද්ධතාවය මනාව තහවුරු කර ගැනීමට හැකිවේ.

ශාක්‍ය ජනපදය හා ලුම්බිනිය

බුදුරදුන්ගේ මාපියන් ලෙසින් සඳහන් වනුය් ශාක්‍ය වංශික සුද්ධෝදන රජු හා මව මහාමායා නම් කෝලිය වංශික දේවියය. තම පියාගේ ශාක්‍ය ජනපදය වනාහි හිමාලයට දකුණු දිශාවෙන් පිහිටා ඇති අතර ශාක්‍ය හා කෝලිය රජ දරුවන්ගේ වාසභූමිය ද රෝහිණි ගංගාවේ දෙතෙර පිහිටා තිබුණි.

වර්තමානයේ තිලරාකොට් (Tilarakot)  නමින් හැඳින්වෙන්නේ එවකට ශාක්‍යයන්ගේ අග නගරයයි. මෙහි සිට කිලෝ මීටර් 28 ක් බටහිරින් හා දෙව්දහ නුවර සිට කිලෝමීටර් 38 ක් නැඟෙනහිරින් බුදුරදුන් උපන් ලුම්බිනිය පිහිටා තිබේ. පාලි සාහිත්‍යයේ ප්‍රදිමොක්ස වන’ යැයි මෙම උයන හැඳින්වේ. පාලි ත්‍රිපිටකයේ හා අටුවාවල ලුම්බිනි වනය ශාක්‍ය ජනපදය තුළ පිහිටා තිබු බව පෙන්වයි. ජාතකට්ඨ කතා නිදානයේ සාල වෘක්ෂ සහිත ලුම්බිනි වනයේ දී බෝසතුන් උපන් බව සඳහන්ය. නාලක සූත්‍රයේ ලුම්බිනි ග්‍රාමය ගැන ද දැක්වේ. පපඤ්ච සූදනීයේ හා ජාතක අටුවාව ද ලුම්බිනිය දේවදහ නිගමයට ආසන්නයේ පිහිටා තිබු බව දක්වයි.

එදා ශාක්‍යයන්ගේ අග නගරය කපිලවස්තුව වේ. කපිල තපස් හු වාසස්ථානය කොට ඉදිකළ නගරය නිසා කපිලවස්තුව වී යැයි සැලකේ. ‘පදරියායි’ හා ‘කොහොන නදි’ නමින් කපිලවස්තුව හා රෝහිණි නදිය වර්තමානයේදී හැඳින්වේ. හත්වැනි සියවසේදී ඉන්දියාවට පැමිණ වාර්තා තැබු චීන ජාතික භික්ෂුවක් වන හියුං සීයෑං භික්ෂුව තමා එදා දුටු කපිල වස්තුව ගැන මෙසේ දක්වයි.

“කපිලවස්තු රාජධානිය වනාහි වටින් ලී 400 ක් වේ. රජමාලිගාව පිහිටි භූමිය ලී 14 ක් පමණ වටය. එහි සියලු ගොඩනැඟිලි ගඩොලින් නිමවා තිබුණි. එහි අත්තිවාරම් බිත්ති තවමත් ඉතාමත් ශක්තිමත්ය. උස්ය. මාලිගා භූමිය තුළ ජරාවාස වූ අත්තිවාරම් බිත්ති හතරක් ඇත. මෙය සුද්ධෝදන රජුගේ නිවාසය කැඩී බිඳීගිය පසු ඉතිරිව පවත්නාදෑය. ප්‍රාසාදය පැවැති තැන සුද්ධෝදන රජුගේ ප්‍රතිමාව පිහිටුවා තිබෙන විහාරයක් ඇත. මෙයට නුදුරෙන් මායාදේවියගේ සයනය වු තන්හි විහාරයක් වේ. එය බෝසතුන් කුස පිළිසිඳ ගන්නා අවස්ථාවේ මායාබිසව නිදාගත් තැනය.මේ ප්‍රවෘත්තිය එහි බිත්තියේ සිතියම් කර තිබේ. ශරකුප නම් පොකුණෙන් ලී තිහක් දකුණු නැගෙනහිරින් පිහිටා ඇත. මේ පොකුණෙන් ලී අසූවක් පමණ ගිය තැන ලුම්බිනි වනය වේ. ලුම්බිනි නම් රාජකුමාරියක නමින් රාජකීය උද්‍යානයට සමීපයෙන් පිහිටි ගමක්ද වේ. මෙම උයන සිද්ධාර්ථ කුමාරයාගේ ජාත භුමිය විය. කපිලවස්තු හා දෙව්දහනුවර අතර මෙම උද්‍යානය පිහිටා ඇත. අශෝක රජු මේ ස්ථානයට පැමිණ ශිලා ලේඛනයක්ද පිහිටුවා තිබේ.” හියුං සියංගේ විස්තරයේ ලුම්බිනි වනයේ ශාක්‍යයන්ගේ නාග පොකුණ වූ බවත් එහි ජලය කැඩපතක් මෙන් පැහැදිලි වන අතර පොකුණෙන් පියවර විසිපහක් පමණ ගිය තැන දිරාගිය අශෝක රුකක් වූ බවත් දක්වයි. මෙහිදී වෙසක්පුර අටවක්දා බෝසතුන් උපන්නේය. ස්ථවිරවාදීහු මෙය පසළොස්වක් යැයි කියති. ලුම්බිනිය හරහා ගලන නදිය තෙල් නදිය යැයි හියුං සීයෑං දක්වන අතර අද ද ‘තිලාර් නදි’ නමින් මෙම නදිය නම් කර තිබේ.

කි‍්‍ර.ව. 406 මෙම ස්ථානයට පැමිණි චීන ජාතික ෆාහියන් හිමියන් මෙම ස්ථානය ලුම්– මින් යනුවෙන් හඳුන්වයි. හියුං සීයෑං ලා ෆා නී ( La-Fa-Ni) යනුවෙන් සඳහන් කරයි. ෆො-කිව්– කී (Fo-kew - ki)  ගේ සටහනට අනුව ‘ලුම්බිනිය’ එක් කලෙක ‘ප්‍රදිමොක්ෂ’ ලෙසින් හඳුන්වනු ලැබූ බව දක්වයි.

සිද්ධාර්ථ කුමරු ඉපදුනු වෘක්ෂය ප්ලක්ෂ වෘක්ෂය බව ලලිත විස්තරය කියයි. චීං යුගයේ දී යූඒ චී භික්ෂුවක් වන සෙනග්– ට්සි  (Seng-Tsai) භික්ෂුව පළමුවෙන් ලුම්බිනියට ආ භික්ෂුව වන අතර උන්වහන්සේ බුදු උපත සිදු වූ අශෝක ගස තවම පවතින බව සඳහන් කරති. ෆාහියන් හිමි දක්වනුයේ අශෝක ගස උන්වහන්සේ එම ස්ථානයට යන විටද පැවැති බවය. අශෝක රුකක් බව හියුං –සියැං වාර්තාවේ දැක්වේ.තමා මෙහි පැමිණෙන විට දිරාපත්වන අශෝක වෘක්ෂයක් පැවැති බවද කියයි.හන් රාජ වංශයට අයත් සුයි – චිං– සූ ග්‍රන්ථය අශෝක වෘක්ෂයට බුද්ධ ජීවිතයේ වැදගත් තැනක් හිමිවන බවත් එමෙන්ම මෙහි පළමු වෘක්ෂය මිය ගිය පසු පැරැණි මුල්වලින් එම වෘක්ෂය නැවත හටගත් බවත් දැක්වේ. අශෝකවදානය හා අශෝක රාජ් සූත්‍රය සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය අශෝක ගසක් යට සිදු වූ බව සඳහන් කරයි. දිව්‍යවදානයේ අශෝක රජු සත්‍ය සල්ගසම දුටු බව කියයි. කුෂාණ යුගයට අයත් මූර්තියක බුද්ධ උපත දැක්වෙන අතර එහි දැක්වෙනුයේ සල්ගසක් යැයි හන්ටින්ටන් මහත්මිය පෙන්වා දෙයි. සාල වෘක්ෂයක් යට ඉපදුණු බෝසත් උපත දැක්වෙන හුණුගලින් කළ කැටයමක් නාගර්ජුනිකොණ්ඩයෙන් ලැබී තිබේ.කැටයමට නඟා තිබේ. ක්‍රි.ව. 3/4 සියවස්වලට අයත් ගල් කැටයමක සල් වෘක්ෂයක් අල්වාගෙන සිටින මායා දේවියගේ රුවක් සහිත බුදු උපත සනිටුහන්ව තිබීම ද බුදු උපත ගැන මතකය යුගකරණය තුළ පැවැති ආකාරය දැක්වීමට නිදසුන් ලෙසින් පෙන්විය හැකිය. බුදු උපත සිදුවූ වෘක්ෂය ගැන අදහස් මූලාශ්‍ර තුළ මෙසේ පැවැතිය ද ථෙරවාදී සම්ප්‍රදාය පිළිගනු ලබන්නේ සල් වෘක්ෂයක් යට බුදු උපත සිදු වූ බවය.

‘හිද බුධ ජාතේ ලුමිණිගාමේ යන බ්‍රාහ්මී අක්ෂරයෙන් රචිත අශෝකයන් විසින් ලුම්බිනියේ පිහිටුවා ඇති හාලා ලේඛනයෙන්ද බුදුරදුන්ගේ උපත සිදු වු ග්‍රාමය ලුම්බිනිය බව සනාථවන අතරම ඊට ගෞරවයක් ලෙසින් අශෝක අධිරජු විසින් එම ග්‍රාමයෙන් අය කරන බදු අටේ එක දක්වා අඩු කළ බව ද කියයි. මෙම සාක්ෂිය බුදුරදුන්ගේ ඓතිහාසික බව සනාථ කරලීමට කදිම සාක්ෂියක්ද වේ.

බුදු උපත සිදු වූ ස්ථානය හා බුදු උපත සිදු වූ ආකාරය ගැන ඇති පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මෙහි ඓතිහාසිකත්වය හා නිරවද්‍ය බව තවදුරටත් සනාථ කරයි. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර ක්‍රි.පූ. 250 දී මෞර්ය පාලක අශෝක රජු මෙම ස්ථානයට පැමිණ ශිලා ලේඛනයක් පිහිටුවා බුදු උපත මෙහිම සිදු බව එහි සඳහන් කර තිබේ. තමාගේ විසිවැනි රජ වර්ෂයේදී මෙම ස්ථානයට ආ බවත් ශාක්‍යමුනි වූ බුදුරදුන් මෙහි ඉපදුනා (බුධ ජාතේ සක්‍යමුනිතී) යැයි ගලින් සලකුණක් කිරීම හා ගල් කුලුනක් එසවීමත් භගවතුන් වහන්සේ මෙහි ඉපදුණු නිසා ලුම්බිනි ග්‍රාමයේ බදු අටෙන් එක දක්වා අඩු කළ (ලුමිනිගාමෙ අටභාගියේ ච) බවත් එහි දැක්වේ. අශෝකාවදනයට අනුව උපගුප්ත නම් භික්ෂුවක් සමඟ අශෝක රජු ලුම්බිනියට ආ බවත් උන්වහන්සේගේ උපදෙස් මත මෙම ශිලා ස්ථම්භය හා ලේඛනය පිහිට වූ බවත් දැක්වේ.