Print this Article


සසරින් එතෙර වූ සේක ඒ මහ රහත් තෙරණිවරු විශාඛා මහරහත් තෙරණින් වහන්සේ

සසරින් එතෙර වූ සේක ඒ මහ රහත් තෙරණිවරු

විශාඛා මහරහත් තෙරණින් වහන්සේ

ලොව්තුරා ශාන්තිනායක බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනයෙන් ශාසනික කෘත්‍යය ඉටුකොට වදාළ සංසාර සාගරයෙන් එතෙරට වැඩම කොට වදාළ නැවත ඉපදීමක් නොලබන්නා වූ භාග්‍යවන්ත වූ විශාඛා මහරහතන් තෙරණින් වහන්සේ පිළිබඳව සිත පහදවා ගනිමු.

ජීවිතය යනු පුදුමාකාර දෙයක්. අවිද්‍යාව හේතුකොට ඉපදීම, මරණය යන චක්‍රීය ක්‍රියාදාමයකට හසුව වසන්නා වූ සත්ත්වයාගේ භව ගමනේ නිමාව, කෙළවර, අන්තය දැකිය හැක්කේ, විඳිය හැක්කේ නිරෝධය, විරාගය, උපසමය, නිර්වාණය නම් වූ ක්ෂේමභූමියට සැපත් වූවන්ට පමණකි.

පෙර බුදුසමයක භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධර්මය අසා අනාගතයේ දී පහළ වන්නා වූ බුදුපියාණන් වහන්සේගේ නෛර්යානික සම්බුදු සසුනක පැවිදිව රහත්භූමියට සැපත්ව සසරින් එතෙර වෙම්වායි විශාඛාවෝ ප්‍රාර්ථනා පෙරටුකොට මහත් වූ කුසල් දහම්හි නියැළුනෝ ය. අප ගෞතම සම්බුදු පියාණන් වහන්සේ පහළ වූ ඒ පුණ්‍යවන්ත, භාග්‍යවන්ත සමයේ දී විශාඛා කුමරියක නමින් ඉපිද මහා ප්‍රජාපතී ගෝතමි තෙරණියෝ පැවිදි උපසම්පදා භූමියට සැපත් වීමත් සමඟින් ඕ තොමෝ ද උත්තරීතර භික්ෂුණීභාවය ලැබ වදාළ සේක.

උතුම් වූ පැවිදි භූමියට එළඹීමට සිත් පහළවීම එතරම් පහසු කාර්යයක් නොවේ. තමා පි‍්‍රය කරන්නාවූ තමාට පි‍්‍රය වූ සැමගෙන්ම මිදී හුදකලාව පැවිදි දිවියට එළඹෙනුයේ සංසාරගත පුණ්‍ය ශක්තිය නිසාවෙන්මය. කය වසා ගැනුමට පමණක් රිසි වූ සිවුරෙන් ද, කුසගිනි නිවෙන්නට පමණ වූ අහරින් ද සතුටු වෙති. පියා හඹා යන කුරුල්ලෙකු යන යන තැනට තම පියාපත් බර ඇතිව පියා හඹා යන්නාසේ ප්‍රවෘජ්‍යා භූමියට පිළිපන්නාවූ උතුමෝ උතුම් වූ සැහැල්ලු දිවියනට උරුමකම් කියති. බැඳීම්වලින් දුරුව වාසය කරති.

ලෞකික ආශාවන් සියල්ල පසෙකලා ගිහි බැඳුම්වලින් වෙන්ව ආරණ්‍යයක් පි‍්‍රය කරමින්, පර්වතයක් පි‍්‍රය කරමින්, ගිරිගුහාවක් පි‍්‍රය කරමින්, එළිමහනක් පි‍්‍රය කරමින්, සොහොන් බිමක් පි‍්‍රය කරමින් ඒ හුදකලා නිසංසල පෙදෙසට නොඇලෙමින් එහි අනිත්‍යතාව දනිමින් දකිමින් භවයට බැඳ තබන තෘෂ්ණාදී බලවේගයන් බිඳ හෙළීමට වෙරදරති. කැපවෙති.

විශාඛා තොමෝ සම්බුදු සසුනෙහි උත්තරීතර ලාභය ලැබීමට වෙරදරති. කලක් භාවනා කොට නුවණ සියුම්බවට පත්වූ කල්හි බුදුපියාණන් වහන්සේ ගඳකිළියෙහි සිට ආලෝක ධාරාවන් යවා තමන් වහන්සේ සමීපයෙහි වැඩවසන අයුරු පෙනෙන්නට සලස්වා ගාථා ධර්මයෝ දේශනා කොට විශාඛාවන්ට සසර දුකින් අතමිදීම උදෙසා අනුග්‍රහකොට වදාළ සේක.

බුද්ධාවවාදයෙන් ප්‍රමුදිතභාවයට පත් වූ විශාඛාවෝ ශ්‍රද්ධාවෙන් මුසපත්ව යථාර්ථාවබෝධය ලැබීමට වෙහෙස දැරූ සේක. ඒ උතුම් බුදුවදන ඕතොමෝ රහත් භූමියට පිළිපන් කළ උදාන පායයක් ලෙසින් දේශනා කොට වදාළේ විශාඛා මහරහත් උත්තමාවිය විසිනි.

“කරොථ බුද්ධසාසනං යං කත්වා නානුතප්පති
විප්පං පාදානි ධොවිත්වා එකමන්තො නිසිදථ”

“යමක් කිරීමෙන් පසුතැවීමක් නොවේද? බුදුන්ගේ ඒ අනුශාසනාව කරන්න. වහා පාදොවා එකත්පසක හිඳගන්න.”

බුදුරජාණන් වහන්සේනමක් ධර්මය දේශනා කොට වදාරනුයේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්ම අවබෝධයෙන් ලබන විමුක්ති සුවය ලැබීම උදෙසායි.

“සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
ඒතං බුද්ධානුසාසනං”

සියලු පාපධර්මයන් අත්හරින්න. කුසල ධර්මයන් වඩන්න තම සිත පිරිසුදුභාවයට පත් කරගන්න. එයයි බුද්ධ අනුශාසනාව.

අනාදිමත් කාලයක් භව සංසාරයෙහි ගමන් කිරීමේදී සිත පුරුදුවී ඇත්තේ පාප ධර්මයන්හි අකුසල ධර්මයන්හි නිමග්න වීමටයි, ඒ කෙරෙහි ඇලීමටයි. පාප කර්මයන්ගෙන් මිදීමට උත්සාහ කිරීම ඉතාමත් අපහසු වූ කාර්යයකි. එම අපහසුතාව මැඩලමින් වීර්ය වඩන්නේ ප්‍රඥාවන්තයින්ම පමණි. එසේ වෙරදරන්නෝ සම්බුදු සසුනේ උපරිම ඵල ලැබ අවසන් දේහය දරන්නාවූ මහරහත් උතුමකු වන්නේ ය.

උපන් සත්ත්වයා කිසිදු විනිශ්චයකින් තොරව හොඳ නරක, යහපත් අයහපත් ක්‍රියාවන් සිදු කරති. අයහපත් ක්‍රියාවන් පසුව පසුතැවි තැවී දැවුණු ජීවිත ගතකොට මිනිස් ජීවිතය නිකරුණේ ගතකොට මානසික උමතුභාවයට පත්වෙති. යහපත් සිතුවිලි වෙනුවට සසරට හේතුවන අයහපත් සිතුවිලි දාමයන් ඔස්සේ ඇලී ගැලී වාසය කිරීමෙන් කිසිදු අරුතක් ලද නොහැකිබැව් භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයයි.

එනිසාවෙන් විශාඛා තොමෝට සිත දමනය කරගැනීම උදෙසා වීර්ය තිව්‍ර කරගැනීමට භාග්‍යවතුන් වහන්සේ බුදු කරුණාවෙන් පිහිට වූ සේක. වීර්යභාවය ඇතිකිරීමට තමන් වහන්සේ වැඩවසන අයුරින් ආලෝක ධාරාවන් නිකුත් කළේ අප තුළ පවත්නා පුණ්‍ය ශක්තිය නිසාවෙනි.

“මිප්පං පාදානි ධොවිත්වා එකමන්තේ නිසිදපාති’

දවල් පිඬුසිඟා යෑමෙන් පසුව, දවල් දානයෙන් පසුව ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට කළයුතු මනා වත් දක්වා තමා දහවල වෙසෙන තැනකට ගොස් පා සෝදා ගෙන හුදකලාව හිඳ තම සිතේ කෙලෙස් දහම් දුරුකරනු පිණිස පරමාර්ථ අරමුණු උදෙසා උත්සුක වන්නීය.

පිරිසුදු විරාගි සිතක අපූර්වත්වය දැකීමට විශාඛා තොමෝ සමත්වන්නීය. සිත පිරිසුදුභාවයට පත්ව නිකෙලෙස්ව උපක්ලේශ වහා නසා මෙලොව නිසල සිතකට උරුමකම් කියන්නීය. දුකෙහි යථා ස්වභාවය දකිමින් දුක ඇති සැටියෙන් දකී. දුක ඇතිකිරීම පිණිස හේතුවන තෘෂ්ණාව පිළිබඳව අවබෝධ කොට ප්‍රහාණය කිරීමට උත්සුක වෙති. දුක දුරු කිරීම නම් වූ විරාගය, නිවීම, මෝක්ෂය නම් වූ නිවන සාක්ෂාත් කරගනු පිණිස වැඩිය යුතු මඟ වූ අරි අටඟි මගෙහි මනාව සිත පිහිටුවා ගනී.

මෙසේ පිහිටවූ සිත විරාගි සිත කාමාශ්‍රවයන් කෙරෙන්ද මිදේ. භවාශ්‍රවයන් කෙරෙන්ද මිදේ. අවිද්‍යා ශ්‍රවයෙන් කෙරෙන්ද මිදේ. එසේ මිදුණුකල මා සිත ආශ්‍රවයන් කෙරෙන් මිදුනේ යැයි නුවණින් යුක්තව බලන්නීය. භවයෙන් නැවත නැවත ඉපදීම නැත්තේමය. මාතා බ්‍රහ්මචරියාව නිමකරන ලදී. චතුරාර්ය සත්‍යය පසක් කරගත් රහත් උතුමෝ කෙලෙස් නැසීම පිණිස තවත් කළයුතු දෙයක් නොමැති බැව් දැන බුද්ධානුශාසනාව ඉෂ්ඨභාවයට පත්කළ උතුම් රහතන් වහන්සේ නමකගේ අන්තිම දේහයට උරුමකම් කියන්නේ ය.

සම්බුද්ධ දේශනාවට අනුගත වූ විශාඛා මහරහත් තෙරණියෝ මෙලෙසින් රහත්භූමියට ස්පර්ශලාභය ලැබූ භාග්‍යවන්තියක වූවෝ ය. මේ පරක් තෙරක් නොපෙනෙන සසර ගමන ඉතා දුක්ඛිත වූවක්. බුදුපියාණන් වහන්සේගේ රූපකාය සම්පත්තිය නිරුද්ධවීගිය කළ සකල සත්ත්වයෝද අසරණභාවයට පත්වනු නොඅනුමානයි. බුදුපියාණන් වහන්සේගේ බුදුපහස රැඳුණු කාල පරිච්ඡේද උතුම් සමයක් බව නැවත නැවත මෙනෙහි කිරීමම චිත්ත සන්තුෂ්ටිය පිණිසම පවත්නේ ය. සම්බුදු සසුනින් ඵලලැබූ ඒ උතුම් විශාඛා මහරහත් තෙරණියගේ අර්හත් ගුණ පිළිබඳ මෙනෙහි කොට පතුළින් ශ්‍රද්ධාවෙහි පිහිටා සසර දුකින් මිදීම පිණිසම හේතුකාරක වන බවට සිත පහදවා ගනිමු.