UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

කිරිඇල්ලේ සරණංකර නා හිමි

රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක ව වැඩ විසූ කොළඹ 07 බුලර්ස් පටුමග ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේ නිර්මාතෘ ,ධර්මකීර්ති ධර්මාරාමාභිධාන කිරිඇල්ලේ සරණංකර ස්වාමින්වහන්සේගේ පස් වැනි ගුණානුස්මරණය සැමරේ. උන්වහන්සේ ඉංගිරිය දීපාලෝක විහාරස්ථානය ඇතුළු තදානුබද්ධ විහාරස්ථාන රැසකද අධිපතිත්වය දැරූහ. ශාසනයට සහ දැයට සුවිශාල සේවාවක් ඉටු කළ කිරිඇල්ලේ සරණංකර හිමියන් අවුරුදු 92 ක් ආයු වළදා මීට වසර 5 කට ඉහත දී අපවත් වී වදාළහ. උන්වහන්සේ රටටත්, දැයටත්, සමයටත් සුවිශාල සේවාවක් ඉටු කළ කිරිඇල්ලේ සරණංකර හිමියන් අවුරුදු 92 ක් ආයු වළදා මීට වසර 5 කට ඉහත දී අපවත් වී වදාළහ. උන්වහන්සේ රටටත්, දැයටත්, සමයටත් සුවිශාල සේවාවක් ඉටු කළ සංඝ පීතෘවරයෙකි.

කඨින මහා පින්කම සහ කිරිඇල්ලේ සරණංකර නාහිමියන්ගේ ගුණානුස්මරණය වෙනුවෙන් 2015 නොවැම්බර් මස 16 වැනි දින සිට 22 වැනි දින දක්වා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ ඉත්තෑපාන ධම්මාලංකාරාභිධාන මහා හිමියන් ඇතුළු සම්භාවනීය යතිවරයන් වහන්සේලා සහ බණ්ඩාරවෙල අමිතානන්ද, මාවරලේ භද්දිය, ගලිගමුවේ ඤාණදීප ආදි ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ගුණානුස්මරණ ධර්ම දේශනා පින්කම් මාලාවක් කොළඹ 07 බුලර්ස් පටුමග ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේදී පැවැත්වේ.

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ග්‍රාමයේ තනිප්පුලි ආරච්චිගේ මොහොට්ටිහාමි උපාසක මහතාට දාව රණසිංහ මුදියන්සේලාගේ මැණික්හාමි මෑණියන්ගේ කුසින් තනිප්පුලි ආරච්චිගේ ජයවර්ධන කුමරුවා ලෙස 1919 වසරේ ජූලි මස 28 වැනි දින ජන්ම ලාබය ලැබූ සරණංකර නාහිමියන් දරුවන් 07 දෙනෙකුගෙන් යුත් පවුලේ හයවැනි පිරිමි දරුවාය.

ජයවර්ධන කුමරුවා ඉඩංගොඩ බෝධිරුක්ඛාරමයේදී වගවත්තේ ශ්‍රී සුමනජෝති නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1933 වසරේදී පැවිදි බිමට එක්විය. 1940 වසරේ ජුනි මස 05 වැනි දින කෝට්ටේ රජමහා විහාරයේ මංගල උපෝසථාගාරයේදී උපසම්පදාව ලැබූ උන්වහන්සේ එම වසරේදී ම වැඩිදුර අධ්‍යාපනය ලබනු පිණිස මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූහ.

කොළඹ අවටින් නැවතී සිටීම සඳහා පහසුකම් ඇති ස්ථානයක් සොයා ගැනීමට අපහසු වූ බැවින් උන්වහන්සේ තමන් විසින් සුදුසු තැනක් නිර්මාණය කර ගැනීමට කටයුතු කළහ. කොළඹ 07 බුලර්ස් පටුමගේ ජිනේන්ද්‍රරාමය බිහි වන්නේ එහි ප්‍රතිපලයක් ලෙසිනි.

ප්‍රදේශයේ දරුවන්ගේ දහම් දැනුම සහ සදාචාර සංවර්ධනය වෙනුවෙන් කිරිඇල්ලේ සරණංකර නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ජිනේන්ද්‍ර දහම් පාසල ආරම්භ කරන ලද්දේ 1947 දීය. 1965 දී විහාර මන්දිරය ද 1969 දී බෝධි රෝපණය ද 1983 ස්ථූපය ද නිර්මාණය කෙරිණ.

කොළඹ 07 ප්‍රදේශයේ පැවැතියද ග්‍රාමීය පන්සලක ස්වරූපයෙන් එය පවත්වා ගෙන යෑමට නාහිමියන්ට සෑම විටම අවශ්‍ය වූ බව ඹබරගම සෝමරතන හිමියෝ පවසති. දොළොස් මහ දේවාල මෙන්ම තොලුවිල ඉපැරැණි ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් මෙම විහාරස්ථානයේ නිමවා තිබීම විශේෂ ලක්ෂණයකි. නායක ස්වාමීන් වහන්සේ සැබැවින් ම චාම් ජීවිතයක් ගත කළ අතරැ කිසිදු සුඛ විහරණයක් අපේක්ෂා නොකළ බවද වත්මන් විහාරාධිකාරි ස්වාමින්වහන්සේ සඳහන් කරති.

කිරිඇල්ලේ සරණංකර හිමියන්ගේ මඟ යමින් මෙම විහාරස්ථානය මඟින් වර්තමානයේදීද දෑ හිත කාමී සමාජ සත්කාර වැඩසටහන් ගණනාවක් කියාත්මක වන අතර ස්වර්ණාලෝක සමාජ සත්කාර පදනම මඟින් දුෂ්කර පළාත්වල දරුවන්ට අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යෑම සඳහා ආධාර සැපයීම, උපදේශනය , සනීපාරක්ෂක පහසුකම් සපයා දීම ඇතුළු වැඩසටහන් ගණනාවක් සිදු කෙරෙයි. කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ටද මේ යටතේ සෙත සැලසේ.

වසර 92 ආයු වැළඳූ සරණංකර නායක හිමියෝ සිය ජීවිත කාලයෙන් 78 වසරක පැවිදි දිවියක් ගෙවමින් ශාසනයටත්, රටටත් දැයටත් ඉමහත් සේවාවක් ඉටු කළහ. උන්වහන්සේ 2010 වසරේ ඔක්තෝබර් මස 11 වැනි දින දී අපවත් වී වදාළහ.


කණුමුල්දෙණියේ ධර්මාශෝක නාහිමි

ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරවද විවිධ සබඳතා ඇතිව මනා ශාසනික සේවාවක නිරත වූ දෙහිවල නව පොළොන්නරු ගල්විහාරයෙහි නිර්මාතෘවර විහාරාධිපති දර්ශනපති කණුමුල්දෙණියේ ධර්මාශෝක නාහිමියන්ගේ අපවත්වීමෙන් වසර 3ක් ගෙවී ගොස් ඇත. උන්වහන්සේගෙන් සිදුවූ උදාර ශාසනික හා අධ්‍යාපනික සේවාවන් සිහිපත් කරන අද දවසෙහි අපිදු කෘතවේදීභාවයෙන් යුතුව එම ගුණානුස්මරණයට එක්වන්නෙමු.

ගිරුවාගම් දොළොස් දහස් රටට අයත් කණුමුල්දෙණිය ග්‍රාමවරයෙහි 1950 උපත ලබන ලද නා හිමියන්වහන්සේ ගිරුවාපත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය හොබවන ලද කඹුරුපිටියේ බෝධිගුත්ත හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි ජීවිතයට එළඹෙන ලද්දේ ද 1960 මැද භාගයේදීය. මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරය නා හිමියන්වහන්සේගේ ප්‍රවෘජ්‍යා ධර්මාශෝක සාමණේරයන් වහන්සේ පරිවේණික ප්‍රාථමික ද්විතීයික සහ උසස් අධ්‍යාපනය ලබන ලද්දේ ද මහාමන්තින්ද පරිවේණස්ථානයෙන්මය.

තම ගුරුදේවයන් වහන්සේගේ ඇසුරේම රැඳෙමින් කුඩා කාලයේ සිටම පෙරදිග අපරදිග භාෂා පිළිබඳ නිපුණතාවයකින් ද යුතුව පිරිවෙනේ අධ්‍යාපනය නිම කිරීමෙහි නිරතව සිටි මුන්වහන්සේ 1973 වර්ෂයෙහි කඹුරුපිටියේ බෝධිගුත්ත නාහිමියන්ගේ සහ දෙහිවල නැදිමාල ශ්‍රී දුමින්දාරාමාධිපතිව වැඩ විසූ සංයුක්තභාණක මාරාගොඩ සද්ධානන්ද නාහිමියන්ගේද ශිෂ්‍යවරයන් වහන්සේ නමක ලෙස මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේදී උපසපන් සීලයෙහි පිහිටන ලදහ. අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පන්ති සාමාථර්ථයක් සහිතව ත්‍රිපිටකවේදී උපාධිය ද කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද ලබා ගැනීමට සමත් වූහ. එම විශ්වවිද්‍යාලයට අනුබද්ධිත පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය මඟින් දර්ශනපති උපාධියද හිමිකර ගැනීමට සමත් වූ ධර්මාශෝක හිමියන් කොළඹ ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය මඟින් ඉංගී‍්‍රසි ඩිප්ලෝමා සහතිකය ද සමත් වූ අතර රත්මලාන පරමධම්ම ජාත්‍යන්තර ධර්මදූත භික්ෂු පුහුණු ආයතනයෙන් පූර්ණකාලීන පුහුණුවද ලබන ලදහ.ප්‍රථමයෙන් පරිවේණාචාර්යවරයන් වහන්සේ නමක ලෙස කොළඹ දෙමටගොඩ ධර්ම දූත විද්‍යාලය මඟින් ආරම්භකරන ලද තම අධයාපනික සේවාව කැලණිය විශ්වවිද්‍යාලයෙහි පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයෙහි කථිකාචාර්යවරයන් වහන්සේ නමක ලෙස පත්ව සේවය කිරීමට තරම් වාසනාවන්ත වූහ. පිරිවෙනේ අධයාපනයට මෙන්ම විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයටද උන්වහන්සේගෙන් සිදු වූ සේවාව විශේෂයෙන් අගය කළ යුතු අතර අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයෙහි ආචාර්යවරයන් වහන්සේ නමක ලෙසද එහි විනය පාලක ධුරයද දරමින් සිට ගුරු සේවාවෙන් සමුගැනීමද සිදු කරන ලදහ. මෙම සියලු සේවාවන් හි නිරත වුවද කණුමුල්දෙණියේ ධර්මාශෝක හිමියන් වඩාත් රුචිරත්වයක් දක්වන ලද්දේ විදේශ ධර්මදූත සේවාව සඳහා බවද සඳහන් කළ යුතුව අද ඒ අනුව යුරෝපය හා අපි‍්‍රකානු රටවල මෙන්ම අග්නිදිග ආසියානු රටවලද ධර්මදූත චාරිකාවන් හි නිරත වූ මුන්වහන්සේ ප්‍රකට ධර්මදූතයන් වහන්සේ නමක ලෙසද අගය කිරීමට ලක්කළ හැකිය.

මුන්වහන්සේගෙන් සිදුවූ ශාසනික සේවාව පිළිබඳ සළකා බලන විට එදා සිරිදුමින්දාරාමය නම් වූ මෙම කුඩා විහාරය ඇත. ‘නව පොළොන්නරු ගල් විහාරය’ යන නමින් සිදුකර කණුමුල්දෙණීයේ ධර්මාශෝක හිමියන් පොළොන්නරු ගල්විහාරයෙහි අනුරුවක් අගනුවර ආසන්නයේ ඉදිකරවීම බොහෝ ජනතාවගේ පහන් සංවේගය සඳහා හේතු විය. ඊට අමතරව විහාරස්ථානයක තිබිය යුතු සියලු විහාරාංග සම්පූර්ණ කිරීමට මුන්වහන්සේ මහත් කැපවීමෙන් ක්‍රියා කළ අතර ඒවා මැනවින් සංරක්ෂණය කර පවත්වාගෙන යාමද අගය කළ යුතු ය. දූ දරුවන් සඳහා ශ්‍රී සද්ධානන්ද දහම් පාසලද පවත්වා ගෙන ගියහ. එපමණක් නොව ප්‍රදේශයේ විවිධ සමිති සමාගම්වල ද නිලතල දරන ලද නා හිමියන්වහන්සේ ලෝක බෞද්ධ සංඝ සම්මේලනය, තායි ලංකා මිත්‍රත්ව සංගමය, ඉන්දීය මහාබෝධි සමාගම ආදී විදේශීය බෞද්ධ ආගමික සංවිධානවලට ද සම්බන්ධව ක්‍රියාකරන ලදහ.

මෙම සියලු සේවාව අභිභවා යමින් මෙම විහාරස්ථානය ආරක්ෂා කර ගනිමින් තම ශාසනික හා ධර්මදූත සේවාව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා දැන උගත් ශිෂ්‍ය පිරිසක් ඇති කිරීම ද අපේ ධර්මාශෝක හිමියන් විසින් මැනවින් සිදුකර ඇත.

මෙසේ ශාසනික වශයෙන් මෙන්ම අධ්‍යාපනික සහ සමාජයීය වශයෙන් ද විශාල සේවාවක් සිදු කොට ඇති කණුමුල්දෙණියේ ධර්මාශෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා අතර ද ගිහි ජනතාව අතර ද ඉතා පි‍්‍රයශීලී භික්ෂුවක වූවා මතු නොව බෙල්ලන්විල රාජමහා විහාරය වැනි ප්‍රදේශයේ සම්භාවනීය විහාරස්ථාන සමඟ ඉතා සමීප ඇසුරක් ඇතිව ක්‍රියා කළ ආකාරය ද සිහිපත් කළ යුතු ය. සාර්ථක භික්ෂු ජීවිතයක් ගත කරමින් සිට මීට තෙවසරකට පෙර අපවත්වී වදාළ කණුමුල්දෙණියේ ධර්මාශෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගුණ සමරා නොවැම්බර් 21 හා 22 පින්කම් රාශියක් සිදු කිරීමට කටයුතු යොදා ඇත.


ඇහැලකන්දේ සුමන හිමි

මාවරල මල්ලිකාරාම විහාරාධිපති ඇහැලකන්දේ සුමන හිමියන්ගේ 53 වන ජන්ම දිනය ඉකුත් මස 27 වනදාට යෙදී තිබිණි. උන්වහන්සේ පැවිදි බිමට පත්ව 40 වසරක් සපිරේ.

 

    ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් මස 19 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 00.39 ට ලබයි. 19 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 11.09 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.

මී ළඟ පෝය නොවැම්බර් 25 වැනි දා බ්‍රහස්පතින්දා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]