Print this Article


ගොඩගෙදර රාජමහා විහාරය

 ගොඩගෙදර රාජමහා විහාරය


දහ අටරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ

සියනෑ කෝරලයේ ගොඩගෙදර රාජමහා විහාරය නුවර, කොළඹ මහා මාර්ගයේ බැළුම්මහර මන්සංධියේ සිට කිලෝ මීටර් එකක් නුදුරින් මනරම් වෙල්යායකට මුහුණලා පිහිටා ඇත.

පිළිකුත්තුව, මාලිගාතැන්න, ඌරුවල හා කොස්සින්න වැනි සමකාලීන රජ මහා විහාරයන් ද ප්‍රදේශයේ වේ. ක්‍රි.පූ. 103 – 89 අතර කාල පරිච්ඡේදයේ දී පරසතුරු උවදුරු නිසා වළගම්බා රජුට රැකවරණය දුන් ප්‍රදේශයක් ලෙස ගොඩගෙදර නම ජනප්‍රවාදයේ සඳහන්ව ඇති අතර නැවත රාජ්‍ය බලයට පත් රජතුමා එම ඓතිහාසික විහාරය විශාල භූමි ප්‍රමාණයක ගොඩමඩ ඉඩම් සහිතව ඉදිකරනු ලැබූ බව පොතපතෙහි සඳහන්ව ඇත. ප්‍රෞඩ ඉතිහාසයකට නෑකම් කියන එම විහාරය සතුව තිබූ උත්තරමූල පිරිවෙන කීර්තිමත් වෙද පරපුරකට නෑකම් කියූ පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි මැතිඳුන්ට ද සෙවන දුන් ස්ථානයක් විය.

පසුකාලීනව නැවත මෙම විහාරය ආරම්භ වී ඇත්තේ පිහිටි ප්‍රදේශයට මෙපිටින් කලින් තිබූ ස්ථානය නොමැතිවය. ජරාවාස වෙමින් තිබූ එම විහාරයට නව පණක් ලැබුණේ 1860 දී පමණ විහාරාධිපති පදවියට පත් රඹුක්පොත ශ්‍රී පඤ්ඤාසාර හිමියන්ගෙනි. උන්වහන්සේගේ කාලයේ දී විහාර මන්දිරයේ හා චෛත්‍යයේ කටයුතු ආරම්භ කළ ද එහි නිමාවක් උන්වහන්සේට දක්නට නොලැබුණි.


අලුතින් නිම කළ ඝණ්ඨාර කුලුන විහාර ශාලාව සහිත ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යය

ඉන්පසුව පත් වූ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා අතර 1950 දී පමණ විහාරාධිපති ධූරයටපත් කිත්තම්මහර සුමනතිස්ස නාහිමි යුගය විහාරයට යම් සංවර්ධනයක අරුණළු උදාවන්නට විය. විහාරයත් බෝධිය හා ධර්ම ශාලාවත් දෙකඩ කරමින් ගමන් ගත් ගමට ඇතුළු වන ප්‍රධාන මාර්ගය භූමියෙන් පිටතට පත්කිරීම උන්වහන්සේගෙන් සිදුවූ මුල්ම කාර්ය විය. පසුව සිදුවූ මහඟු සත්කාරයන් අතර විහාරය හා බෝධිය ආවරණය වන සේ ආරක්ෂිත පවුරක් ඉදිකිරීමද විහාරය වටා පිට විහාරයක් ඉදිකිරීමද ඉරුදින දහම්පාසල ඇරඹීම හා විහාරයට විදුලි බලය ලබා ගැනීම ද වේ. උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව 1975 දී පමණ විහාරාධිපති පදවියට පත් වූයේ තලගුනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ය. විශ්වවිද්‍යාල උපාධිධරයෙකු වූ උන්වහන්සේ ගුරු වෘත්තියෙහි ද නියැළෙමින් කළ යුතුව තිබුණ කාර්යට අතගැසිනි. 1995 දී මිගමු පළාත් සහිත සීනාදි සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය ලද උන්වහන්සේ සතර පේරුවේ දායක පිරිස සමඟ විහාර සංවර්ධන සමිතිය පිහිටුවා අදියර තුනකින් සමන්විත වූ සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කළහ.

විහාර ශාලාව පුළුල් කිරීම හා දහඅටරියන් බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම.


විහාර පිවිසුම සහිත, ආබාධිතයින් වෙනුවෙන් සැකසූ පිවිසුම

වර්ග අඩි 10000 සමන්විත ලෙන් විහාරයක් නිර්මාණය කිරීම.

පැරණි බෝධිප්‍රාකාරය, ධර්ම ශාලාව, පැරණි සංඝාවාසය නවීකරණය කිරීම හා උත්තරමූල පිරිවෙන ප්‍රතිස්ථාපනය කිරීම

ඒ කාර්යන් අතර විය. 1996 මැයි මස 03 වෙසක් පොහෝ දින ආරම්භ කළ මුල් අදියර ගොඩගෙදර, කිඹුල්ගොඩ, හෙනරත්ගොඩ හා බැළුම්මහර යන සතර පේරුවේ දායක පිරිස ගේ ධන හා ශ්‍රම දායකත්වයෙන් මුල් අදියර නිමවුවද අනෙක් අදියර දෙකම නිම කර ජන අයිතියට පැවරීම කල්ගත කළමුත් නිමාවක් දකින්නට පළමුවෙන් 2005 වසරේ දී උන්වහන්සේ අපවත් වූහ. පසුව විහාරාධිපති පදවියටපත් මඩුගල්ලේ ධම්මසිද්ධි හිමියන් කුඩා සාමණේර හිමිවරුන් සත් නමකගේ ද භාරකරු වශයෙන් කටයුතු කිරීමට ද සිදු විය. දායක පිරිසගේ පූර්ණ අනුග්‍රහය යටතේ කටයුතු සිදුවූ අතර ලෙන් විහාරයේ කොන්ක්‍රීට් ආවරණය ඇතිරීම. ඒ වටා වලාකුළු බැම්මක් ඉදිකිරීම බෝධිය වටා අටවිසි බෝධීන් වහන්සේලා ප්‍රතිස්ඨාපනය කිරීම, චෛත්‍ය නවීකරණය කිරීම හා නව ඝාණ්ඨාර කුලුනක් ඉදිකිරීම උන්වහන්සේගේ කාලයේ සිදු වූ කාර්ය භාරයන් විය. දහ අටරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ මළුව වශයෙන් භාවිතයට ගන්නා ලෙන් විහාරයේ කොන්ක්‍රීට් ආවරණය මත ඉදි වූ දැවැන්ත පොකුණ හා දොළොස්මහේ පහන් ඝරය පරිසරය ආලෝකමත් කරන මා හැඟි වස්තූන් දෙකකි. මැදගම පඤ්ඤාසාර හිමි විහාරාධිපති ලෙස පත්වූයේ 2012 වසරයේදී ය. එදා සිට මේ දක්වා සුළුකාලය තුළ භික්ෂු භෝජනාගාරය අලුත්වැඩියා කිරීම, ශබ්ද විකාශන කුලුනක් ඉදිකිරීම, නව වාහල්කඩක් ඇතිකිරීම හා නැණසල ව්‍යාපෘතිය හා පෙරපාසල් ගොඩනැගිල්ල ආරම්භ කිරීමද වේ.


අටවිසි බෝධි ප්‍රාකාරය සහිත බෝධීන් වහන්සේ

වසර 50 කට වැඩි ඉතිහාසයක් ඇති 250 කට නොඅඩු සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන ඉරුදින දහම් පාසල අලුත් ගුරු මණ්ඩලයක් යටතේ ධර්මශාලාව කේන්ද්‍රකොටගෙන පවත්වාගෙන යන අතර දහම්පාසල් ගොඩනැගිල්ලක් ලබා ගැනීමට හැකිනම් එය දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කරනු ලබන වැදගත් ආයෝජනයක් වනු ඇත. දිනෙන් දින දියුණුව කරා පා නගනා මෙම දහම් පාසලේ සිසුන් සහ පෙර පාසලේ කුඩා සිසුන් එක්ව සංවිධානය කළ පොසොන් මහා පෙරහර ලොකු කුඩා කාගේත් අමන්දානන්දයට හේතු විය.