UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසුන් කෙත එකලු කළ යතිවරයාණෝ

සසුන් කෙත එකලු කළ යතිවරයාණෝ

මාදුළුවාවේ සෝභිත නා හිමි සසුන් කෙත සරු කළා

“පරිඡිණ්න මිදං රූපං - රොගනිඩ්ඪං පහංගුරං භිජ්ජති පූති සෙනේදහො - මරණ‍ාතංහි ජීවිතං”

“දිරන ස්වභාව ඇති මේ ශරීරය රෝගයන්ට ආකරයකි. වහා බිඳී යන ස්වභාව ඇත්තේ ය. මේ කුණු වැගිරෙන ශරීරය බිඳී යයි. ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේය.” (ජරාවග්ගය)

තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි, ‘අනිත්‍ය වූ ප්‍රතීත්‍යසමුප්පන්න සංඛත ධර්මයෝ ක්ෂය ධර්මයෝය. ව්‍යය ධර්මයෝය. නොඇලිය යුතු විනාශ ස්වභාව ඇති ධර්මයෝය.’ යන බවත්, යමෙක් උපන්නේ ද, වූයේ ද, පසයෙන් සකස් වූයේ ද නැසෙන සුළු බවත්, පි‍්‍රයමනාප හැම දෙයින් ඉවත්වීම, වෙන්වීම, අන්සැටියකින් වෙනස්වීම යන සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය පරවස බවත් යන ධර්මතාවන් පසක් කරමින් කෝට්ටේ නාගවිහාරාධිපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වදාළ බව දැන ගන්නට ලැබීම බලවත් ශෝකයට හේතුවකි.

වර්ෂ 1942 මැයි මස 29 වන දින හෝමාගම, පාදුක්ක, මාදුළුවාව ගම්පියසේදී දරුවන් තිදෙනෙකුගේ පවුලක එකම පිරිමි දරුවාව උපන් සෝභිත හිමි උතුම් ධර්ම මාර්ගයේ මනාව හැසිරීමෙන් ලද හැකි මහත් ඵලය පෙර පින් බලයෙන් හැඟීයාමෙන් පැවිදි මඟ තෝරාගත්හ. සම්බාධ රහිත පැවිදි ජීවිතය එළිමහනක් සේ පි‍්‍රය උපදවන්නක් බැවින් ඒ උතුම් පැවිදි මඟ තෝරාගත් අප නාහිමියෝ ශීල සම්පන්න ගුණයෙන්, සංවරශීලයෙන් හැසිරුණාහ. උන්වහන්සේගේ කරුණාබර මුවමඩල සාධුසංවරශීලය තුළින් ශෝභාමත් විය.

වර්ෂ 1955 මැයි මස 09 වන දා කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේදී පැවිදි බිමට එළඹ ධර්මශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා, වර්ෂ 1962 දී උපසම්පදා විනයකර්මය ලැබූ උන්වහන්සේ විද්‍යාලංකාර, විද්‍යෝදය පිරිවෙන්වලින් උසස් අධ්‍යාපනය ලබා දීප ව්‍යාප්ත ශාසනික හා ධර්මශාස්ත්‍රීය මෙහෙවරක නියුක්ත වූහ. ජාතීන් හා ආගමිකයන් අතර සහජීවනය ගොඩනැංවීම සඳහා ක්‍රියාකාරීව නායකත්වය ලබාදුන් උන්වහන්සේ සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරයක් අරඹා ජීවිත පූජාවෙන් ඇපකැප වීමෙන් ඉටුකළ සේවාව අනූපමේය වේ. බලවතුන්, පාලකයන් ඉදිරියේ උන්වහන්සේ අභීත සිංහයෙකු මෙන් විය. සත්‍යය, යුක්තිය, සාධාරණත්වය උදෙසා ජීවිතය පරදුවට තබා සටන් මඟ තෝරාගත්තේ ය. භික්ෂුව වනාහි ආත්මාර්ථකාමියෙකු නොව පරමාර්ථකාමියෙකු බව පසක් කර දුන්නේ ය. ලෞකික ආශාවන් දුරුකොට, ආත්මාර්ථයෙන්, වෙන්ව බලවතුන් ඉදිරියේ නොනැමී කටයුතු කළ උන්වහන්සේ තමන්ට ලැබෙන අල්ප දෙයින් වුවත් සෑහීමකට පත්විය. අනුන්ට ලැබෙන දෙයට ආශා නොකළහ. පදවි තානාන්තර කෙරෙහි හඹා නොගියහ. පිරිසුදු ජීවිකාවක් ඇතිව ජාතික, ආගමික, ශාසනික පුනරුදය සඳහා නොබියව ඉදිරිපත් වී ස්වකීය මතය අභීතව ප්‍රකාශ කළහ.

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ධර්ම කථිකත්වය තුළ විනීත විශාරදත්වය සමඟ ධර්මධරත්වය මෙන්ම නවලොවුතුරු දහමට අනුරූපී වූ ප්‍රතිපදාව ද එකසේ ගැබ්ව තිබිණ. එමෙන්ම උන්වහන්සේගේ දේශනා ව්‍යක්තය. විනීතය, විශාරදය, බහුශ්‍රැතය. ගැඹුරු හඬින් කරනු ලබන එඩිතර දේශනා වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සිහි කරවයි.

රටේ ජීවනාලිය තරුණයන් ලෙස සැලකූ උන්වහන්සේ ඔවුනට නිසිමඟ කියාදීමටත්, ඔවුන් නිසිමඟ යැවීමටත් විවිධ ක්‍රම උපායන් අනුගමනය කළ අතර, මත් උවදුරින් රට ගලවා ගැනීමට ප්‍රමුඛ අවධානයක් යොමුකරන ලදී. මත්ද්‍රව්‍ය හා මත්වතුර භාවිතය තරුණ, මහලු කවරෙකුගෙන් වුවත් වළක්වාලීමට උන්වහන්සේ ගත් වෙහෙස මහන්සිය අපමණය.

දුකට පත්වූවන් කරා ගොස් ඔවුනට සරණක් වීමට උන්වහන්සේ කිසි විටෙක දෙවරක් සිතුවේ නැත. සුනාමි ව්‍යසනය පැමිණි අවස්ථාවේදී කඩිනමින් ඉදිරිපත් වී සමාජ මෙහෙවරෙහි යෙදුනේ දිවා රෑ නොතකාය. රටට මොන ව්‍යසනය ඇති වුවත් ඒ හැමතැනකදීම උන්වහන්සේ එතන වූහ. කුරිරු යුද සමයේදී රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් උන්වහන්සේ හඬනැඟූහ. තමන් කරණා දෙය ගැන නිරාමිෂව සිතා පී‍්‍රතිවනු මිස, ඒවා කෙරෙහි පෙරළා ලාභ ප්‍රයෝජන ගැනීමට යාම උන්වහන්සේගේ සිරිත නොවීය. පාලකයන්ට හෝ බලවතුන්ට සෘජුව අනුශාසනා කරනු විනා, ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් පොදු කාර්යයන්හි නිරත වීම උන්වහන්සේගේ සිරිත නොවීය. හුදෙක් ජනතා සුබසාධනයම, සාධාරණ සමාජයක්ම ඇතිකර ගැනීම උන්වහන්සේගේ පැතුම විය. ජාතික, ශාසනික චිරජීවනය සඳහා ස්වකීය ජීවිතය කැප කළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන්සුව සාක්ෂාත් වේවා.


සෝභිත හිමියන් තම වාග් බලය යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් යෙදෙව්වා

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් රාජ රාජ මහාමාත්‍යාදීන් හමුවේ වැරදි නිවැරදි කැර ගැනීම සඳහා නොබියව අදහස් ප්‍රකාශ කැරමින් රට,ජාතිය හා ආගම සුරැකීම උදෙසා අනුපමේය මෙහෙයක් කළ යතිවරයාණන් වහන්සේ නමක් බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහානාහිමියෝ පවසති. රට කරවන පිරිස් පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ සෝභිත හිමියෝ රට පරිහානියට පත්වන අවස්ථාවලත් විපරීත වන අවස්ථාවලත් පෙරමුණ ගෙන සත්‍ය පෙන්වා දෙමින් නොබියව සාධාරණ සමාජයක් ඇති කිරීම පිණිස කටයුතු කළ බව කවුරුත් දන්නා කරුණක් බවද උන්වහන්සේ කීහ.

තෛ‍්‍රනිකායික ගරුතර මහා සංඝරත්නයේත් ශිෂ්‍ය හිමිවරුන්ගේත් දායක කාරකාදීන්ගේත් සෙසු සියලු ජනතාවගේත් සිත් දිනාගෙන කටයුතු කළ උන්වහන්සේගේ අපවත්වීම රටට පිරිමැසිය නොහැකි පාඩුවක් බවද අස්ගිරි මහ නාහිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ තුළ පැවති සත්‍යවාදී අදහස්වලට කථිකත්වය තුළින් හිමිවූයේ නොමඳ ආලෝකයක් බවත් එම වාග් බලය උන්වහන්සේ සෑමවිටම උපයෝගි කැර ගත්තේ යුක්තිය හා සාධාරණත්වය රජකැරවීමට බවත් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අවධාරණය කළහ.


අභීත යතිවරයන් වහන්සේ නමක්

ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය හෙබවූ සම්භාවනීය සංඝපීතෘන් වහන්සේ නමකවූ අතිපූජනීය මාදුළුවාවේ සෝභිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම රට දැය සමයට සිදුවූ බලවත් පාඩුවෙකි. සිංහල ජාතියත්, ලංකා සම්මා සම්බුද්ධ ශාසනයත් පරිහානිය කරා යාහැකි කිනම් ප්‍රශ්නයක් උද්ගතවුවද ඒ සෑම අවස්ථාවකදීම අභීතව පෙරට පැමිණ ක්‍රියා කළ යතිවරයන් වහන්සේ නමක ලෙස ශ්‍රී සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ හැඳින්විය හැකිය. දශක ගණනාවක් තිස්සේ ජාතික, ආගමික ප්‍රශ්න හමුවේ උන්වහන්සේ ක්‍රියා කළ ආකාරය ආදර්ශවත්ය. අභෙද්‍ය ආත්ම විශ්වාසයකින් හා තීක්ෂණ ප්‍රඥාවකින් හැමවිටම ක්‍රියා කළ උන්වහන්සේ රාජ රාජ මහාමාත්‍යාදීන්ටවුවද කිවයුත්ත අදීනව අභීතව ප්‍රකාශ කළහ. ජාතික සංඝ සභාව, අමද්‍යප සභාව, සමස්ත ලංකා පිරිවෙන් ගුරු සංගමය වැනි සමිති සමාගම් රාශියකම කැපීපෙනෙන මෙහෙවරක් ඉටු කරමින් ජනතා බලවේගයක් ගොඩනැඟීමට මූලිකව ක්‍රියා කළ අයුරු මෙහිදී වෙසෙසින් සිහිපත් කළ යුතු ය.

ජාති, ආගම්, කුල මල භේද නොසලකා හැමට සාධාරණත්වය ලබාදිය යුතු බව උන්වහන්සේගේ දර්ශනය වූ අතර ඒ වෙනුවෙන් ඇපකැපවී ක්‍රියා කළහ. විචිත්‍ර දේශකයන් වහන්සේ නමක ලෙස ද මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ජනතා සිත් සතන් සුවපත් කළහ. 2004 සුනාමි ව්‍යසනයෙන් අසරණව සිටි පිරිසට දකුණු පළාතේ කුඩාවැල්ල වාළුකාරාම විහාරස්ථානයට අපගේ ආරාධනයෙන් වැඩම කළ උන්වහන්සේ එවකට අසරණ බවින් හා නොසන්සුන් මානසිකත්වයෙන් පෙළුණු එගම් වැසියනට ධර්ම දේශනයක් පවත්වා සිත් සතන් සුවපත් කළ අයුරු කෘතවේදීව සිහිපත් කරමි. තෛ‍්‍ර නිකායික භික්ෂු මහා සංඝරත්නය සමඟ අතිශයින්ම හිතෛෂීභාවයෙන් කටයුතු කිරීමට උන්වහන්සේ සමත්වූහ. මෑත යුගයෙහි භික්ෂූන් වහන්සේ අතර මාදුළුවාවේ සෝභිත හිමි තරම් ගැරහුම්, ඇනුම් බැනුම් ඇසූ වෙනත් හිමිනමක් නොමැති තරම්ය.එහෙත් ඒ සියල්ල සිනාමුසු මුහුණින් ඉවසන්නට තරම් උන්වහන්සේ ශක්ති සම්පන්න වූහ. රට ජාතිය වෙනුවෙන් හඬක් නගන්නට අවැසි මොහොතක හදිසියේම අපවත්වී වදාළ කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති, අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවායි ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ නවක, මධ්‍යම, ස්ථවිර සියලු දෙනා වහන්සේ වෙනුවෙන් ප්‍රාර්ථනා කරම්හ.

 

    වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 10 වැනිදා අඟහරුවාදා අපරභාග 09.23 ට ලබයි. 11 වැනිදා බදාදා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 11 වැනිදා බදාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]