UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

හොරන්ගල්ලේ ශ්‍රී හේමසාර නා හිමි

බද්දේගම කිඹිඇල ශ්‍රී විජයවර්ධනාරාමාධිපති ශ්‍රී සරණංකර පරිවේණාධ්‍යාක්ෂක වයෝවෘද්ධ භික්ෂු විවේකාරාමයේ පාලන අධ්‍යක්ෂක ගාලු ගඟබඩ පත්තුව හා වැල්ලබඩ පත්තුව ඇතුළු ගාලු කඩවන්සතරේ උප ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ හොරන්ගල්ලේ ශ්‍රී හේමසාරාභිධාන නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය 30 වන සෙනසුරාදා පස්වරු 3.00ට බද්දේගම ගනේගම ශාන්ත අන්තෝනි මහජන ක්‍රීඩංගණයේදී පැවැත්ව්ණි.

ගිලන්වූවන්ට අසරණයන්ට වැඩිහිටියන්ට ඇප උපස්ථාන කිරීම උත්තරීතර මානව ගුණාංගයකි. බුදුරජාණන් වහන්සේ විසින්ම ගිලන් වූ භික්ෂූන්ට ඇප උපස්ථාන කළ බව සම්බුදු සිරිතේ සදහන් වේ.

යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම් හෙතෙම මට උපස්ථාන කරන්නෙක් වේ. යන බුද්ධ වචනය පිළිපදිමින් අසරණව ගිලන් වූ භික්ෂූන් වහන්සේලාට අඩ සියවසකට වඩා වැඩි කාලයක් පෞද්ගලිකවම සොයා බලමින් ඇප උපස්ථාන කළ හොරන්ගල්ලේ හේමසාර නා හිමියෝ කලාතුරකින් ජන සමාජයට දායාදවන දුර්ලභ ගණයේ ශ්‍රේෂ්ඨ පුරුෂ රත්නයකි.

නා හිමියෝ විහාරාධිපතිත්වය හෙබවූ කිඹිඇල ශ්‍රී විජයවර්ධනාරාමය දෙස් විදෙස්හි වඩාත් ප්‍රචලිත වන්නේ එහි පවත්වාගෙන එන වයෝවෘද්ධ භි්ක්ෂු විවේකාරාමය හේතු කොටගෙනය.

ලක්දිව ප්‍රථම භික්ෂු විවේකාරාමය ලෙස සැලකෙන මෙහි පාලන අධ්‍යක්ෂක ධූරයට නාහිමියෝ පත්වනු ලබන්නේ 1961 ජූලි මස 09 වන දිනය. එවකට 30 හැවිරිදි වියේ පසු වූ හොරන්ගල්ලේ හේමසාර නා හිමියේ එතැන් සිට අපවත් වන තෙක්ම අඛණ්ඩව ගිලානෝපස්ථානයේ නිරත වෙමින් එම මධ්‍යස්ථානයේ භෞතික වපසරිය පුළුල් කර වැඩි දියුණු කරන්නට වෙහෙසුණහ. එහි ප්‍රතිපලය ලෙස දකුණු පළාත් සභාවේ ආධාරයෙන් තව ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමටත් පරත්‍යාගශීලීන්ගේ දායක කාරකාදීන්ගේ ධන පරිත්‍යාගයෙන් බුද්ධ මන්දිරයක් සහිත නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් හැකි විය.

තමාගේ ගුරුවරුන් හෝ ඤාතීන් නොවන ජීවිතයේ පෙර කිසිදා ඇසුරු නොකළ එහෙත් අසරණව ගිලන් වූ පිරිසකට ඇප උපස්ථාන කරමින් රැකබලා ගැනීමට හැකිවන්නේ ජීවිතයේ අනිත්‍යතාවය පිළිබඳ මනා ධර්මාවබෝධයක් ඇති සිල්වතෙකුට පමණි. කරුණාව දයාව මෛත්‍රීය ඉවසීම අනුකම්පාව වැනි උත්තරීතර ගුණාංග තම ජීවිතයට බද්ධ කර ගැනීම වචනයට නොව ක්‍රියාවට නැංවිය හැකි උත්තමයෙකුට පමණි. සියතින්ම දානය සකසා ගිලන් වූ භික්ෂූන්ට උපස්ථාන කිරීමට තරම් නා හිමියෝ කරුණාබරිත වූහ.

බෙන්තර වලල්ලාවිට කෝරළයේ හොරන්ගල්ල ග්‍රාමයේදී 1933.05.29 වන දා උපන් හේමපාල කුමරුවා 1947.11.11වනදා හොරන්ගල්ලේ හේමසාර පොඩි හාමුදුරුවෝ බවට පත් වූහ. සංසාරයේ පුණ්‍ය මහිමය නිසා අතිශයින් දුර්ලභ වූ පැවිදි සම්පත්තියට පිළිපන් හේමසාර හාමුදුරුවෝ භික්ෂූන් වහන්සේ නමකට අදාළ වූ දහමි දැනුමින් පෝෂිතව ඉටු කළ සමාජ මෙහෙවර තවත් බොහෝ කලක් වන තුරු බොදු ජනතාවට අමතක නොවනු ඇත. විශේෂයෙන් ගිලන් වූ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කළ සේවය සදානුස්මරණීය වන්නේය.

ජාති ආගම් භේදයකින් තොරව මනුෂ්‍යත්වය දෙස අනන්ත වූ දයානුකම්පාව පෙරදැරිව කටයුතු කළ හොරන්ගල්ලේ නා හිමියෝ වැනි ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයෙකුගේ අපවත්වීම සමස්ත බොදු ජනතාවෙගේම ශෝකයට හේතු වන්නකි. භික්ෂු සමාජයට පිරිමසාලිය නොහැකි පාඩුවකි. ලෝක ධර්මතාවය පසක් කරමින් දැයෙන් සමුගත් හොරන්ගල්ලේ හේමසාර නා හිමියනි, ඔබ වහන්සේ පැතූ පරිදිම නිවන් සුව අත්වේවා යි ප්‍රාර්ථනා කරමි.


යහමුල්ලේ අනුරුද්ධ හිමි

අතුරලිය යහමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති වැලිගම්කෝරළය උතුර අධිකරණ සංඝනායක යහමුල්ලේ අනුරුද්ධ නාහිමියන්ගේ 65 වැනි ජන්ම දිනය නිමිති කර ගනිමින් එම විහාරස්ථානයේදී පින්කම් මාලාවක් පැවැත්විණි.

අතුරලිය යහමුල්ල ගම්මානයේදී 1950 දෙසැම්බර් 28 දා උපත ලැබු උන්වහන්සේ පැවිදි බිමට පත්වූයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායට වසර 100 ක් පිරීම නිමිත්තෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව 1964 දෙසැම්බර් 20 දා කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැති උත්සවයකදීය.

අතුරලිය ශ්‍රී සුදර්ශන පිරිවෙන් විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ නිකායේ දිසා පාලක ධුරන්ධර කරගොඩ –උයන්ගොඩ අරියසීල නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බව ලැබු අනුරුද්ධ හිමියෝ මාතර සිරිමංගල පිරිවෙනින් සහ කොළඹ ජේතවන පිරිවෙනින් පැවිදි අධ්‍යාපනය ලැබූහ.

1977 දී කැළණිය විශ්වවිද්‍යාලයට ඇතුලත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ උන්වහන්සේ උප ගුරුවරයෙකු වශයෙන් අධ්‍යාපන සේවය ආරම්භ කළේ අතුරලිය ශ්‍රී සුදර්ශන පිරිවෙන තුළිනි.

අනතුරුව එහි පරිවේණාධිපති වශයෙන් කටයුතු සාර්ථකව පවත්වාගෙන යමින් ආගම දහමට පමණක් නොව ප්‍රදේශයේ ආර්ථික සමාජයීය සංවර්ධනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළහ.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ගමේ ඓතිහාසික තොරතුරු ගවේෂණය කිරීමටද අවස්ථාව සැලසුනු අතර කුමාරදාස රජතුමා විසින් පුදබිමක් ලෙස පවත්වාගෙන ගිය එම ස්ථානයේ තම ගුරුදේවයාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලද ශී‍්‍ර බෝධිරුක්ඛාරාමයේ විහාරාධිපති ධුරයත් භාර ගත්තේ යළිත් පූජා භූමියක් ලෙස එය සංවර්ධනය කිරීමේ භාරධූර කාර්යයට අත ගසමිනි.

අද එම විහාරස්ථාන භුමිය පූජා භූමියක් ලෙස රජය මගින් ප්‍රකාශයට පත්කොට තිබේ.

අද වන විට එම පූජා භූමියේ විහාර අංග රැසක් ඉදිකොට ඇති අතර ඓතිහාසික නුග වෘක්ෂය කේන්ද්‍රකර ගනිමින් ගම්බාර දේවාලයක්ද ඉදිකොට තිබේ.

ගමේ පොදු යහපත සඳහා රාජ්‍ය අනුග්‍රහයද ඇතිව සංවර්ධන කටයුතු දියත් කර ඇති අනුරුද්ධ හිමියන්ට උපහාර දක්වන ගම්වාසීහු උදාවන නව වසරේ සැමට සෙත් පතා අටවිසි බෝධි වන්දනාමය පූජාවක් ජනවාරි 1 දා පැවැත්විණි.


කන්දේගොඩ විමලධම්ම අනු නා හිමි

අම්බලන්ගොඩ පදිංචිව සිටි ඩබ්ලිව්. ඇල්ඩින් ද සිල්වා සහ ඇන්. ඇස්ලින් ද සිල්වා යන දම්පතීන්ගේ කනිටු පුත් රුවනක් වූ ඩබ්ලිව්. චිත්‍රානන්ද ළදරුවා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. වයස අවුරුදු 13 දී කන්දේගොඩ විමලධම්ම නමින් පැවිදි දිවියට පත්විය. එහිදී උන්වහන්සේගේ උපාධ්‍යාය සහ ආචාර්යවරයන් වූයේ අම්බලන්ගොඩ රන්දොඹේ මහාචේතිය පිරිවෙන් පරිවේණාධිපති රාජකීය පණ්ඩිත වලගෙදර සෝමාලෝක තිස්ස මහානා හිමිපාණන් සහ මහාචේතිය පිරිවෙනේ උප ප්‍රධානාචාර්ය ධූරය හෙබවූ පණ්ඩිත පාරුතොට ධම්මාරාම තිස්ස නාහිමිපාණෝ ය.

පැවිදිවීමෙන් අනතුරුව රන්දොඹේ මහාචේතිය පිරිවෙනින් මූලික අධ්‍යාපනය නිම කරමින්, දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙනටත්, අනතුරුව කැලණි විශ්වවිද්‍යාලයටත් ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය ප්‍රගුණ කළහ. 1981 කැලණි විශ්වවිද්‍යාලයෙන් පළමු ශ්‍රේණියේ ආචාර්ය උපාධියක්ද, අනතුරුව ගී‍්‍රසියට වැඩමකර එහිදීද ආචාර්ය උපාධියක් හිමිකරගෙන ඇත. ‘ගී‍්‍රසිය’ රාජ්‍යයෙන් උපාධියක් හිමිකරගත් එකම පැවිදි පඬිරුවනක් ලෙස ඉතිහාසයට එක්ව ඇත්තේ මෙම කථානායක මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම අනුනා හිමිපාණෝ ය.

1984 දී කැලණි විශ්වවිද්‍යාලයේ ආධුනික සහකාර කථිකාචාර්යවරයෙක්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්, අංශ ප්‍රධාන හා මහාචාර්යවරයෙක් වශයෙන්ද, අනතුරුව දැනට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වශයෙන් ද කටයුතු කරනු ලබයි. මෙම තනතුරුවලට අමතරව ප්‍රධාන ශිෂ්‍ය උපදේශකවරයෙකු වශයෙනුත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙනුත්, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ විධායක සභාවේ සාමාජිකයෙකු වශයෙනුත් ක්‍රියා කරයි.

මහාචාර්ය කන්දෙගොඩ විමලධම්ම අනුනා හිමිපාණන් විසින් රචිත ග්‍රන්ථ රාශියකි. ‘භාරතීය හා බටහිර දර්ශන මඟින් පිළිබිඹු වන මිනිසා පිළිබඳ සංකල්පය’, ඉන්දියානු දර්ශනය, ආචාර ධර්ම, බෞද්ධ මනෝ විද්‍යාව හා දර්ශනය, හා අභිධර්මාර්ථ සංග්‍රහය, එයින් කිහිපයක් වන අතර සංස්කරණය කර ඇති ග්‍රන්ථ සංඛ්‍යාවද විශාලය.

විදේශ බෞද්ධ සම්මන්ත්‍රණ සහ ශිෂ්‍යත්ව ලබා ගනිමින් ඉන්දියාව, චීනය, ජපානය, ඉතාලිය, මියන්මාරය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, මැලේසියාව, සයිප්‍රසය හා ගී‍්‍රසිය යන විදෙස් රටවල සංචාරය කර ඇත.

මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම නා හිමිපාණන් අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ මහානායක හීනටියන නන්දතිස්ස මහානායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ ගරුතර කාරක මහා සංඝ සභාවේ නියමයෙන් තත් නිකායේ අභිනව අනුනායක පදවියෙන් පිදුම් ලබා ඇත. ඒ නිමිත්තෙන් ගරුතර අභිනව අනුනා හිමිපාණන් වහන්සේ පිළිගැනීම සහ සන්නස් පත්‍ර පිරිනැමීමේ උත්සවයක් මාර්තු මස 20 වන දින සවස 2.00 ට අම්බලන්ගොඩ මහාචේතිය පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ. අභිනව අනුනායක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම ස්වාමීන් වහන්සේ චිරාත් කාලයක් නිදුක්ව, නීරෝගීව ලෝ සසුන් වඩන්නට ආයුබෝවේවා!

 

 දුරුතු අමාවක පෝය

   දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 07 වැනිදා ඉරිදා අපරභාග 10.20 ට ලබයි. 08 වැනි දා සඳුදා අපරභාග 08.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි මස 08 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]