UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාවිමන නාලක නා හිමි

කතරගම දෙටගමුව ජයසුමනාරාමයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපන පින්කම සහ ඌව පළාත් ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජෙට්ඨානුවිජ්ජක කාරක සංඝ සභික ධම්මානන්ද ධම්මවංසාභිධජ සාසන බන්ධු ශාස්ත්‍රවේදී නාවිමන නාලක       නා හිමියන් වෙත අක්ත පත්‍ර පිළිගැන්වීමේ උත්සවය 12 වන දා ජයසුමනාරාමයේ දී පැවැත්වේ.


ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා!

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ, ඌව පළාත් ප්‍රධාන සංඝනායක පදවියට පත්, ශාස්ත්‍රවේදී පූජ්‍යතර නාවිමන නාලක මහා ස්ථවිරපාදයන් වහන්සේ ස්ව නිකායේ අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින්, උජුපටිපන්න භික්ෂූන් වහන්සේ නමක් ලෙස තම කාර්ය භාරය මැනවින් ඉටුකරන යතිවරයාණ කෙනෙකි.

අයුක්තියට, අසාධාරණයට එරෙහිව අභීතව කටයුතුකරන නාවිමන නාලක මහා ස්ථවිර පාදයන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ව්‍යාප්තිය සඳහා පැසසිය යුතු සේවාවක් සිදුකර ඇත. කතරගම ප්‍රදේශයේ රාමඤ්ඤ නිකායික විහාරස්ථානයක් ඇති කිරීම හා බදුල්ල, මොනරාගල ප්‍රාදේශික සංඝ සභාවක් පිහිටුවීමට පුරෝගාමී වීම එයට නිදසුන් වේ. කර්මාචාර්යවරයෙකු වශයෙන් මහා උපසම්පදා විනය කර්මයට දස වසරකට අධික කාලයක් සහභාගිවන නාවිමන නාලක මහා ස්ථවිරපාදයන් වහන්සේ නිකායේ කාරක සභික වරයන් වහන්සේ නමක් ලෙස ද කටයුතු කළ අතර ජෙට්ඨානුවිජ්ජක මණ්ඩලයේ ද කටයුතු කරති.

පිරිවෙන් හා පාසල් ගුරුවරයෙකු වශයෙන් ගිහි පැවිදි විශාල පිරිසකට උසස් අධ්‍යාපනික මෙහෙවරක් ද සිදු කර ඇත. තම ජීවිතයම ජාතික, ආගමික, ශාසනික දියුණුව සඳහාම කැප කරමින් කටයුතු කරන ශාස්ත්‍රවේදී නාවිමන නාලක මහා ස්ථවිර පාදයන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ඌව පළාත් ප්‍රධාන සංඝනායක පදවියට පත් වී සිටිති. නව පදවියේ භාර ධූර කාර්ය භාරය ඉටුකිරීම සඳහා නාවිමන නාලක මහා ස්ථවිර පාදයන් වහන්සේට, අනන්ත බල ඇති ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත්, දෙවි රැකවරණයත් ලැබේවා! යි ප්‍රාර්ථනා කරමි.


සුවිශේෂ සේවාවක් සිදුකර ඇත

කතරගම දෙටගමුවෙහි කුඩා ආරාමයක සිටිමින් දුක සැප නොතකා මහඟු සේවාවක් කරන නාවිමන නාලක නාහිමිපාණන් වහන්සේ කතරගම ප්‍රදේශයට සුවිශේෂි සේවාවක් කළ සංඝ පිතෘවරයාණන් වහන්සේ නමක් වශයෙන් දක්වාලිය යුතුව තිබේ. උන්වහන්සේ ශිලාදී ගුණයෙන් පරිපූර්ණය. බෙහෙවින් අවංක භාවයෙන් යුක්තය.

තම ප්‍රදේශවාසීන් යහමඟට ගැනීමට උන්වහන්සේ දරා ඇති ප්‍රයත්නය ප්‍රශංසාත්මකය. එකී දැඩි අවවාද අනුශාසනා අනුව අභිවෘද්ධියට දියුණුවට පත් ප්‍රදේශවාසී බොහෝ දෙනා පිළිබඳව අද උන්වහන්සේ බෙහෙවින්ම සතුටු වෙති. මාතර දිස්ත්‍රික්කයේ නාවිමන ග්‍රාමයේ උපත ලබා මූලික අධ්‍යාපනය ගමේ පාසලෙන් ලබා හම්බන්තොට කොහොලන්කල සුමනාරාමාධිපතිව වැඩ විසූ දෙවුන්දර සුමනසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු වශයෙන් 1959 ඔක්තෝබර් මසදී පැවිද්දට පත්වූහ. 1967 දී උපසම්පදාවට පත් උන්වහන්සේ එම වර්ෂයේදීම උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ.

අනතුරුව තුන් වසරක් විශ්වවිද්‍යාලීය අධ්‍යාපනයෙන් පසුව උපාධිධාරියෙකු වශයෙන් සාර්ථක අධ්‍යාපනයක් නිමවා පැමිණි නාවිමන නාලක හිමිපාණන් භික්ෂුව සමාජ සේවාවට හැඩගස්වන සර්වෝදය නායක ඒ.ටී. ආරියරත්න මැතිතුමාගේ නායකත්වය යටතේ රාජකීය පණ්ඩිත අධිකරණ සංඝනායක හේන්පිටගෙදර ඥානසීහ අනුනායක ස්වාමීන්ද්‍රයන්ගේ ප්‍රධානත්වයෙන් 1974 වසරේ පැවති පාතකඩ සර්වෝදය භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේදී ද, ත්‍රිපිටක ධර්මය ඇතුළු ශාසනික සේවාවන් පිළිබඳව එක් වසරක පමණ අධ්‍යාපනයක් ලැබූහ. මෙකී අධ්‍යාපනය නිමවා තල්පාවිල විද්‍යාරත්න පිරිවෙන, පොත්තේවෙල ජිනරාජ පිරිවෙන සහ කොළඹ ජේතවනාරාම පිරිවෙන්හි ගුරු සේවාවක් ඉටුකිරීමෙන් පසු, සෙල්ල කතරගම විද්‍යාලයේ සහ දෙටගමුව විද්‍යාලයේ ගුරු සේවාව දක්වාම සේවය කොට විශ්‍රාම ලැබූහ. උන්වහන්සේගේ පිරිවෙන් හා පාසල් ගුරු සේවය තුළින් බිහි වූ විශාල ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසක් සිටිති.


සුවිශේෂ මෙහෙවරක්

කතරගම පූජා භූමිය ආසන්නයේ පිහිට ජෙට්ඨගාමිණී ප්‍රදේශය අද නම් කරන්නේ ‘දෙටගමුව‘ යනුවෙනි. 1979 වර්ෂය ඉතා දුෂ්කරව තිබුණු මෙම ප්‍රදේශයට නව ආලෝකයක් ආරම්භවීමේ අවස්ථාව උදාවිය. එනම් භික්ෂූන් වහන්සේලාගෙන් එම ප්‍රදේශය දුබල වූ කාල පරිච්ඡේදයක කහවතින් බැබලෙන ජයසුමනාරාම විහාරස්ථානය ආරම්භ වීම 1979.01.01 වන දින සිදුවිය. මෙහි නිර්මාතෘවරයා වූයේ සෙල්ල කතරගම මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධුරය දැරූ ශාස්ත්‍රවේදී නාවිමන නාලක හාමුදුරුවන් වහන්සේ ය.

උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 1967 වර්ෂයේ තේරීපත් වීමත් සමඟ ඉතිහාසය, සිංහල හා බෞද්ධ දර්ශනය ආදී විෂයන් අධ්‍යයනය කිරීමෙන් පසු උසස් සාමාර්ථයක් ලබමින් ශාස්ත්‍රවේදී උපාධිය දිනාගන්නා ලදී. සමාජසේවාව තම ජීවිතයට එකතු කරගත් නාහිමිපාණෝ සර්වෝදනායක ඒ.ටී. ආරිය රත්න මැතිතුමා සමඟ දැඩි සම්බන්ධතාවයක් ඒකරාශී කර ගනිමින් එම ආයතනය හරහා සර්වෝදය ප්‍රජා නායකත්වය පිළිබඳ පුහුණු වී, දැඩි අවධානයක් යොමුකර ඒ සඳහා කටයුතු කර ඇත. 1976 වර්ෂයෙහි තිස්සමහාරාම ගෝනගමුව විදුහලෙන් පාසල් ගුරු සේවය ආරම්භ කර දෙටගමුව විද්‍යාලයෙහි සහ සෙල්ල කතරගම විද්‍යාලයෙහි නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස ආගමික සාමාජික අධ්‍යාපනික වශයෙන් සුවිශේෂ මෙහෙවරක් කතරගම සිදුකරන ලදී.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විවිධ තනතුරු හෙබැ වූ නාවිමන නාලක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් 2015 වර්ෂයෙහි ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන්නට විය. මෙම පදවිය තුළින් තව දුරටත් කරගෙන යනු ලබන මහා මෙහෙවර ඉදිරියට කරගෙන යාමට සුවිශේෂී තත්ත්වයක් වනු ඇත.

 

 වෙසක් පුර අටවක පෝය

 වෙසක් පුර අටවක පෝය මැයි මස 13වන දා සිකුරාදා පූර්වභාග 10.10ට ලබයි. 14වන දා සෙනසුරාදා පූර්වභාග 11.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 13වන දා සිකුරාදාය. මීළඟ පෝය මැයි මස 21වන දා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි මස 21 වනදා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]