Print this Article


කණම්පැල්ල ගංගා රෝහණ පූජෝත්සවය

කණම්පැල්ල ගංගා රෝහණ පූජෝත්සවය

කණම්පැල්ල පූගොඩ තොටුපළෙහි මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බිලිගැනීම හේතුකොට ගෙන 1960 දී පමණ ලුසිහාමි නමැති උපාසිකාව රංවල දෙවියන් වෙනුවෙන් දානයක් දීම ආරම්භ කරන ලදී. පසුව ධර්ම දේශනාවක්, පිරිත් දේශනයක් පවත්වා දේව දානය පිරිනමා පින්පෙත් පමුණුවා කැලණි ගංදෑලේ මිනිසුන් ගේ ජීවිතාරක්ෂාව සඳහා රංවල දේව ආශිර්වාදය ලබා ගත්හ. අනතුරුව කණම්පැල්ලේ ශ්‍රී පේමානන්ද නාහිමි ලුණුගම නන්දාරාම හිමිපාණන් වහන්සේ ආදී කණම්පැල්ලේ ශ්‍රී සුමනාරාමයේ වැඩ වාසය කළ ගරුතර ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා පරිදි ගඟ මැද පාරුවක ඉදිකළ පිරිත් මණ්ඩපයක පිරිත් දේශනාවක් පැවැත්වීමත් පෙරහරක් ආරම්භ කිරීමත් නිසා මෙම පූජෝත්සවය ගංගා රෝහණ පූජෝත්සවය නමින් පැවැත්වීමට යෙදුණි.

කණම්පැල්ල ශ්‍රී සුමනාරාමය ඇතුළු සිව්මහා විහාරාධිපති මාදන්වල ආනන්ද නාහිමියන්ගේ ආශිර්වාදයෙන් හා කණම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරාධිකාරී සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ආයතනාධිපති ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත කණම්පැල්ලේ සුමනනන්ද නාහිමියන් ගේ අප්‍රතිහත ධෛර්යය හා කැපවීම ඇතුළුව ගංගා රෝහණ පූජෝත්සව කමිටුවේ හා අවට ගම්වාසී සැමගේ දායකත්වයෙන් ගංගා රෝහණ පූජෝත්සවය සහ පෙරහර මංගල්‍යය දින කිහිපයක් පුරා පැවැත්වීමට නියමිතය. ඒ අනුව දෙසැම්බර් මස 28 වැනිදින සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් කණම්පැල්ල පාලම අසල රංවල දේවාල පරිශ්‍රයේදී පවත්වනු ලබන අතර 29 වැනිදින උදෑසන මහ සඟරුවන වෙත දානය පිරිනැමීම හා එදින පස්වරු 5.00 ට පමණ නැකැත් චාරිත්‍රානුකූලව සධාතුක කරඬුව හස්තිරාජයා පිට තැන්පත් කිරීමෙන් පසු රංවල දේව ප්‍රතිමා වහන්සේ විශේෂ රථයේ තැන්පත් කිරීමෙන් පසුව සාම්ප්‍රදායික සංස්කෘතික අංග රැසකින් හා අලි ඇතුන්ගෙන් සමන්විත ගංගා රෝහණ මහා පෙරහර කණම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ සිට කොස්ගම නගරය දක්වා ගමන් කොට ආපසු ගමන් කිරීමෙන් අනතුරුව කැලණි ගඟ අසල රංවල දොවොලට ගෙවදීම සිදුවේ.