Print this Article


සනාථයෙකුවීමට දහම් මඟ ගැනීම

සනාථයෙකුවීමට දහම් මඟ ගැනීම

ජීවිතය යහපත් කර ගැනීමට බුද්ධ දර්ශනය තුළ අපට ගතහැකි බොහෝ කරුණු කාරණා තිබෙනවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සෑමවිටම මංමුලා වූ සත්ත්වයන්ට පිහිට වූ සේක. අසරණයන්ට පිහිටවූ සේක. මඟ පෙන්වා දුන් සේක. එහෙත් අප තේරුම්ගත යුතු දේ තමයි උන්වහන්සේ කිසිම විටෙක ගැලවුම්කරුවෙකු වූයේ නැත. හැමවිටම මඟ කියාදෙන්නෙකු පමණක්ම වූහ. එනිසාම බුදුන්වහන්සේ නිතර දේශනා කළේ තම තමාට පහනක් ලෙස ජීවත් වියයුතු බවත් තමාගේ ආලෝකයත්, පිහිටත් ඇත්තේ තම තුළම බවයි. ඒ නිසා සමාජය තුළ අනාථයෙකු නොවී සනාථයකු විය යුතු බව අංගුත්තර නිකායේ නාථකරණ සූත්‍රයේ දී බුදුන්වහන්සේ මෙසේ පෙන්වා දුන්නා.

එහිදී බුදුන්වහන්සේ දේශනා කළේ “මහණෙනි, පිහිටක් ඇතිව වාසය කරන්න. අනාථයා සැමදාම දුකසේ වාසය කරයි. මහණෙනි, පිහිට පිණිස කරුණු දහයකි. එනම් සිල්වත්වීම බහුශ්‍රැත වීම, කලණ මිතුරන් සිටීම, සුවච අයෙක් වීම, දක්ෂයෙක් වීම, අනලස් වීම, ධර්මයට කැමැති වීම, දැඩි වීර්යය ඇති වීම, ලදදෙයින් සතුටුවීම හා එළඹ සිටි සිහියෙන් යුතුවීම.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි යමෙකු සතුව ගේ දොර, ඉඩකඩම්, මිල මුදල් ආදී තිබූ පමණින් සමාජය තුළ සනාථයෙකු නොවේ. ඒ සඳහා අධ්‍යාත්මික වශයෙන් තමා තුළ ඇතිකරගත යුතු ගුණාංග රාශියකි. ගේදොර, ඉඩකඩම්, මිල මුදල් ආදී දේවලින් කෙනෙකුට ආරක්ෂාව වෙනුවට ජීවිත හානි පවා සිදුවිය හැකි අවස්ථා ඇතිවන බව වැටහෙනවා ඇති. එනිසාම තමයි බුදුන්වහන්සේ සමාජය තුළ අනාථයෙකු නොවී සනාථයකු ලෙස නාථකරණ සූත්‍රයේ කරුණු දහයක් දේශනා කළේ. ඉන් පළමුකරුණ තමයි සිල්වත්වීම. එහිදී සීලය යනු කය, වචන දෙකෙහිම සංවරයයි. හික්මීමයි. පරපණ නැසීම, සොරකම හා කාම මිථ්‍යාචාරය යන කය මඟින් කෙරෙන වැරදි හා කේළාම් කීම, බොරුකීම, හිස්වචන කීම, නපුරු වචන කීම යන වචනයෙන් කෙරෙන වැරදිවලින් ඈත් වීම. වෙන්වීම, සිල්වත්කමයි. සිල්වත්වීම චරිත සංවර්ධනයට හේතුවන අතර සමාජය තුළ කීර්තිමත් වෙයි. සියලු උවදුරුවලින් ආරක්ෂාවෙයි. එහෙයින් සිල්වත් වීම යනු පුද්ගලයාගේ ආරක්ෂාව පිණිස උතුම් කරුණකි.

දෙවෙනි කරුණ බහුශ්‍රැතවීමයි. බහුශ්‍රැතයන්නෙන් බොහෝ ඇසූ පිරූ පුද්ගලයෙකු බව අදහස්වේ. දැන උගත්කම සහිතව සමාජය තුළ ජීවත්වීම මින් අදහස් කෙරෙයි. තෙවන කරුණ, කල්‍යාණ මිතුරන් සිටීම යන්නයි. බුදුරජාණන් වහන්සේ මෙලොව සිටින කලණ මිතුරන් සතර දෙනකු හා පවිටු මිතුරන් හතරදෙනෙකු සිඟාලෝවාද සූත්‍රයේ දී පෙන්වා දී තිබෙයි. සිව්වෙනි කරුණ සුවචයෙක් වීමයි. සුවච යන්නෙන් අදහස් වෙන්නේ වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ බසට කන්දීම. මවුපියන්ගේ අවවාද අනුශාසනා පිළිපැදීම හා කීකරු වීමයි. පස්වන කරුණ දක්ෂයෙක් වීමයි. හයවෙනි කරුණ අනලස්වීමයි. හත්වන කරුණ ධර්මයට කැමැති වීමයි. ධර්මය යන්නෙන් අදහස් වන්නේ සදාචාරයයි. එකී සදාචාරයට ඇති කැමැත්ත පුද්ගලයාගේ පිහිට ආරක්ෂාව පිණිස පවතින ගුණාංගයක් ලෙස හැඳින්විය හැකිවෙයි. ‘ධම්මකාමෝ’ යන්න පරාභව සූත්‍රයේ දී දෙලොව යහපත සඳහාම හේතුවන බව පෙන්වා දී තිබෙයි.