UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ

"කෝට්ටේ        

ශ්‍රී නාගවිහාරාධිපතිව වැඩ විසූ මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ විශිෂ්ට චරිතාපදානය පාසල් විෂය මාලාවට පවා ඇතුළත් කිරීමට මේ වන විටත් තීරණය කර තිබේ. උන්වහන්සේගේ මතුපිට චරිතයට වඩා බොහෝ දෙනා නොදන්නා දේ සැඟව තිබේ. ඒ සැඟවුණු කරුණු ඇතුළත්ව උන්වහන්සේ ගේ චරිතාපදානය අද පටන් බුදුසරණ පුවත්පතින් මෙසේ ගෙන හැර දක්වමු. ඒ චරිතාපදානය ගෙන එන්නේ කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමිපාණන් වහන්සේ විසිනි."

මෑත යුගයේ තම පෞද්ගලික ධන පරිත්‍යාගයන් පවා සිදුකරමින් කටයුතු කළ මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුපේශල සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි. කිසිදු විටෙක ලාභ ප්‍රයෝජන හෝ ගෞරව නාම තාන්න මාන්න බලාපොරොත්තු නොවු උන්වහන්සේ සැම විටම අයුක්තියට එරෙහිව නැගී සිටියහ.

කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපතිව වැඩ විසූ උන්වහන්සේගේ විශිෂ්ට චරිතාපදානය පාසල් විෂය මාලාවට පවා ඇතුළත් කිරීමට මේ වන විටත් තීරණය කර තිබේ. උන්වහන්සේගේ මතුපිට චරිතයට වඩා බොහෝ දෙනා නොදන්නා දේ සැඟව තිබේ. ඒ සැඟවුණු කරුණු ඇතුළත්ව උන්වහන්සේ ගේ චරිතාපදානය අද පටන් බුදුසරණ පුවත්පතින් මෙසේ ගෙන හැර දක්වමු.

ඒ චරිතාපදානය ගෙන එන්නේ කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමිපාණන් වහන්සේ විසිනි. අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් ගැන මෙන්ම අග්ගමහා පණ්ඩිත බෙල්ලන ඥානවිමල මහ නාහිමියන් ගැනද චරිතාපදානයන් ගෙන හැර දක්වා ඇති උන්වහන්සේ සෝභිත හිමියන් ගැන බොහෝ ඇසූ පිරූ තැන් ඇති මහා නා හිමි නමකි. එමෙන්ම එකට අකුරු කළ සමකාලීන හිමි නමක්වීමද විශේෂිතය.

අපි දැන් හතළිහ දශකය වෙත යොමු වෙමු.

දෙවන ලෝක මහා යුද්ධය ආරම්භ වී කොළඹට බෝම්බ දමද්දී කොළඹ ප්‍රදේශයේ බොහෝ දෙනා කොළඹින් බැහැර පිටිසර ගම්කරා ඇදෙන්නට වූහ. අතට අසුවන අසුවන දෙයක් රැගෙන ඇතැමුන් කොළඹින් පිට වුවත් ඇතැමුන් පිටව ගියේ ඇඳි වත පිටිනි. ඇතැම් පිරිස් තමන්ගේ ඥාතීන්ගේ නිවාස වලට ගිය අතර ඇතැමෙක් තමන් දන්නා අඳුනන අයගේ නිවාස වෙත ගියහ. බොරැල්ල රාජගිරිය කෝට්ටේ වැනි ප්‍රදේශවල පිරිස් වැඩි පිරිසක් ගියේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ පිහිටි මාදුළුවාව නම් ගම්මානයටයි.

ඒ සඳහා ප්‍රධාන හේතු දෙකක් තිබුණි. ඒ මාදුළුවාව ගිහි පැවිදි පුද්ගලයන් දෙදෙනෙකු නිසා ප්‍රසිද්ධියට පත්ව තිබීමයි. ඉන් පැවිදි භික්ෂූන් වහන්සේ බොරැල්ල කෝට්ටේ වැනි ප්‍රදේශ සමඟ හොඳ සම්බන්ධයක් තිබුණේය.උන්වහන්සේ නමින් මාදුළුවාවේ ඉන්දජෝති හිමිපාණන් වහන්සේය. බොරැල්ලේ පිහිටි මඩ වඟුරක් ගොඩකර ශ්‍රී ජයවර්ධනාරාමය නමින් විහාරස්ථානයක් උන්වහන්සේ බිහි කළහ.

උන්වහන්සේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ එදා කැපී පෙනෙන භික්ෂූන් වහන්සේ නමක් වූහ. අනෙක් ගිහි තැනැත්තා ප්‍රකට දෛවඥයකු වූ මාදුළුවාවේ පොඩි ගුරුන්නාන්සේය. කිරි ගහට ඇන්නා සේ බොහෝ දේ පිළිබඳව දෛවඥයකු ලෙසින් ඇසූ පිරූ තැන් තිබූ පොඩි ගුරුන්නාන්සේ හමුවට වරක් කෙසඟ සිරුරකින් සමන්විත වූ එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා පැමිණියේය. ඒ තම වේලාපත්කඩ පිළිබඳ තොරතුරු දැන ගැනීමටය. බණ්ඩාරනායක මහතාගේ වේලාපත්කඩය අතට ගත් සැණින් ගුරුන්නාන්සේ බණ්ඩාරනායක මහතාගේ දෙස බලා සිට ‘මේ කේන්දරය තමුසෙගෙ වෙන්න බැහැ මේක රජ කෙනෙකුගේ කේන්දරයක්’ යනුවෙන් පවසා ඇති බව අදත් ප්‍රසිද්ධය.මේ පොඩි ගුරුන්නාන්සේ හමුවටද එදා බොරැල්ල කෝට්ටේ වැනි ප්‍රදේශවලින් ජනතාව ගොස් ඇත.

මේ දන්නා ඇඳුනුම්කම් නිසා මෙන්ම එවකට කෝට්ටේ නාග විහාරය හා ඉන්දජෝති නාහිමියන් වැඩ සිටි සිරි පැරකුම්බා පිරිවෙන අතර තිබුණු සබඳතාවයත් නිසා මාදුළුවාව හා බොරැල්ල, කෝට්ටේ අතර හොඳ සුහදත්වයක් ගොඩනැඟී තිබුණි. මේ නිසාම මීගොඩ නගරයටද මද දුරකින් පාදුක්කටද සමීපව පිහිටි මාදුළුවාව ගමට පිළිසරණ පතා වැඩි වශයෙන් ජනතාව ඇදී එන්නට විය. මේ ගමේ සිටි පිරිස් අතර පීරිස් අප්පුහාමි ද කා අතරත් ප්‍රසිද්ධය. ඒ ඔහුගේ ගුණ යහපත්කම නිසාමය. වෘත්තියෙන් වඩු කාර්මිකයකු වුවත් හේ හොඳ ගොවි මහත්මයකු විය. ඔහු ගොවිතැන් බත් කළේ ආදායමක් උපයා ගැනීමට නොව ගොවිතැනින් රටටත් ජනතාවටත් සැලසෙන සෙත නිසාමය.

විදේශියන්ගේ බෝම්බ තර්ජනයෙන් අසරණව ආ පිරිස් පීරිස් අප්පුහාමිගේද සරණ පැතීය. තම නිවස ආගන්තුකයන්ට ලබා දී තම කර්මාන්තය කරන වඩුමඩුව තම නිවාසය කර ගන්නට තරම් හේ නිහතමානී විය. විවෘත වඩු මඩුව පොල්අතුවලින් වටකර ගෙන පීරිස් අප්පුහාමි මහතා තම නවාතැන එසේ සකස් කර ගත්තේ තවත් වැදගත් සන්ධිස්ථානයක ඔහු සිටියදීය. ඒ ඔහුගේ භාර්යාව වන කුරුවිට ආරච්චිගේ කරලිනාහාමි මහත්මිය සිය දෙවන දරුවා ප්‍රසූත කිරීමට ආසන්න අවස්ථාවක සිටිද්දීය. 1942 වසරේ මැයි මස 29 වැනිදා පීරිස් අප්පුහාමි මහතාගේ බිරිඳ දෙවන දරුවා බිහි කළාය. ඒ තම වඩුමඩුවේ දීය. ඔහුට පතිරගේ දොන් රත්නසේකර යන නම තබන ලදී. රත්නසේකරට වැඩිමහල් සොහොයුරෙක්ද විය. ඔහු නමින් පී.ඩී. ගුණසේකරය. රත්නසේකර උපන් අවුරුද්දේම එනම් 1942 වසරේදීම තවත් සිදුවීමක් විය. ඒ බොරැල්ල ශ්‍රී ජයවර්ධනාරාමයේ ආදි කර්තෘ මාදුළුවාවේ ඉන්දජෝති හිමිපාණන් වහන්සේ අපවත් වීමයි. රත්නසේකරයන්ගේ කතාව නිසි ලෙසින් ආරම්භ වන්නේ එතැන් සිටයි.

 

 දුරුතු අමාවක පෝය

   දුරුතු අමාවක පෝය පෙබරවාරි මස 07 වැනිදා ඉරිදා අපරභාග 10.20 ට ලබයි. 08 වැනි දා සඳුදා අපරභාග 08.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි මස 08 වැනිදා සඳුදා ය. මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 15 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]