Print this Article


බෞද්ධ ආරාම පරිපාලනය හා කළමනාකරණය තුළින් හෙළිවන කළමනාකරණ සංකල්පය

බෞද්ධ ආරාම පරිපාලනය හා කළමනාකරණය තුළින් හෙළිවන කළමනාකරණ සංකල්පය

බෞද්ධ හෝ අබෞද්ධ වේවා ඕනෑම සමාජයක් දියුණුවීම විෂයෙහි මනා පරිපාලනයක් හා කළමනාකරණයක් අවශ්‍යය. එය කාල කළමනාකරණය, සම්පත් කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, භෞතික සම්පත් කළමනාකරණය ආදී වශයෙන් විවිධ විය හැකිය. මේ සියල්ලෙහිම මනා ක්‍රියාකාරිත්වය රටක්,ආයතනයක්, සංස්ථාවක් දියුණුවීම විෂයෙහි ඉතා වැදගත්ය.

බෞද්ධ ආරාම පරිපාලනය හා කළමනාකරණය කොතෙක්දුරට කළමනාකරණ මූලධර්ම සමඟ සැසඳෙන්නේද? යන්න සාකච්ඡා කිරීම අතිශයින් වැදගත්ය. ප්‍රථම රහත්හැට නම අමතා පරාර්ථ චර්යාවෙහි හැසිරෙන ලෙස බුදුරදුන් උපදෙස් ලබා දුන්හ. ඉන්පසුව මහජන මතයට කන්දීමක් ලෙසත් අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණයක් ලෙස කල්පනා කරමිනුත් වස් තුන්මාසය යම් තාවකාලික ආරාමයක වස් හාර මාසය විසීම සඳහා අනුදැන වදාළහ. කල්යත්ම සඟ පිරිස ප්‍රමාණයෙන් වැඩිවීමත් රුක්මුල් වනසෙනසුන් ප්‍රමාණවත් නොවීමත් තවත් කාරණාවන් කිහිපයක් නිසා ආරාම පිළිගනිමින් විසීම සඳහා භික්ෂූන්ට අවස්ථාව සලසා දුන්හ. චුල්ලවග්ගපාලියට අනුව රජගහනුවර සිටුවරයා පිදුරු කුටි වෙනුවට ස්ථිර කුටි හැටක් ඉදිකරවා භික්ෂූන් විෂයෙහි පූජා කළහ. එතැන් සිට භික්ෂූන් ක්‍රමිකව ආරාම භාවිතා කිරීමට පෙලඹි බව ශාසන ඉතිහාසය දක්වනු ලබයි.

සසුන තුළ කාලයත් සමඟම ආරාමික ජීවිතය හා බැඳී පරිපාලන අවශ්‍යතා මතුවිය. මෙය සසුනට පමණක් නොව ඕනෑම සංස්ථාවකට පොදුවූ තත්ත්වයකි. නීතිරීති අදාළ පැනවීම් මෙන්ම සාමූහික පැවැත්ම වඩාත් තහවුරුවන ලෙස සඟ සතු පරිභෝජන ක්‍රමයක් භික්ෂූන් උදෙසා ඇතිකළහ. මෙය පොදු දේපළ ක්‍රමයකි.මේ තුළ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නා අතර නාස්තිය අඩුවේ. ඒ තුළින් අනාගත භික්ෂුවට වුවද ප්‍රත්‍ය පහසුකම් අඩු කාල සීමාවන්වල දී අවහිරයක් ඇති නොවේ. සෑම ආරාමයක්ම ඉහත පොදු නියමයට අනුව පෞද්ගලිකව පරිහරණය කිරීමට අවස්ථාව සලසා නොදුන් අතර සතර දිගින් වඩින සංඝරත්නයේ ප්‍රයෝජනය සඳහා අනුමත කළහ.

කලමනාකරණ ක්‍රියාවලියට මෙන්ම පරිපාලනය සඳහා පිරිසක් හෙවත් වගකීම් දැරීමට සුදුසු කණ්ඩායමක් අවශ්‍යය. තනතුරක් යනු වගකීමකි. එය මනාව ඉටුකිරීමට නම් ඒ සම්බන්ධව මනා පරිචයක් ඇති අය තෝරාපත් කර ගත යුතුය. බුදු දහම තුළ ආරාම පරිපාලනයේ සුවිශේෂි තත්වය වන්නේ වගකීම් ඉටුකළ හැකි ඒ සඳහා සම්මුතියෙන් පිරිස අතරින් කෙනෙකු තෝරා පත්කර ගැනීමයි. ඒ අනුව, එවැනි තනතුරු රාශියක් චුල්ලවග්ග පාලියෙන් හෙළිවෙයි. එය මෙසේ පෙළගැස්විය හැක.

1.සේනාසන ගහාපක – භික්ෂූන් උදෙසා සෙනසුන් පනවන භික්ෂුව
2.භතතුද්දේසක – භික්ෂූන් උදෙසා දානය පමුණුවන භික්ෂුව
3.සේනාසන පඤ්ඤාපක – සෙනසුන් පනවන භික්ෂුව
4.භාණ්ඩාගරික – අතිරේක භාණ්ඩ භාරකාර භික්ෂුව
5. චීවර පටිග්ගාහක – අතිරේක චීවර පිළිගන්නා භික්ෂුව
6.චීවර භාජක – සිවුරු බෙදන භික්ෂුව

7.ආරාම පේසක – ඒ ඒ භික්ෂූන් ආරාමික කටයුතු සඳහා යොදවන භික්ෂුව. මෙම සියලු පත්කිරීම් සිදුකරනු ලබන්නේ සංඝ සම්මතයෙන් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදීවය. මෙම තනතුරුවලට පත්වෙන භික්ෂුව සතර අගතියෙන් යුක්ත (ඡන්ද, ද්වේෂ, භය, මෝහ) නොවිය යුතුය.ඕනෑම සංස්ථාවක වගකීම් දරන්නා අගතිගාමී නම් ක්‍රියාවන් නිවැරදිව සිදුකළ නොහැකිය.පෞද්ගලික කැමැත්ත පොදු යහපතට බාධාවක් නම් එම කැමැත්ත කැපකිරීමට හැකියාව තිබිය යුතුය. මෙහි මෝහය යනු කරුණු හරි හැටි නොදන්නා කමයි. එය තනතුරු දරන්නෙකුට සුදුසු නොවේ.මේ සියලුම කාරණා සැලකිල්ලට ගනිමින් ආරාම පරිපාලනය සකසා ඇත.

බෞද්ධ ආරාම පරිපාලනය හා කළමනාකරණයේදී හෙළිවන තවත් සුවිශේෂී තත්වයක් ලෙස ශාසනික වත් පිළිවෙත් විෂයෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. වත්තක්ඛන්ධකයෙහි එය අවධාරණය කර ඇත. විහාර මළුව ඇමදීමේ සිට වැසිකිළි කැසිකිළි පිරිසුදු කර ගැනීම දක්වා සියල්ල සාමූහිකව සිදුකිරීම මෙහිදී අවධාරණය වී ඇත. ඒ තුළ ශාරීරික ව්‍යායාම මෙන්ම නිරෝගිකම ආරක්ෂාවීම තවත් අපේක්ෂාවකි. තමා විසින් ඉටුකළයුතු දෑ අනවශ්‍ය පිරිවැයක් යොදමින් ඉටුකර ගැනීමට යාම කොහෙත්ම දියුණු සමාජයක ලක්ෂණයක් නොවේ. මීට වසර 2600 කට පෙර ඇරඹි ශාසනික වත් පිළිවෙත් තුළින් ගම්‍යමාන වන්නේ එම තත්ත්යයි.

තමන් වෙසෙන පරිසරය පිරිසුදුව තබා ගැනීම දියුණු පරිපාලන මිනුම් දණ්ඩකි. භික්ෂු සමාජයෙහි යමෙක් එසේ තම ප්‍රදේශය පිරිසුදු නොකරන්නේ නම් එම භික්ෂුවට ඇවැත් සිදුවේ. වත්තක්ඛන්ධකයට අනුව ඇඳ පුටු තබන විට පිටතට ගන්නා විට එකිනෙකට නොගැටෙන ලෙස තැබිය යුතුය. එපමණක් නොව යමෙක් වත් පිළිවෙත් නොපුරන්නේද ඔහුගේ ශීලය පරිපූර්ණ නොවේ.

මනා ආරාම කළමනාකරණය පිළිබඳ තොරතුරු රාශියක් සූත්‍ර පිටකයේ නොයෙක් සූත්‍ර තුළ දක්නට ලැබේ. ම.නි. දක්ඛිණා විභංග සූත්‍රය එයට කදිම නිදසුනකි. ගෝසිංහ සාලවනයේ වැඩ සිටි අනුරුද්ධ නන්දිය හිමිවරුන් බුදුරදුන්ට කළ ප්‍රකාශයෙන් එය පැහැදිලි වේ.

“ස්වාමීනි අප අතරින් යමෙක් පළමු කොට පිඩු පිණිස ගමට වැද පෙරලා එත්ද උන්වහන්සේ අසුන පනවයි. බීමට පැන් හා පරිභෝජනයට දිය තබයි. ඉතිරි ඉඳුල් දමන බඳුන තබයි. යමෙක් පසුව පැමිණේද උන්වහන්සේ දන් වළඳා ඉතිරි දේ නිල්තණ නැති තැන දමයි. නැතිනම් ප්‍රාණීන් නැති දියට දමයි. ඉඳුල් දමන බඳුන තැන්පත් කර තබයි. දන්හල් අමදියි. අපි මේ කටයුතු පිළිබඳ විවාද නොකරමු.”

මේ තුළින් පැහැදිළි වන්නේ ආරාම කටයුතු ඉතා ක්‍රමවත්ව සිදුවූ බවයි. එකිනෙකා සිදුකරතියි බලා නොසිට කළ යුතු දේ ඒ ඒ අය විසින් සිදුකර ඇති බව පැහැදිළිය. එසේම මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ තම ක්‍රියාකාරකම් පහසුවේය යැයි සිතා ස්වභාව දහමට හානි නොකරමින් කටයුතු කිරීමයි. නිල්තණ මත ඉඳුල් ආහාර නොදැමීම ඊට කදිම වූ නිදසුනකි. එසේම සඟසතු දේපළ පෞද්ගලික පරිහරණයට ගැනීම ආපත්තියක් බව බුදුරදුන් අනුදැන වදාළහ. කිසිඳු පොදු දේපළක් මොනම හේතුවක් නිසාවත් පෞද්ගලික පරිහරණයට නතු වීමට කිසිවිටකත් ඉඩ නොතැබූහ.

බෞද්ධ ආරාම පරිපාලනය හා කළමනාකරණය පිළිබඳ අනුරාධපුර මහා විහාරය, අභයගිරිය ,ජේතවන ආදී විහාරයන්හි ක්‍රියාකාරිත්වය තුළින් පැහැදිළි වේ. භික්ෂුන් දහස් ගණන් වැඩසිටි මේ ස්ථාන තුළ බොහෝ සන්සුන්ව එහි ක්‍රියාකාරිත්වය පැවතුණි. පුද්ගල භේද හෝ වැඩකටයුතු අතපසු වීම් බොහෝ අවම මට්ටමින් පැවතුනි. එසේම භික්ෂූන්ගේ ප්‍රමාණය ඉහළ යාම නිසා පරිසරයට ස්වභාවික සම්පත්වලට කිසිදු බාධාවක් වූයේ යැයි ඉතිහාසගත තොරතුරු නැත. පුරා විද්‍යා සංඛ්‍යා ලේඛනයන්ට අනුව මිහින්තලා විහාරස්ථානයෙහි භික්ෂූන් වහන්සේ දෙදහසක් වැඩ සිටි සමයේ මල් නෙළන තැනැත්තාට පවා නිසි දිනට වැටුප් ගෙවා ඇත. ආරාමයේ විනය හා සමගිය පවත්වා ගෙන යාම වැදගත්ම කටයුත්ත ලෙස ආරාම පරිපාලනයේදී සැලකිල්ලට ලක් කළහ.

මේ සියලු කාරණාවන්ගෙන් පැහැදිළි වන්නේ ආරාම පරිපාලනය හා කළමනාකරණය කෙතරම්ම ක්‍රමවත්ව පැවතුනාද යන්නයි. මෙම පරිපාලන යාන්ත්‍රණය ඕනෑම සමාජයකට ගලපාගත හැකිය. ඒ තුළ ඒ ඒ ක්ෂේත්‍ර තුළ මනා කළමනාකාරිත්වයක් ඇති කර ගනිමින් දියුණුව සලසා ගැනීම අපහසු නොවේ. භෞතික සම්පත් ස්වභාවික සම්පත්, මෙන්ම මානව සම්පත්ද එසේ මනා කළමනාකාරිත්වයකට නතු කරන්නේ නම් ඕනෑම ක්ෂේත්‍රයක අග්‍රඵල නෙළා ගැනීමට ඊට වඩා වෙනත් සුදුසුකමක් නැත.

“බුදු දහම කියාදෙන පරිසර සංරක්ෂණය හා අරපිරිමැස්ම” ලිපි මාලාවෙහි තෙවන ලිපිය මෙසේ පළවේ.