පරමාර්ථ ධර්ම
අවබෝධයෙන් සිතේ සංසිඳීමක්
උදා කර ගනිමු
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
සැප යැයි සොයා යන බොහෝ දෙනා ඒ වස්තූන් නිසාම ලෙඩවී, දුක්වී, කයින් ද
මනසින් ද ගිලනුන් බවට පත්වී ලැබූ ලෞකික සම්පත් ද පරිහරණ කරන්නට බැරිව
ඒවා වෙනත් පිරිසකට අයිති වෙන්නට ඉඩ දී අකාලයේ ම මියැදෙන හැටි ඔබ
අත්දැකීම්වලින් දැක ඇත
ස්කන්ධ පංචකය පිළිබඳව අවබෝධයක් නොමැති අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා
තමන් කැමැති රූපය ආදී ස්කන්ධ පංචකය තමාගේ කර ගන්නට උත්සාහ කරයි.
වර්තමාන සමාජයේ සමහරු තමා කැමැති රූපය අයිති කරගන්නට බැරි වූ විට තමා ද
නැසී ඒ රූපයත් නසන්න උත්සාහ කළ හෝ උත්සාහ ගත් සිදුවීම් ද ඔබට සමාජය
තුළින් සුලභව දැකිය, ඇසිය හැකි තත්ත්වයකට පත්ව ඇත.
මේ අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා රූපය අනුවම දුවනවා. රූපය අනුවම පෙළෙනවා
යැයි සඳහන් කළේ එයයි. පසුගිය ලිපි මාලාවෙන් ඔබට ඉතාම පැහැදිලිව ඒ බව
පැහැදිලි කර ඇත. කැමැති විට බැඳෙනවා. ඇලෙනවා. එය වෙනස්වන විට හඬනවා.
වැළපෙනවා. ගැටෙනවා. තවත් සමහරු ඔවුන්ගේම වචනයෙන් සඳහන් කළොත් ආශාවෙන්
ළං කරගත් දේ කිම ද මේ තරම් ඉක්මනින් වෙනස්වුණේ යැයි පවසමින් මොනතරම්
දුකට පත්වෙනවාද? ඒ වෙනස්වීම දරාගන්න බැරුව දුර්ලභව ලැබූ මේ උතුම් වූ
මනුෂ්‍ය ජීවිතය මුළුමනින් ම විපතේ හෙළාගන්නා අයුරු ඔබ දැක ඇත්තේමය.
මේ ආකාරයටම මේ අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා වේදනා අනුව දුවනවා. වේදනාව
වෙනස්වන විට ඒ අනුව වෙනස්වෙනවා. එනම් ඇළෙනවා. ගැටෙනවා. දොඩනවා. හඬනවා.
විටක සතුටුවන බව පෙනෙනවා. එහෙත් ස්වල්ප මොහොතකින් ඒ සතුට නැතිවෙන්නේ අර
උපාධානය කරගත් රූප, ශබ්ද ආදී අරමුණු වෙනස්වීම නිසාය. ඒවා අනිත්‍ය,
දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත්වන විට අර පුද්ගලයාට ඉතුරුවන්නේ
ශෝකය, දුක, කඳුල, පමණක්මයි. මේ අනුව සංඥාව අනුව දුවනවා. සංඥාව අනුවම
පෙරළෙනවා. සංස්කාර අනුවම දුවනවා. සංස්කාර අනුවම පෙරළෙනවා. විඤ්ඤාණය
අනුවම දුවනවා. විඤ්ඤාණය අනුවම පෙරළෙනවා. භාග්‍යවතුන් වහන්සේ
“සංග්‍රාමජිත්” සූත්‍ර දේශනාවේ සඳහන් කළ දහම් කරුණක් මෙහි දී සිහිපත්
කරන්නට කැමැතියි. එනම්,
ආයන්තිං නාභිනන්දති
පක්කමන්ති නසෝචති
එන්නේය දැක සතුටු නොවන්නේ ද වෙයි. බැහැර යන්නේය දැක ශෝක නොකරන්නේ ද
වෙයි. ඉන් අදහස් කළේ හමුවන සෑම දෙයක් ම සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක වුවත් එය
සංඛතයකි. එනම් හට අරගෙන බිඳී වෙනස්වී යන දෙයකි. එනම් සම්මුතියෙහි සතුටු
වී යුතුකම් කළත් පරමාර්ථ වශයෙන් දැක ගත යුත්තේ, මේ සංඛතය වෙනස්වන්නේය.
දිරාගෙන යන්නේය. මේ හමුවීම ඕනම මොහොතක වෙන්වීමක් බවට පත්වෙන්නේය.
සවිඤ්ඤාණක වස්තුවක් නම් චිත්ත, කර්ම, ඍතු, ආහාරයන්ගේ, නොගැළපීම් හෝ
වෙනස්වීම් අනුව මේ රූපය හෝ පුද්ගලයාටද බලපෑම්වලට ලක්වන්නේය. එසේ
නොමැතිනම් මෙසේ නැවත සඳහන් කළ හැකියි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර
මහා ධාතූන්ටත් චිත්ත, කර්ම, ඍතු, ආහාර යන සමුට්ඨාන ධර්මයන්ටත්
යටත්වෙන්නට වෙයි. එම යටත්වීම නම් අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ
ත්‍රිලක්ෂණ ධර්මයට යටත්වීමයි.
දැන් මේ සංඛතය නම් වූ පුද්ගලයා මව විය හැකියි, පියා විය හැකියි,
ස්වාමියා විය හැකියි, බිරිඳ විය හැකියි, දුව, පුතා විය හැකියි,
සොහොයුරා හෝ සොහොයුරිය විය හැකියි. ඕනම ප්‍රියවන්ත කෙනෙක් විය හැකියි.
නමුත් අර සනාථනික ධර්මයට යටත් නිසා ඕනම මොහොතක මුදුන් මුලින් ගිලිහී
වැටෙන රුක්ෂයක් සේ බිමට කඩාගෙන වැටිය හැකියි. ඒ නිසයි සඳහන් කළේ එන්නීය
දැක සතුටු නොවන්නත්, යන්නේය දැක ශෝක නොකරන්නත් සිත පුරුදු කර ගන්නය
කියාය. පරමාර්ථ ධර්මය වැටහෙන විට හමුවීම සම්මුතිය සතුටකි. පරමාර්ථයේ
සිතේ සංසිඳීමකි. බැහැර යාමත්, සිතේ දුකක් නොවී, සංසිඳීමක් ම වන්නේය.
බුදුරජාණන් වහන්සේ මීළඟට දේශනා කරනවා. මේ අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා
අවිද්‍යාවෙන් වැසී සිටින නිසා කුමක් ද සිද්ධ වන්නේ, රූප, වේදනා, සංඥා,
සංස්කාර, විඤ්ඤාණ නම් වූ ස්කන්ධ පංචකය අනුවම දුවමින් පෙරළෙමින් සිටින
නිසා මේ ස්කන්ධ පංචකයන්ගෙන් සිත නිදහස් කරගන්නෙ නැහැ. ඇළෙනවා, හඬනවා,
ගැටෙනවා, නැවත නැවතත් එවැනි ම රූපයක වේදනාවක සංඥාවක, සංස්කාරයක,
විඤ්ඤාණයක ඇළෙනවා, ගැටෙනවා, හඬනවා, නැවත නැවතත් රූප ආදී ස්කන්ධ පංචකයේ
ම ඇලීමෙන්, ගැටීමෙන්, ශෝකවෙමින් පැවතෙනවා. මේ නිසා ඔහු රාග, ද්වේෂ, මෝහ
ආදී තෘෂ්ණාවෙන් බැඳී කර්ම රැස්කරනවා. ඒ කර්ම රැස්කිරීම නිසා ඔහුට
රූපයන්ගෙන් මිදීමක් නැහැ. වේදනාවෙන්, සංඥාවෙන්, සංස්කාරයෙන්,
විඤ්ඤාණයෙන් මිදීමක් නැහැ. එනම් හැ¼ඩීමෙන් වැළපීමෙන්, ශෝකයෙන්,
පරිදේවයෙන්, දුක්ඛයෙන්, දෝමනස්සයෙන් කෙටියෙන් සඳහන් කළොත් සියලු දුකින්
නම් නිදහස්වීමක් නැහැ. රසය, වේදනාව, ආදී ස්කන්ධ පංචකය මගේ කරගෙන මමායනය
කරගෙන ආත්ම සංඥාවෙන් සක්ඛාය දිට්ඨියෙන් ගන්නා තෙක් සිතෙහි බැඳ
තබාගන්නාතෙක් දුක ද පෝෂණය කරන බව, දුක ද අල්ලාගෙන සිටින බව, දුක ද
උරුමකොටගෙන සිටින බව අපි වටහාගත යුතුයි. මේ පවසන විට යම් කෙනෙකුට මෙසේ
සිතෙන්න පුළුවනි. හැබෑවටම අපි ලබන මේ සියල්ලම දුකක් ද කියාය.
භාග්‍යවතුන් වහන්සේ දුක පෙන්වන්නෙ දුකට පත්වීමට නොව දුක සම්මුතියෙහි
සැපතක් බවට පත්කරගෙන එහෙත් ඒ සම්මුති සත්‍යය නියම ආකාරයෙන් සැපතක් බවට
පත්කරගැනීමටයි. වෙනස්වන වස්තුවක වෙනස්වන ස්වභාවය දැනගෙන පරිහරණය කළොත්
ඔබට එය දුකක් බවට පත්නොකරගෙන මානසික සුවයක් හෙවත් චිත්තපස්සද්දියත්,
කායපස්සද්දියත්, ලබන්න පුළුවනි. එය සුවයකි.
මේ ලෝකයේ බොහෝ දෙනා සැප සැප කියා සුවය කියා මිල, මුදල්, ධන, ධාන්‍යය,
ගේදොර, ඇඳුම්, පැළඳුම් ප්‍රණීත ආහාර, ආභරණ ආදී වශයෙන් මේවා සොයාගෙන
ගොස් ඒවා නිසා දුක්ඛ, දෝමනස්ස, උපායාස අපමණ වූ පීඩාවන්ට පත්වන විට මේවා
කිසිවක් නැතිව සංසිදුණු මනසකින් මට සිටින්නට, ජීවත්වන්නට තිබෙනවා නම්
කොපමණ හොඳ දැයි පවසන බව ඔබ අසා ඇද්ද? යම් විටක ඔබේ ම ජීවිතයේ අත්දැකීම්
මේවා විය හැකියි. බොහෝ කෙනෙක් සැප සැප කියා ලෞකික වස්තු පිටුපස හඹාගෙන
ගොස් ඒවා තරමකින් හෝ ලැබුවාට පසුව මේ සැපයැයි මා සොයාගෙන හඹාගෙන පැමිණ
ඇත්තේ මහා ගිනිගොඩක් නොවේදැයි, ඔවුන්ම දුකට පත්වෙනවා ඇතිය. ලැබූ දේවල්
රැකගන්නට කරන උත්සාහය ඒවා වෙනස්වන විට ඇතිවන ශෝකය, වෙනකෙනෙකුට
අයිතිවෙයි කියන හැඟීම නිසා ඇතිවන දුක, සැකය වෙන කෙනෙකුට අයිති වෙනකොට
හෝ පැහැරගන්නා විට ඇතිවන තරහව, වෛරය, ඊර්ෂ්‍යාව මේවායේ කෙළවරක් නැතිය.
මේ සියල්ලම දුකක්ය. සැප යැයි කියන මේ ලෞකික සියල්ලම විදර්ශනා නුවණින්
නොදැක පරිහරණය කරන්නට යෑමෙන් සිද්ධ වෙන්නෙ පළඟැටියා ගිහි සිළුවට
පැමිණීමෙන් ඇතිවන විපතක් බඳු හා සමාන විපත්කමය. සැප යැයි සොයා යන බොහෝ
දෙනා ඒ වස්තූන් නිසාම ලෙඩවී, දුක්වී, කයින් ද මනසින් ද ගිලනුන් බවට
පත්වී ලැබූ ලෞකික සම්පත් ද පරිහරණ කරන්නට බැරිව ඒවා වෙනත් පිරිසකට
අයිති වෙන්නට ඉඩ දී අකාලයේ ම මියැදෙන හැටි ඔබ අත්දැකීම්වලින් දැක ඇත,
අසා ඇත.
දීපා පෙරේරා
|