UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිවුනේය සේරුවිල මහා පහන් ටැඹ

නිවුනේය සේරුවිල මහා පහන් ටැඹ

අපට ගුරුදේවයන් වහන්සේලා දෙනමකගේ ඇසුර ලබන්නට වාසනාව ලැබුණි. එකල ‘සේරුවිල සුදු හාමුදුරුවෝ’ නමින් ප්‍රකටව වැඩ සිටි, අපවත් වී වදාළ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මාහිමිපාණෝ අපගේ පළමු ගුරුදෙවිඳාණෝ ය. සේරුවිල මහාසෑ රජුන් පිළිසකර කොට යළිත් වන්දනා මානන පිණිස අපට වාසනාව සලසා දුන්නෝ උන්වහන්සේය. උන්වහන්සේ 1984 අගෝස්තු මස 12 වෙනිදා අපවත් වී වදාළ සේක.

ඉන්පසු අප ගුරුදෙවිඳුන් බවට පත් වූවෝ සේරුවිල විහාරාධිපති පදවියට පත්ව සිටි සේරුවිල සරණකිත්ති මාහිමිපාණෝ ය.

සරණකිත්ති මාහිමිපාණන් වහන්සේ ජන්ම ලාභය ලැබුවේ 1940 මාර්තු මස 26 වෙනි දා ය. එච්.එම්. පියදාස මහතා සහ ජී. ලිසිනෝනා මාතාවගේ පස්වැනි දරුවා වූ මුන්වහන්සේගේ ගිහි නම එච්.එම්. ජයසුමන ය. ගම්පහ උඩුගම්පොල උන්වහන්සේගේ උපන් ගමවන අතර 1948 වර්ෂයේ දී පවුලේ සියලු දෙනා මූතූර් ප්‍රදේශයහි පදිංචියට පැමිණියහ. එවකට සේරුවිල විහාරාධිපතිව වැඩ විසූ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මාහිමියන් වහන්සේගේ ඇසුර ලබන්නට මේ ජයසුමන දරුවාට ද වාසනාව ලැබුණි. එහි ප්‍රතිඵලය වූයේ සිය දොළොස්වැනි වියෙහිදී හෙවත් 1952 නොවැම්බර් මස 02 වෙනි දින සේරුවිල සරණකිත්ති නමින් පැවිදි බවට පත්වීමයි. දොඩන්දූව ශෛලබිම්බාරාමස්ථ පිරිවෙනෙහි අධ්‍යාපනය ලැබූ සේරුවිල සරණකිත්ති හෙරණපාණෝ 1960 දී අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මාහිමියන් වහන්සේ උපාධ්‍යාය කොට උපසම්පදාව ලැබූහ.

සේරුවිල සරණකිත්ති මාහිමියන් වහන්සේ සේරුවිල විහාරාධිපති ධූරය භාර ගන්නා විට මුළු නැගෙනහිර ප්‍රදේශයම කොටි ත්‍රස්තවාදීන් ගේ ග්‍රහණයට නතු වෙමින් තිබුණි.එය අතිශයින්ම බිහිසුණු කාල පරිච්ඡේදයකි. ක්‍රම ක්‍රමයෙන් තත්ත්වය බරපතළ අතට හැරෙමින් තිබුණි. 1985 දී සේරුවිල ආරක්ෂාවට එකම හමුදා භටයෙකුවත් නොසිටි අවස්ථාවක් තිබුණි. බොහෝ දෙනා හැඬු කඳුළින් යුතුව මරණ බියෙන් බියපත්ව ගම්බිම් අත්හැර යමින් සිටියහ. එසේ යන ගමන පවා අති බිහිසුණු විය. ඒ මන්ද යත්, සේරුවිල කන්තලේ මාර්ගයෙහි මහවැලි ගඟට අසන්න වනාන්තරය කොටින්ගේ මාර්ග හුවමාරු තිප්පොලක් බවට පත්වී තිබුණු නිසා ය. ඒ පාරෙහි පුපුරවන ලද බිම් බෝම්බ හේතුවෙන් සිංහල මිනිස්සු සිය ගණනින් මරණයට පත්වූහ. එකල අප පවා ඒ පාරේ ගමන් කළේ මහත් මරබියකින් යුතුව ය.

අපගේ සරණකිත්ති නාහිමිපාණන් වහන්සේ ඒ ප්‍රදේශයෙහි මූණ දුන් තත්ත්වය අභියස ඉතා වීරෝදාර අයුරින් සිය වගකීම ඉටු කළ සේක. බොහෝ මිනිසුන් මෙන්ම භික්ෂූන් වහන්සේලාත් එම ප්‍රදේශය අත්හැර පළායද්දී උන්වහන්සේ අපට පැවසුයේ මෙයයි. “ඔබවහන්සේලා කොළඹට යන්න. ගිහින් දන්නා කෙනෙකුට කියන්න. අපට කිසි ආරක්ෂාවක් නැති වග. මං මේ ප්‍රදේශය අත්හැර ගියොත් එක සිංහලයෙක්වත් මෙහි රැඳෙන්නේ නැහැ. ඒ නිසා මං මේ චෛත්‍ය මළුවේ නවතිනවා. කොටින්ගේ වෙඩි උණ්ඩයට මං බය නෑ. මට නායක හාමුදුරුවෝ සේරුවිල භාරදුන්නේ දාල යන්න නොවේ. ආරක්ෂා කරන්නටයි. මං ඒ යුතුකම ඉෂ්ට කරනවා.”

නායක හාමුදුරුවෝ සේරුවිල අත්හැර නොගිය නිසාවෙන් බොහෝ ජනයා ද ඉතා ධෛර්යයට පත්ව එම ප්‍රදේශයෙහි රැඳී සිටියහ. දහවල් කාලයේ නිවාස වල ගත කළ ඔවුහු රාත්‍රියට වනයේ සැඟවී සිටින්නටත් පුරුදු වී සිටියහ. කොටි ත්‍රස්තවාදීහු වරින් වර ගම්වලට පනිමින් ප්‍රහාර එල්ල කොට සිංහලයන් ඝාතනය කිරීම ද නොකඩවා කරගෙන ගියහ. ඒ වන විට එම ප්‍රදේශයේ රෝහල් සේවාව සම්පූර්ණයෙන්ම පාහේ බිඳී වැටී තිබුණි. එවිට අපගේ නායක හාමුදුුරුවෝ තම හිතවත් වෛද්‍යවරුන්ගෙන් දුරකථන මාර්ගයෙන් උපදෙස් ගනිමින් සාමාන්‍ය රෝගවලට ප්‍රතිකාර කරන්නට පටන් ගත්හ. ඒ තුළින් ද මිනිසුන් ප්‍රදේශය අත්හැර යෑම නැවැත්වූහ. එසේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී උන්වහන්සේ ළඟට පැමිණි සිංහල, දෙමළ, මුස්ලිම් කා හටත් සම මෙතින් කාරුණිකව උපකාර කිරීමට අපට දකින්නට ලැබුණු උත්කෘෂ්ට ගුණයකි.

ඔය අයුරින් අපගේ නායක හාමුදුරුවන් කටයුතු කිරීම නිසා කොටි ත්‍රස්තවාදීන් හට එම ප්‍රදේශයෙන් සිංහල ජනතාව පළවා හැරීම ලෙහෙසි කටයුත්තක් නොවීය. එවිට කොටි ත්‍රස්තවාදීන්ගේ ඉලක්කය වූයේ අපගේ ගුරු දෙවිඳුන්ව ඝාතනය කිරීමටය. ඒ වෙනුවෙන් ඔවුහු නොයෙක් අවස්ථාවන්හි බිම්බෝම්බ ඇටවූහ. මඟ රැකගෙන කුරුමානම් ඇල්ලූහ. ත්‍රස්තවාදීන් අපේක්ෂා කළේ සේරුවිල නායක හාමුදුරුවන්ව ඝාතනය කොට එම ප්‍රදේශයේ තිබූ එකම සිංහල බෞද්ධ නායකත්වය නැති කිරීමටයි. එවිට නැවතත් ඒ ජනයා එම ප්‍රදේශය අත්හැර යනු ඇත. අප බුදුරජුන් ගේ නළල් ධාතූන් වහන්සේ වැඩ වසන සේරුවිල මහා සෑ රජුන් ගේ ආනුභාවයෙන් ද අප මාහිමියන් වහන්සේ ගේ පින් තෙද බලෙන් ද කොටින්ගේ කිසි උගුලක් සාර්ථක වූයේ නැත.

අපගේ ගුරුදේවයන් වහන්සේ කිසි දිනෙක ජාතිවාදී අදහස් මුල්කොට කිසිවෙකුට හෝ වචනයකින් වත් හෙළාදැක කතා කළ වගක් අපි නොදනිමු. ඕනෑම කෙනෙකුට කරුණාවෙන් සැළකීම උන්වහන්සේගේ දෛනික ජීවිත රටාව විය. එමෙන්ම අධ්‍යාපනයෙහි දක්ෂතා ඇති බොහෝ දරුවන් දිරිගන්වමින් ඔවුන්ට ද මාසිකව ආධාර කරමින් ඔවුන්ගේ දියුණුවට මහත් සේ උපකාර කළහ. මෙසේ අප බුදුරජුන්ගේ ශ්‍රීමත් ලළාට ධාතුන් වහන්සේ වැඩසිටින සේරුවිල මහාසෑ රජුන් මෙන් ම එම ප්‍රදේශවාසී ජනතාවත් ආරක්ෂා කිරීම පිණිස සිය ජීවිතය කැප කළ අපගේ සේරුවිල සරණකිත්ති මාහිමියන් වහන්සේ මෙම මැයි මස 02 වෙනි දින පෙරවරුවෙහි අපවත් වී වදාළ සේක.

ඉතා අවංක අදහස්වලින් යුතුව අභීතව කටයුතු කළ භික්ෂූන් වහන්සේලා අතළොස්සක් දෙනා අතරින් අපගේ සේරුවිල සරණකිත්ති මාහිමියන් වහන්සේගේ උතුම් චරිතාපදානය ඉතිහාසයෙහි බොහෝ කල් සනිටුහන් වනු ඇත. උන්වහන්සේගේ උපදේශය වූයේ මෙයයි. ‘සැප විඳ මානව සමාජයට සේවය නොකොට පරලොව යනවාට වඩා දුක් විඳ මානව සමාජයට සේවය කොට පරලොව යෑම උතුම්ය.’ යන්නයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉහත කී උපදේශය අනුව ජීවිතය ගත කොට වදාළ සේරුවිල මංගල රාජමහා විහාරාධිපති, ශ්‍රී කල්‍යාණවංශ නිකායේ අනුනායක ධුරන්දර, නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන සංඝනායක, සේරුවිල සරණකිත්ති අපගේ ගුරුදේව මාහිමිපාණන් වහන්සේට නිවන් සුව අත්වේවා!

 

 වෙසක් පුර අටවක පෝය

 වෙසක් පුර අටවක පෝය මැයි මස 13වන දා සිකුරාදා පූර්වභාග 10.10ට ලබයි. 14වන දා සෙනසුරාදා පූර්වභාග 11.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 13වන දා සිකුරාදාය. මීළඟ පෝය මැයි මස 21වන දා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි මස 21 වනදා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]