Print this Article


බුදුරදුන්ගේ පළමු ලංකාගමනය

බුදුරදුන්ගේ පළමු ලංකාගමනය

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් නව වැනි මාසයේ එළඹුණු දුරුතු පුන් පොහෝ දින උරුවෙල් දනව්වේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් ජටිලයන් පැවිදි කොට රහත් මගපල අවබෝධ කරවා ලක්දිවට වැඩම කළ සේක.

එකල මේ ලක්දිව වාසය කළේ යක්ෂ ගෝත්‍රිකයින්, දේව හා නාග ගෝත්‍රිකයින්ය. උන්වහන්සේ ලක්දිවට වැඩම කරවන දවසේ මහියංගනයේ මහානාග වන උයනෙහි මහා යක්ෂ සමාගමකි. ඒ පිරිස මැද ආකාශයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ අව්, වැසි, සුළං හා කුණාටු මවා පා යක්ෂයන් බියට පත්කළ සේක. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අභය ඉල්ලා වැඳ වැටුණ යක්ෂයන්ට අනුකම්පා කළ උන්වහන්සේ අනාගතයේ ලක්දිව බුදුසමය පිහිටන බව දැන දමනය වූ යක්ෂයින් ගිරිදිවයිනට පළවා හැරී සේක.

එකල ලක්දිවට රැස්වු දෙව්බඹුන් පිරිසට දහම් දෙසා ඔවුන්ට නිවන්මග පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ ලංකාවේ බුදුසසුන පිහිටුවීම පිණිස මූලික කරුණු රාශියක්ම සම්පූර්ණ කළ සේක.

යක්ෂයින් දමනය කර ගිරි දිවයිනට පලවා හැරීමෙන් මෙරට භක්තිමත් නාග හා දේව ගෝති‍්‍රකයින්ට බුදුසව්වන් වී අනාගත ලක්දිව බොදුනුවන්ගේ මුදුන්මල්කඩ බවට පත් කිරීමේ කර්තව්‍යය සම්පූර්ණ විය.

බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් වූ අය අතර සුමන සමන් දෙවියෝද වූහ. අප්‍රමාණ ගෞරවයකින් ඔද වැඩී ගිය සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේගෙන් පූජා වස්තුවක් ඉල්ලා සිටියහ. ඒ අවස්ථාවේදි උන්වහන්සේ හිස පිරිමැද කේශධාතු මිටක් ගෙන සමන් දෙවියන්ට දුන් සේක. සමන් දෙවියෝ ඒ කේශධාතුමිට රන් කරඬුවක් තුළ බහා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ සත්රියන් උස චෛත්‍යයක් කර පුද පූජා පැවැත්වූහ. මහියංගන චෛත්‍යය වනාහි විශාල කොට බඳවන ලද මෙම චෛත්‍යය බව කියවේ

මේ නිසා බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේදීම ලංකාවේ චෛත්‍ය කර්මාන්තය ආරම්භ වූ බව ද ඒ අනුව ලක්වැසියන් ක්‍රම ක්‍රමයෙන් බෞද්ධයන් වෙමින් ලංකාව බෞද්ධයන්ගේ තෝතැන්නක් බවට පත්වීමේ ආරම්භය සිදුවූ බවද වටහා ගැනීම අපහසු නැත. ලංකා සම්බුද්ධ ශාසනය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන විට මෙම මහියංගන චෛත්‍ය රාජයාණන් වහන්සේද වරින් වර විශාල කොට බඳවන ලදී.

බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑමෙන් පසු ශ්‍රී දේහය ආදාහනය කළ චිතකයෙන් උන්වහන්සේගේ ගී‍්‍රවා ධාතුව ලබාගන්නා ලද්දේ සැරියුත් මහ තෙරණුවන්ය. උන්වහන්සේගේ ශිෂ්‍යයෙකු වු සරභූ රහතන් වහන්සේ එය මහියංගන චෛත්‍යයේ නිදන් කොට සොලොස් රියන් කොට බැඳවූ සේක.චූලාභය රජු එය තිස් රියන් කොට බැඳවීය.

ලක්දිව බුදු සසුනේ ආරක්ෂාව පතා යුද්ධයට ගිය දුටුගැමුණූ රජතුමා තම සටන් ව්‍යාපාරය ආරම්භ කළේ මහියංගනයෙනි. මහියංගන චෛත්‍යයේ ශ්‍රේෂ්ඨත්වය වටහා ගත් එරජ මෙය අසුරියන් කොට බඳවන ලදී. බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පරම පූජණීයත්වයට පත් මිණිපේ මියුගුණ සෑ පුද බිම උන්වහන්සේගේ කේශධාතුන් වහන්සේලා හා ගී‍්‍රවා ධාතුවද නිදන් කරවීමෙන් පසු මහා පින්බිමක් බවට පත්විය.

බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කරවීමෙන් පසු ලංකාවේ බුදුදහම පිහිටීම පිණිස අවශ්‍ය කරන කරුණු කීපයක් සම්පූර්ණ වූ බව පෙනේ. ලංකාවේ විසූ නාග ගෝත්‍රිකයින් හා දේව ගෝත්‍රිකයින් ඉතාමත්ම භක්තිමත් බෞද්ධයන් වූ ආකාරය ඓතිහාසික වංශකථාවලින් ප්‍රකට වේ.