UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

සුමන සමන් දෙවිඳුනි

සමනළයින් රෑන් රෑන් සැරසීගෙන සුද පෙනෙන්න
ඉගිළෙන විට සමන් ගිරට මට ඇහැකිද බලන් ඉන්න
දෑත දෙපා වාරු නැතත් වෙනද වගේ ගමන් යන්න
සුමන සමන් දෙවිඳුනි මං මෙදා සැරෙත් වන්දවන්න

පින් උතුරන රන් සිරිපා මලේ සුවඳ යළි විඳින්න
නළල් තලය ඔබා සොඳට ඇතිවෙන තුරු වැඳ වැටෙන්න
නිවන් මගට තව මදිවුනු පින් ඩිංගත් පුරව ගන්න
දේවින්දේ මං ආසයි ඒකට අවසර ලැබෙන්න

උඩ මළුවේ ඝන්ටාරය තව සැරයක් නද කරන්න
ලැබුණොත් හැකි ගමන් පනස් වාරය මට පුරෝගන්න
සීත හිමේ හිම දියකර සිරුරට උණුසුම දෙවන්න
වෙනද වගේ මෙදත් මාව රන් සිරිපා වන්ඳවන්න


බියකරු සසරෙන් එතෙර වෙන්නම්

පිපි මල් රැසක්
ගෙන වෙන වෙනස් හැඩ මල් දම්
කරනුයෙ යම්සේ ද
ඒ විලසින්
මේ ලෝ තලයේ උපන් සතද නිති
බොහෝ කුසල් දම් කළ යුතුමයි නිති
එළඹෙන හැම මොහොතක් පාසා
ගැලවුම එයමයි බියකරු සසරෙන්
එතෙර වෙන්න පතනා
ලෝ සත හට තිබෙනා


මවගේ පැතුම

සදෙව් විමන් සිරි ආසිරි
සිතුණි හද සිතරූ
රුවන් ගැබක පුත් රුවනකි
මව් දේවිය සැනසූ
නිමල දයාදර සෙනෙහස
පැතුම් ගඟුල ඉසුලු
පුතුනි ප්‍රාණ භද්‍ර ඝටය
කමල පයස් සරසී
චන්ද්‍ර බිම්බ සුර්ය බිම්බ
විශ්ව ගමන් ගව්වේ
දස මස් කුස කණක පව්ව
සැතපෙනු මවු උකුලේ
සිත් සුසීල නිසල නුවණ
මවු අමතන රහසේ
ලාලන රන් තොටිලි ගැබේ
නොරැදෙනු මගෙ පුතුනේ


තණ්හාව

තණ්හා ආසා ගත යුතු නැහැ සිතට
අටසිල් ගත යුතුයි ගොස් සැම පන් සලට
තණ්හා ආසා පොදි බඳීනා සැමට
තණ්හාවන් සමඟ සෝකය එයි ලඟට


ජීවිතයේ අරුමය

දෝරේ ගලමින් ගඟ බැස යනවා
රැළි පිට රැළි නංවා
දෙපසේ ඉවුරේ තණ පත් සේදී
ටික ටික ගැල වී යනවා
ගඟ දිය මතු පිට නැටුම් නටාලා
යන පරඬැල් ලීලා
හෝ හෝ ජීවිතයේ අරුමය
මේ යැයි පවසනවා
සසරේ දුක් ගඟ මේ වාගේමයි
නෑ කෙළවර දන්නේ
පරඬැල් ලෙස ඔහේ යනවා වෙනුවට
සඳහම පහුරෙ නැගී
ගිය හොත් හැකි වෙයි මේ ගඟ තරණය
අවසන “නිවන” ම වේ


මියුගුණු වෙහෙර...

උරුවෙල් ජනපදයේ වැඩ සිටිනා බුදු සමිඳුට සිරිලක පෙනුනා
යක් නා දෙපිරිස අතරේ යුද්ධයක් ඇරඹීමට යන වග දැනුනා
අදිටන් බලයෙන් එය මැඩලීමට මෙත් කරුණා සිතිවිලි මැවුනා
දුරුතු පොහෝදා මහියංගණයට බුදුහිමි වැඩ නිළඹර රැඳුනා!

මහවැලි ගංතෙර මියුගුණු තැන්නේ මහානාග උයනට සොබනා
යක් නා දෙපරිස ලහිලහියේ දුනු හීගෙන සටනට අර ඇඳුනා
නවතන ලෙස යුද ඔවුනට බුදුහිමි පැවසුවෙ හද සැනසෙන බසිනා
අවි පා සමිඳුට එරෙහිව සිටියෝ රණකාමින් දරදඬු ලෙසිනා!

දමනය කෙරුමට මැරවර මෙපිරිස බියපත් ගැන්විය යුතුය මෙදා
හැඟුමින් බුදුහිමි මැව්වෝ වරුෂා, අකුණුද ගන කළුවරය යොදා
බියවූ සැමදෙන මවිතව සැනෙකින් අවි ආවුද සැමදෙයම මුදා
ජීවිත රැකදෙන ලෙස බුදුහිමිගෙන් අයැදී ගරුසරු විලස වැඳා!

බිය විය යුතු නැත තොප සැම රැක දෙමි එනමුදු කරුණක් ඇත අසනූ
වැඩ සිටිනට මට සෙවණක් ඔය දෙරණේ දෙන්නෙද හනිකට කියනූ
බුදු හිමි විමසුවෙ පිළිතුර මෙය විය මහ හඬදී ගුවනට ඇදුනු
නිදුකාණනි මුළු රට ඔබ හට දෙමු ගලවනු මැන දිවි දුක රැඳුනු!

මහියංගණ තූපය ඇති තැන අද පත්කඩ එලලා බිමට බැස
වැඩසිටි බුදුහිමි ඔවුනගෙ බිය සැක දුරුකොට යොදවා සොඳුරු බස
පෙන්වා ගිරි දිවයින යහ දිවියට මංපාදා දිවිගෙවන ලෙස
සමන් සුරිඳු හට කේසධාතු දී වැඩියෝ දඹදිව දුරුතු මස!

කේසධාතු බුදුහිමි වැඩසිටි තැන තබමින් සෑයක් තනමිනේ
සමන් දෙවිඳු සිරිලක් ජනතාවට එම ඉතිහාසය ගෙන එන්නේ
මහියංගණ තූපය යනුවෙන් අද බොදු බැතියක් මල් පුදදෙන්නේ
පද්කඩෙ එළලා බුදුහිමි වැඩ සිටි තැනටයි එය සිහියට ගන්නේ!


අභිනව සංඝාවාසය

නිවන් පුරයට වැඩම කළ
එදා නායක හාමුදුරුවෝ
පොඩි දරුවන්ව සිටි අප
ගුණ ගරුක දරුවන් කළෝ

එදත් මල් පිපි නාගහේ
අදත් පිපිලා ලස්සනයි
උඩ මළුව පැත්තට එදා අප
තනිව යන්නට හරි බයයි!

පොඩි පොඩි හාමුදුරුවරු
අඳුරු කුටිවල එදා
පාඩම් කළ අසීරුව
අදත් සිහිපත් වේ දුකින්

එදා පෑයු හිරු සඳුම මයි
අදත් වෙහෙරට එළිය දෙන්නේ
එදා අපගේ පොඩි හාමුදුරුවෝ
අද අපේ නායක හාමුදුරුවෝ

සුදු වළා බැම්මට උඩින්
තව්තිසාවට පාර පෙන්වයි
ඉදිවූ සුවිසල් සංඝාවාසය
අපට ඉදිවුන ජේතවනයයි

අගත අනගත වඩින සඟනට
පිදෙන සෙනසුන අමරණීයයි!


සැනසුම

අතීතය වෙත ගොසින්
සිතේ ලොබ
සිතේ දොස
පොදි බැඳන්
නොමඳ දුක දෙවන්නේ

අනාගතයට එබී
ගොඩ නගන මාළිගා
බිඳ වැටෙන සැටි බලා
යළිඳු
දුක දෙවන්නේ

මන්ද මිනිසුනි
ඔබට
මේ මොහොත තුළ රැඳි
සදාකාලික වු ඒ
සැනසීම
සොයාගෙන
යන්න හිත නොදෙන්නේ?

 

 දුරුතු අමාවක පෝය

   දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 07 වැනිදා ඉරිදා අපරභාග 10.20 ට ලබයි. 08 වැනි දා සඳුදා අපරභාග 08.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි මස 08 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]