Print this Article


භික්ෂු කතිකාවතින් ශාසනයට නව ජීවයක් දෙනවා

භික්ෂු කතිකාවතින් ශාසනයට නව ජීවයක් දෙනවා

පසුගිය රජය යම් යම් දේශපාලනික අරමුණු හේතුවෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ගතයුතු ක්‍රියාමාර්ග මඟහැර යෑම හේතුවෙන් ශාසනික වශයෙන් විසඳාගත නොහැකි ගැටලු රැසක් පැනනැග තිබියදී වත්මන් රජය ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත ගෙනඑමින් පෙර රජය මඟින් නොසලකා හැරතිබූ ශාසනික අභිවෘද්ධිය සඳහා වන කටයුත්තට නව රජය මඟින් යළි නවපණක් ලබාදී තිබෙන බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පවසති.

ධර්මධර, විනයධර මහ තෙරුන්ගේ සම්මුතියෙන් ඇති කරගන්නා ලද ශාසනික කතිකාවත්වලට රාජ්‍ය බලය හෙවත් නෛතික බලය ලබාගැනීම වර්තමාන රජය යටතේ පමණක් ඇතිවූවක් නොවන බව ඉතිහාසය පිරික්සීමේ දී පැහැදිලි වන බවද මහනාහිමියෝ අවධාරණය කැරති.

ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ ප්‍රකාශ කැරමින් සිටීම සම්බන්ධයෙන් බුද්ධශාසන ඇමතිවරයාට ලිපියක් යොමුකැරමින් මහානාහිමියෝ මේ බව ප්‍රකාශ කැරති.

එම ලිපිය මෙසේය.

ථෙරවාදී භික්ෂු නිකායික කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත

දැනට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති ශ්‍රී ලංකාවේ පවතින සියලුම ථෙරවාදී භික්ෂු නිකායන් වෙනුවෙන් කතිකාවත්, ලියාපදිංචි කිරීම සඳහා සහ ඊට සම්බන්ධ වන්නා වූ ද ආනුෂංගික වන්නා වූ ද කරුණු සඳහා විධිවිධාන පනවන පනත් කෙටුම්පත පිළිබඳව විවිධ පාර්ශ්වයන් විවිධ ප්‍රකාශ කරමින් සිටින බව ජනමාධ්‍ය මගින් අනාවරණය වෙමින් පවතී.

ලංකා ඉතිහාසය දෙස බලන විට අපේ රජදරුවන් වරින් වර ධර්මධර, විනයධර මහතෙරුන්ගේ මූලිකත්වයෙන් සම්මුතියට පැමිණ කතිකාවත් ඇතිකොට භික්ෂු ශාසනය ශෝධනය කළ බව මැනවින් පෙනී යයි. පොළොන්නරු මහා පරාක්‍රමබාහු කතිකාවත, නිශ්ශංකමල්ල කතිකාවත, දඹදෙණි කතිකාවත , හයවන පරාක්‍රමබාහු කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත, රාජාධිරාජසිංහ කතිකාවත යනාදී කතිකාවත් තුළින් භික්ෂු ශාසනයේ චිරස්ථිතිය හා පාරිශුද්ධිය අපේක්ෂා කළ රජ දරුවෝ කතිකාවත් සම්පාදනයට මෙන්ම ඒවායින් ඇතිකරගන්නා ලද සම්මත ව්‍යවස්ථාවන් ක්‍රියාත්මක කරවීමට අදාළ වන රාජ බලය ලබා දී සසුන පිරිසුදු කළ අයුරු මනාව පැහැදිලි වන්නේය. අපේ රජදරුවන් එකී කතිකාවත් තුළින් අපේක්ෂා කළේ සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනයයි. භික්ෂු ශාසනයේ චිරස්ථිතිය හා පාරිශුද්ධිය අපේක්ෂාවෙන් පසු කලෙක ශාසනාභිවෘද්ධිවර්ධන කතිකාවත, පරම ධම්ම කතිකාවත, මල්වතු මහාවිහාර පාර්ශ්වීය අභිනව කතිකාවත ,ශාසනාරක්ෂක කතිකාවත ,අමරපුර හා රාමඤ්ඤ නිකායික කතිකාවත් යනාදී වශයෙන් ඒ ඒ පාර්ශ්ව හා නිකායික කතිකාවත් ඇතිකරගත් නමුත් ඒවාට නෛතික බලයක් නොමැති වූයෙන් අපේක්ෂා කළ අරමුණු සාධනය කර ගැනීම දුෂ්කර විය.

එනයින් බලන විට ධර්මධර, විනයධර මහතෙරුන්ගේ සම්මුතියෙන් ඇතිකරගන්නා ලද ශාසනික කතිකාවත්වලට රාජ බලය හෙවත් නෛතික බලය ලබා ගැනීම වර්තමාන රජය යටතේ පමණක් ඇතිවූවක් නොවන බව පැහැදිළිය. මෙවැනි පනතක අවශ්‍යතාවය පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ එවකට පැවැති රජයට කරුණු ඉදිරිපත් කරන ලදී. ඊට අදාළ වන සම්මුතීන් ද ඉදිරිපත් කරනු ලැබ ඇත. එහෙත් එවකට පැවැති රජය අත්‍යාවශ්‍යව පැවති ඒ ශාසනික කටයුත්තට හුදෙක් දේශපාලනික අරමුණු නිසා මූලික තැනක් දුන් බවක් නොපෙනේ. එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ද බැඳී සිටිනා හෙයින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා පෝෂණය පිණිස ඉවහල් වන පරිදි පිහිටුවා තිබූ බුද්ධශාසන අමාත්‍යාංශය අහෝසි කළ අවස්ථාවේ එය යළි ස්ථාපනය කරවා දෙන ලෙස තෛ‍්‍රනිකායික මහානායක මාහිමිපාණන්වරුන්ට රජයෙන් ඉල්ලා සිටීමට පවා සිදුවී තිබීමෙන් ඇතිවෙමින් පැවති තත්ත්වය වටහා ගත හැකිය. මෙසේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ගත යුතු ක්‍රියාමාර්ග මඟහැර යෑම නිසාත්, යම් යම් දේශපාලනික අරමුණු අරභයා නොසලකා හැරීම නිසාත් අද වන විට ඒවා තවදුරටත් විසඳා ගත නොහැකි ගැටලු සහගත තත්ත්වයට පත්වෙමින් තිබෙනු දක්නා ලැබේ.

වර්තමාන රජය විසින් ආරම්භ කොට ඇත්තේ පසුගිය රජය විසින් නොසලකා හැර තිබූ එකී ශාසනික කටයුත්තයි. මෙකල පවත්නා ශාසනික තත්ත්වයන් පිළිබඳව හා ඇතැම් භික්ෂූන්ගේ ශාසනික විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව කිසියම් පියවරක් නොගන්නේ මන්දැයි යන ප්‍රශ්නය ගිහි පැවිදි බොහෝ දෙනා අප වෙත චෝදනා මුඛයෙන් නිතර එල්ලකරනු ලබන විවේචන හමුවේ තවදුරටත් නිහඬව සිටීම අපේ වගකීමක් නොවන බව පෙනී යාම නිසා වර්තමාන රජයේ වගකිවයුත්තන්ගෙන් ද මෙකී කතිකාවත් සඳහා නෛතික බලය ලබාදීමට පියවර ගන්නා ලෙස දන්වා සිටීමට සිදුවිය.

ශිෂ්ට ලෝක ශාසන සංග්‍රහය දීර්ඝ කාලයක් නොනැසී පවත්වනු සඳහා අදාළ වන කෘත්‍ය සම්පාදනයෙහි ප්‍රමුඛව අනලස්ව නියුක්ත වීම වර්තමාන භික්ෂූන් වහන්සේ වෙත පැවරී ඇති ප්‍රතික්ෂේප කළ නොහැකි කාර්යභාරයක් බව කා විසිනුත් අවබෝධ කරගත යුතුව ඇත. මෙබඳු ශාසනික කටයුත්තකදී දේශපාලන පක්ෂ වලට බෙදී හැම කාරණයකටම විරුද්ධ වීමේ ප්‍රතිපදාව නොව සදොස් තැන් තිබේ නම් නිදොස් කොට ගෙන මෙකල ශාසනාරක්ෂාව සඳහා කරනු ලබන ඒ ඒ පාර්ශ්වීය වශයෙන් හෝ ඒ ඒ නිකායන් වශයෙන් හෝ අදාළ වන පරිදි ධර්ම ව්‍යවස්ථාවන් ඇති කරගෙන ශාසන ශෝධනයකට ශ්‍රද්ධා බුද්ධි සම්පන්නව ගිහි පැවිදි කාගේත් සිත් යොමු කරවීමට කටයුතු කළ යුතුව ඇත.

ලක්දිව සඟ සසුන ඇතිවූ තැන් පටන් ශ්‍රද්ධාවත් රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ සහභාගිත්වයෙන් සංරක්ෂණය කළ ලංකා භික්ෂු ශාසනයේ චිර පැවැත්ම සඳහා කිසියම් ශාසනික වැඩපිළිවෙළක් මෙකල වුවමනා වී ඇති බව විචාරවත්ව ,බුද්ධිමත්ව කල්පනා කරතොත් කාට වුවද වැටහෙනු නියතය. වර්තමානයෙහි භික්ෂූන් වහන්සේ නවීන භාෂා ශාස්ත්‍රයන්ගෙන් පෝෂිතව දැනුමෙන් පෝෂණය වී ඇති නමුත් චිරානුගත සංඝ ගෞරවය ක්‍රමයෙන් හීන වේගන යන බව නිතර ජනමාධ්‍යන්ගෙන් ද දක්නට ලැබේ. ශාස්ත්‍ර ඥානය තරමට ශීල පාරිශුද්ධිය ගරුකොට නොසැලකීමත් , නොයෙක් අකටයුතුකම් වල යෙදෙන ශ්‍රමණ වේශධාරි දුසිල්වතුන් බහුල වීමත්, දුසිල්වත් භික්ෂූන්ගෙන් තම පාර්ශ්වයට හෝ නිකායට සිදුවන අගතිය වළක්වා ගැනීමට, පාලනය කර ගැනීමට මහනායක හිමිවරුන් ප්‍රමුඛ සංඝ සභාවලට ඇති පාලන බලයක් නොමැති වීමත් නිසා ශාසනික පරිහානිය දිනෙන් දින වර්ධනය වෙමින් පවතී.

එබැවින් ඒ ඒ පාර්ශ්ව විසින් හෝ නිකායන් විසින් ස්වකීය මහනායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභාවන්ගේ සම්මුතියෙන් ඇතිකරගනු ලබන කතිකාවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කොට ලියාපදිංචි කොට රාජ්‍ය නෛතික බලයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති මෙම පනත් කෙටුම්පත පිළිබඳව දේශපාලන පක්ෂ හා වෙනත් පටු පරමාර්ථයන්හි නොපිහිටා කටයුතු කිරීම වඩාත් වැදගත් වන්නේය. එය වර්ෂ 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ අංක 41.1 වගන්තියෙන් ක්‍රියාත්මක වන සාමණේර හා උපසම්පන්න භික්ෂූන් නිවැරැදි ලෙස ලියාපදිංචි කිරීම වැනි ක්‍රියාදාමයකි. එමගින් අපගේ අපේක්ෂාව වන්නේ ඒ ඒ පාර්ශ්ව හෝ නිකායන් ගේ සම්මුතියෙන් ඇති කරගනු ලබන ශාසනික කතිකාවත් සඳහා නෛතික බලය ලබාගෙන පාර්ශ්වීය හෝ නිකායික භික්ෂු සංඝයාගේ ශාසනික පාරිශුද්ධිය ඇතිකර සම්බුද්ධ ශාසනයේ ප්‍රතිෂ්ඨාපනය ඇතිකර ගැනීමයි.

තෙරුවන් සරණයි.