UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 07 සසර අපා දුක් නොවිඳින් කිසිදා

 ‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 07

සසර අපා දුක් නොවිඳින් කිසිදා

වප් අව අටවක පෝදා සාකච්ඡාවට බඳුන් වූයේ විවිධ අපායන්හි ස්වභාවයන් විමසා බැලීමටය. අදත් අප අපායන් කිහිපයක තොරතුරු විමසා බලමු.

ගිජඣ කාක නරකය

මෙය වනාහි ගිජුලිහිණින් හා කවුඩන් ලවා කවා වදදෙන නිරයකි. එහි දිග පළල ආදිය පෙරමෙනි. ලොහො තුඩු ඇති මහා ගැල් පමණ ශරීර ඇති ගිජුලිහිණීහු ද එසේම ගවු දිග ගිනි සිළුමෙන් දිළිසෙන තුඩු හා පියාපත් ඇති යොදුන් පමණ මහත උකුස්සෝ ද, නිරිසතුන්ගේ සම් මස් නහර කඩා හඬව හඬවා වධ දෙති. ආහාර පාන ආදී කිසිවක් කිසිවෙකුට නොදෙන ලද තද මසුරෝ ද, සිල්වතුන්ට දෙන දන් වැළැක්වූවෝ ද, අන් සතු ඉඩම් බලහත්කාරයෙන් හෝ ප්‍රයෝගයෙන් පැහැර ගෙන කෑවෝ ද, මේ නරකයේ ඉපිද කෝටි සංඛ්‍යාත අවුරුදු පෙළෙති.

සත්තිසුල නරකය

මෙහි ද දිග පළල ආදිය පෙර මෙනි. මෙහි උපදින නිරිසතුන්ගේ උස තුන් ගව්වකි. යම පල්ලෝ ගිනිගෙන ඇවිලෙන ආයුධ ගෙන ඔවුන්ට අනිති. කොටති. ගිනිගෙන ඇවිලෙන අයෝමය පර්වතයට නැගී ඒ නිරිසත්තු වාත වේගයෙන් පෙරළී අයෝමය පතුලට හිස යටිකුරුව පා උඩුකුරුව වැටෙත්. එහි ගිනිගෙන ඇවිලෙන යවුල්වල ඇමිණී වද විඳිත්. සිල්වතුන් හා ඌරන් මුවන් විඳ මැරුවෝ මෙම නරකයේ උපදිත්. තවද එක්තරා තාපස කෙනෙකු විද මැරූ රජෙක් මෙහි ඉපද දුක් විඳී. මෙහි ආයු කල්ප ගණනකි.

චග්ග සිර නරකය

දිග පළල ආදිය පෙරමෙනි. මෙහි යමපල්ලෝ නිරිසතුන් ගිනිගෙන දිළිසෙන තියුණු මුවහත් ඇති කඩුවලින් කපත්, තව ද පෙර මාතංග නම් සෘද්ධිමත් තාපසයෙකු හිස සිඳ පාපයෙන් මෙධ්‍ය නම් රජතෙම නුවර වැස්සන් සමඟ මෙහි ඉපිද දුක් විඳියි.

සිනි කරච්ඡ නරකය

හෙවත් තිරකය නම් නරකය, දිග පළල ආදිය පෙර මෙනි. මේ නරකය ව්‍යාඝ්‍රයන්ගෙන් හා වලසුන්ගෙන් ගැවසී ගන්නා ලද්දකි. ඔවුන්ගේ ඇස් රථ රෝද මෙනි. දළ ගවු පමණ දිගය. වල්ගා නාඹු තල් කඳන් හා සමානය. මෙබඳු ස්වරූප ව්‍යාඝ්‍රයන් ගෙන් පිරුණ මෙම නරකයේ පැසෙන නිරිසතුන් වටකරගෙන ඔවුහු මස් කඩ කඩා කති. ලුහුබැඳ එලවා ගොස් පැන පැන ඇස්, කන්, මස්, නහර උදුරා කමින් වදදෙති. මෙහි උපදින්නෝ නම් දාගැබ් විහාරාරාම ආදිය කරවම්හයි සම්මාදම් කොට ස්වකීය කටයුතු කරගනිමින් ඒවා පැහැර හැරියෝ ද එසේ සම්මාදම් කොට එයින් කොටසක් පැහැර ගත්තෝ ද යන මොවුහුයි.

සීත නරකය

මෙහි දිග පළල යොදුන් තුන් සියය බැගිනි. යපවුර හා යපියන නව යොදුන්ය. මේ නරකය කසාවත් බලවත් සීත ජලයෙන් පිරුනේ ය. මෙහි පවත්නා සීතලේ අධිකතාවය කෙබඳු ද යත්, නව යොදුන් යකබල සිදුරු කරගෙන මුදුණෙන් පිටවෙමින් යොදුන් සාර සියක් උඩ නගී. ඊර්ෂ්‍යා ක්‍රෝධ හේතුකොට ගෙන අනුන්ගේ යස ඉසුරු නැසුවෝ ද මහණ බමුණන්ට දීගෙන ආ දන් වැටුප් බිඳ දැමූ අශ්‍රධාවන්තයෝ ද මෙහි ඉපිද පැසෙත්.

අඟුරු මැල නරකය

මෙහි දිග පළල පනන් පනස් යොදුන, යපවුර හා යකබල නව නව යොදුන, මෙය ගිනි ගෙන බුර බුරා ඇවිලෙන ළංවිය නොහැකි මහා ගිනි අඟුරු ගොඩකි. එහි උපන් නිරිසත්තු කර්ම බලයෙන් තුමූම ඒ ගිනි අඟුරු දොහොතින් ගෙන හිස පිට විසුරුවත්. එයින් දැවී තැවි තැවී මහ හඬින් හඬ හඬා එහා මෙහා එම අඟුරු ගොඩේම දුව පැනයති. මෙසේ දුක් විඳින නිරිසත්තු නම් සතුන් මරා පුළුස්සා කෑවෝ ද, විහාරාමාදිය හා අනුන්ගේ පැල්පත් ගිනි තැබුවෝ ද, ගිනියම් යකඩ ආදියෙන් සතුන් පුළුස්සා වධ වේදනා දුන්නෝ ද වෙත්. කර්ම විපාකයෙන් ඉපිද ඉපිද ඔවුහු කල්ප ගණනක් මෙම නරකයේ පැසෙත්.

දළ කෙස් මැලි නරකය

මෙහි දිග පළල ගැඹුර තුන් සිය යොදුන, යපවුර හා යකබල නව නව යොදුන. මෙහි යමපල්ලන් වශයෙන් නිරිසතුන්ට දුක් දෙන්නෝ කපුටෝ හා උකුස්සෝය. කපුටුවෙකුගේ ප්‍රමාණය බඳ යොදුනක් පමණ මහතය. තුඩ ගවු පමණ දිගය. කකුල් ගල් පමණ දිගය. පියාපත් ගල් පමණය. උකුස්සෙක් විශාල ඇතෙකුට සමානය. මෙබඳු නෙරයික කපුටෝ හා උකුස්සෝ එම නිරයේ ඉපිද ගින්නෙන් දදා පැසි පැසී දුක් විඳින නිරි සතුන් හඬව හඬවා ගවු පමණ තුඩින් ඇස් මස් නහර ඇට උගුල්ලා කති. යළිත් ඔවුහු කර්ම බලයෙන් ඉපිද ඉපිද ආයු ඇතිතාක් දුක් විඳිති.

මෙහි ඉපිද දුක් විඳින්නෝ නම්, හොර තරාදි පඩි ආදියෙන් බඩු විකුණුවෝ ද, හොර ලාස් සේරු ආදියෙන් ධාන්‍ය මැන්නෝ ද, රිදී රත්තරන් ය කියා තඹ පිත්තල ආදී ලෝහයෙන් කළ බඩු විකුණුවෝ ද, නො වටිනා දේ වටිනාකම වර්ණනා කළෝ ද වෙත්. මෙහි ආයු කල්ප ගණනින් ප්‍රමාණ වේ.

පොකුරුපත් නරකය.

මෙහි දිග පළල ගැඹුර සාරසිය සාරසිය යොදුන. අයෝමය පවුර හා පියන නව නව යොදුන, මෙහි යමපල්ලන් මෙන් වධ දෙන්නෝ නෙරයික කිනිතුල්ලෝය. ඔවුන්ගේ බඳ දෙගවු පමණය. දත් හා කකුල් ගවු පමණය. මොවුහු මෙහි ඉපිද නිරාදුකෙන් පැසෙන්නන්ගේ සම් මස් ඇට නහර උදුර උදුරා කඩ කඩා අඬව අඬවා බිඳ කති. එහෙත් එම නිරිසත්තු ආයු ඇති තාක් කර්ම වේගයෙන් මැරි මැරී ඉපිද ඉපිද වෙසෙත්. මෙහි ඉපිද දුක් විඳින්නෝ නම් සිල්වත් ගුණවත් මව්පිය ගුරුවර මහණ බමුණු නැදි මයිල් ආදීන්ට ආක්‍රෝශ පරිභව කළෝ, ඔවුන් දැක හුනස්නෙන් නො නැගිටියෝ, කේලාම් කියා ඔවුනොවුන් බිඳවූවෝ ද වෙත්. මෙහි ආයුෂ ද කල්ප ගණනකි.

අළු කුඹු නරකය

පාතාලයේ සිට සක්වළ මුවවිටතෙක් ගිනි ගෙන දදා පිරුණු උණු අළුවලින් ගැවසීගත් මෙම නිරය, දිග පළල ගැඹුර පන්සිය පන්සිය යොදුන. යපවුර හා යපියන නව නව යොදුන, මෙහි උපදින නිරිසත්හු එම ගිනිගෙන දිලිසෙන උණු අළුවෙන් දදා උඩයට කිමිදමින් සරසව ගමන් කරමින් ආයු ඇතිතාක් මැරෙමින් උපදිමින් දුක් විඳිත්. මෙහි ඉපිද දුක් විඳින්නෝ නම් වස විස කා, කර වැල්ලා, කඩු, තුවක්කු ආදියෙන් දිවි තොරකර ගත්තෝ ද, පෝදා කිළුටු වස්ත්‍ර වෙල්ලාවේ යොදා තැම්බුවෝ ද, පෝදා තොටට ගොස් ඇපුල්ලුවෝ ද, එසේම සතුන් නසන අවි ආයුධ සාදා දුන්නෝ ද, තමා ඔසප් වූ කල ස්වාමි පුරුෂයාට නො දැන් වූ මාගම්මු ද, කුසධත් දරුවන් මැරීමට හෝ දරුවන් නොලැබීමට විෂ බෙහෙත් ආදිය අනුභවය කළෝ හා කරැවුවෝ ද වෙත්.

කිහිරඟුරු නරකය

දිග පළල ගැඹුර සත් සත් සිය යොදුනය. යපවුර හා යකබල නව නව යොදුන. මේ නරකය ඉතා සියුම් කොන්ත මූණ වැනි යොදුන් පමණ දික් වූ කටුයෙන් යුක්තය. එම කටුයෙන් නගින ගිනි දැල් නිරය සිසාරා යපියන සිදුරු කරමින් උඩට නැග සියක් යොදුන බුර බුරා පැතිර පවතී.

සමහර නිරිසත්තු මෙහි ගිනිගත් නඟුල්, වියදඬු, කෙවිටි, හී වැල් ඉස තබාගෙන මහ හඬින් මුර ගා යමින් හඬ හඬා රෑ දවල් තොර නැතුව වැළපෙති. සමහර නිරිසත්තු එම කටුවල ඇමිනී ඊ මතුයේ පැසෙති. එම ස්ථානයෙන් යන සමහර නිරිසත්තු දිව හයා පැදුරු කඩ සේ නමා දෙපට තුන්පට කොට තමා ඉස තබා ගෙන එම කටුයේ ඇනී වැළපෙති.

සමහරු ගවු පමණ උස ඇති ගිනි ගෙන ඇවිලෙන කදුරු රුක් ඉස තබා ගෙන මහ හඬින් වැළපි වැළපී පෙළෙති. සමහරු ගිනිගත් ලෝ දිය බඳුන් ඉස තබාගෙන හඬ හඬා වැළපෙති. මෙසේ දුක් විඳිමින් පැසෙන්නෝ නම් කලට වේලාවට හරකුන්ට තණ පැන් නොදී ඔවුන්ගෙන් වැඩ ගත්තෝ ද, දබරකොට දිව ඇද කා මළෝ ද, විෂ වර්ග කදුරු වර්ග කා මලෝ ද යනාදීහු වෙති. මෙහි ද ආයු පමණ නැත.

මතු සම්බන්ධයි


පසුගිය සතියෙන් - ‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 06 කිසිදා නොවිඳීන් මෙවන් අපා දුක්

 

    වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 10 වැනිදා අඟහරුවාදා අපරභාග 09.23 ට ලබයි. 11 වැනිදා බදාදා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 11 වැනිදා බදාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]