Print this Article


රාජකීය පණ්ඩිත පින්වත්තේ ශ්‍රී දේවානන්ද නා හිමි

රාජකීය පණ්ඩිත පින්වත්තේ ශ්‍රී දේවානන්ද නා හිමි

පින්වත්තේ ශ්‍රී දේවානන්ද නාහිමිපාණන් වහන්සේ පානදුර පින්වත්තේ විසූ හිතනාදුර ජාගිරිස් සිල්වා සහ උඩුවරගේ තේමෙල්හාමි යන දම්පතීන්ගේ පුත් කුමරෙකු ලෙස 1920 අගෝස්තු මස 08 වෙනි දින ජන්ම ලාභය ලැබූ මෙම කුමරු හිතනාදුර බිඩින් සිල්වා නමින් නම් කළහ.

පින්වත්තේ සද්ධර්මාකර පරිවේණාධීෂ්වරව වැඩ විසූ අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා නායක ධුරය හෙබවූ පෝහද්දරමුල්ලේ ඥානානන්ද හිමියන්ගේ ශිෂ්‍යයකුව 1935.මැයි 10 දින පැවිදි විය. උන්වහන්සේ උගතමනා බණ දහමින් පෝෂිතව 1943 දී බලපිටිය මහාකප්පින වලව්ව බද මාදු නදී උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදාව ලැබූහ. මුන්වහන්සේ ප්‍රාචීන විභාගවලින් සමත්ව රාජකීය පණ්ඩිත උපාධිය ලබාගත්හ. නාහිමියෝ තම පිරිවෙනෙහි ආචාය¸වරයෙකු වශයෙන් කටයුතු කළහ.

1942 පිරිවෙනේ ආචාර්යට ධුරයට පත්ව ස්වකීය ගුරු හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් 1955 සද්ධර්මාකර පිරිවෙනෙහි අධිපතිත්වයට පත් වූහ.

අමරපුර නිකායේ සියලු පාර්ශ්වයන් එකතුකොට සමස්ත අමරපුර සංඝ සභාව පිහිටුවීමෙහිලා අතිශය කාර්ය භාරයක් ඉටු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත අමරපුර සංඝ සභාව පිහිටුවා එහි ප්‍රථම සභාපති වශයෙන් අපවත්වී වදාළ අතිපූජනීය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් පත් කරගත් අතර අප නාහිමිපාණෝ එහි ප්‍රථම මහා ලේඛකාධිකාරි ධුරයට පත්වූහ. ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙහි කාරක සභා සාමාජිකත්වයද සමස්ත අමරපුර සංඝ සභාවේ සම ලේඛකාධිකාරි ධුරයද අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ සම ලේඛකාධිකාරි ධුරයටද ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයද විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උපදේශක සභාවේ සාමාජිකත්වයද බෞද්ධ උපදේශක සභාවේ සාමාජිකත්වයද කළුතර දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරයද පානදුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරයද උන්වහන්සේ තුළින් ලද තනතුරුවලින් කිහිපයකි.

උන්වහන්සේ මෙරට සුපතල ධර්ම දේශකයාණන්වහන්සේ නමක් වූහ. ප්‍රකට ගුවන්විදුලි ධර්ම දේශකයන්වහන්සේ නමක් වූ පින්වත්තේ ශ්‍රී දේවානන්ද නාහිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනාවන් වර්තමානයේද නිරන්තරයෙන් ප්‍රචාරයවීම ධර්මාභිලාශී බෞද්ධයන්ගේ මහත්භාග්‍යයකි. තවද ධර්ම ශාස්ත්‍රීය ලේඛනයේ දක්ෂතාවක් දැක්වූ උන්වහන්සේ විවිධ තේමාවන් ඔස්සේ ශාස්ත්‍රීය ලිපි සපයා ඇති අතර විශුද්ධිමාර්ගයට ටීකාවක් සපයමින් “විශුද්ධිමග්ග ගණ්ඨි” නමින් පාලි භාෂාවෙන් ග්‍රන්ථයක් සම්පාදනය කිරීමෙන් උන්වහන්සේගේ වියත් බව මනාව තහවුරු වෙයි.

උත්තුංග ශාසනික සේවාවක් කළ නාහිමිපාණෝ 1983 පෙබරවාරි 13 වෙනි දින අපවත් වී වදාළහ.

ජාතික, ආගමික, අධ්‍යාපනික හා සාමාජික වශයෙන් දෙස් විදෙස් මහත් සේවාවක් කළ රාජකීය පණ්ඩිත පින්වත්තේ ශ්‍රී දේවානන්ද නාහිමිපාණන් වහන්සේ අපවත් වී වසර 33 ක් සපිරීම නිමිති කරගෙන වර්තමාන සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපති හා කෘත්‍යාධිකාරි අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක ධුරන්ධර තලල්ලේ මෙත්තානන්ද නාහිමිපාණන්වහන්සේ සහ පරිවේණස්ථ දායක සභාව 2016 මැයි මස 10 වෙනි දින 150 නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි දානමය පින්කමක් පැවැත්විණි.

එයට සමගාමීව 2016 මැයි මස 15 වෙනි දින අභිනවයෙන් ඉදිවූ දෙමහල් සංඝාවාසය සඟසතුකොට පූජාකිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් සිදුකිරීමට නියමිතය.

අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත පින්වත්තේ ශ්‍රී දේවානන්ද නාහිමිපාණන්වහන්සේට නිවන්සුව ලැබේවා පතමි.