Print this Article


උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර

උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර


ගාල්ල, උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරයේ විරාජමානව වැඩ සිටින බෝ සමිඳුන්ට උපහාර පූජා පිණිස 30 වන වරටත් පූර්ණ රාජ්‍ය අනුග්‍රාහය සහිතව පැවැත්වෙන ශ්‍රී මහා බෝධිරාජ මහා පෙරහර මංගල්‍යය මේ මස 16 දින රාත්‍රී 7.00 ට උඩුගම නගරයේ වීථි සංචාරය කිරීමට නියමිතය.

අපවත් වී වදාළ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායකව වැඩ විසූ ලෝක මහා සංඝ සම්මේලනයේ ප්‍රධාන සභාපතිවරයා වූ ගාල්ල –උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරාධිපති නෙළුවේ ශ්‍රී ගුණානන්ද නා හිමිපාණන්ගේත් එවකට ඉන්දීය මහාබෝධි සමාගමේ ප්‍රධාන සභාපතිවරයා වූ නෙළුවේ ශ්‍රී ජිනරතන නාහිමිපාණන්ගේත් මැදිහත් වීම මත ඉන්දියාවේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශ්‍රී මහා බෝධි ශාඛාවක් 1976 ජනවාරි 10 දින කටුනායක ගුවන්තොටුපළට ගුවනින් වැඩම කරවන ලදී. බෝධීන් වහන්සේ තම හිසමතින් පිළිගත්තේ එවකට ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමා විසිනි.

එම ශී‍්‍ර මහා බෝධි ශාඛාව 1976 ජූලි මස 11 වන ඇසළ පුන් පොහෝදා එවකට ගාල්ල මහ දිසාපතිවරයා වූ බ්‍රැඩ්මන් වීරකෝන් මැතිතුමාගේ පින්බර සුරතින් උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාමයේ උඩමළුවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සාදුනාද මැද රෝපණය කරවන ලදී. එයට උපහාර පූජා පිණිස සෑම වසරකම ජනවාරි මාසයේදී ඓතිහාසික උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර පවත්වනු ලැබේ.

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරය වසර 120 කට අධික ඉතිහාසයකට නෑකම් කියන ඉපැරැණි විහාරයකි. මෙහි ආදි කර්තෘන් වහන්සේ වන්නේ අපවත් වී වදාළ පනංගල ශ්‍රී දේවරක්ඛිත මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ ය. වත්මන් විහාරාධිපති උඩුගම සමිත නාහිමියන්ගේ උපදේශකත්වය යටතේ විහාරාධිකාරි උඩුගම සාරානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පෙරහර කමිටුවේ ප්‍රධාන ලේකම් ඒ .එල්. ජී. ජයසිරි මහතා ඇතුළු බෝධිරාජ මහ පෙරහර කමිටුව මඟින් මෙවර පෙරහරේ සියලු කටයුතු සංවිධානය කොට ඇත. ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවැත්වෙන සුවිශේෂ පූජාවකින් හා මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව හා බෝධින් වහන්සේගේ අනුරුව තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහරේ කටයුතු ආරම්භ වේ. ජනවාරි 17 දින රාත්‍රියේ මහා ගම්මඩු ශාන්ති කර්මයක් හා පසුදා අලුයම මහා දේව දානයෙන් මෙහි කටයුතු සමාප්ත වේ.

උඩරට, පහතරට සබරගමු නර්තනාංග රැසකින් හා අලි ඇතුන්ගෙන් මෙවර පෙරහර සමලංකෘතවන අතර පෙරහර සඳහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබාදෙන ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගි වීමට නියමිතය.