UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

 

නාරන්දෙණියේ අරියකුසල හිමි

කඹුරුපිටිය නාරන්දෙණිය ග්‍රාමයේදී 1951 සැප්තැම්බර් මස 16 වැනි දින කේ.ජී. පැන්ටෝරිස් හා බබුන්හාමි දම්පතින්ට උපන් සුපින්වත් කුමරු කේ.ජී. බන්දුසේන නම් විය.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඥා ලේඛකාධිකාරීව වැඩ විසූ මාතර වල්පල සිරිමංගල පරිවේණාධිපති,බටුවිට ශ්‍රී නන්දාරාම අනුනායක හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දිසාපාලක ධුරන්දරව වැඩ විසූ කඔුරුපිටිය බටපත්තල ශ්‍රී උපසේන පිරිවෙන් විහාරාධිපති, කැකුණේවෙල ශ්‍රී අරියමිත්ත නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් කඔුරුපිටිය හොරපාවිට ශ්‍රී විජයසුන්දරාරාම පිරිවෙන් විහාරස්ථානයේදී 1965 සැප්තැම්බර් මස 10 වැනි දින ප්‍ර‍්‍රවෘජ්‍යා භූමියට පත් වූහ .නිසි වයස් සමිපූර්ණවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ඉඳුරුවේ ශ්‍රී උත්තරානන්ද මහා නාහිමියන් ගේ උපාධ්‍යායත්වයෙන් 1971 ජූලි මස 14 වැනි දින කල්‍යාණි නදී උදකුක්ඛේප සීමා මාලකයේදී උපසමිපත්තියට පත්වූහ.පැවිදි දිවියේ මූලික අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ස්වකීය ගුරු දේ්වෝත්තමයාණන් වහන්සේ සෙවනේ බටපත්තල ශ්‍රී උපසේන පිරිවෙන් විහාරස්ථානයේදී ලබාගත් උන්වහන්සේ අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයට ඇතුළත් වී ත්‍රිපිටකවේදී උපාධිය ලබාගත්හ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වත්මන් ප්‍රධාන අධ්කරණ සංඝනායක මීරිගම මිණිඔළුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන්පති මකුලෑවේ ශ්‍රී විමල නාහිමිපාණන් වහන්සේගේ සෙවණේ අධ්‍යාපනය ලද අරියකුසල හිිමියන් බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ මුල්ම සිසු පිරිසට ඇතුළත්වීමේ භාග්‍යය ලැබීය.

අනතුරුව පිරිවෙන් ගුරුවරයෙකු වශයෙන් තම ජීවිතය ආරම්භකළ නාහිමිපාණන් බටපත්තල ශ්‍රී උපසේන පිරිවෙන් විහාරස්ථානයේ නියෝජ්‍ය පරිවෙණාධිපති හා පරිවෙණාධිපති වශයෙන් 1976 සිට 2011 වර්ෂය දක්වා වසර 35ක කාලයක් සේවය කළේය.

අධ්‍යාපනික මෙහෙවර ගම් ප්‍රදේශයට ඉටුකරමින් සිටින අවදියේ දී ස්වකීය ආගමික, ශාසනික හා සමාජ මෙහෙවර ඉදිරියට ගෙන යන්නට උන්වහන්සේට හැකියාව ලැබුණි. පොල්අතු පැළක තාවකාලික මඩුවක ශ්‍රී අරියදස්සනාරාම විහාරය ආරම්භකොට ගතවූ වසර 38ක කාලය තුළදී තම 60 වැනි විශ්‍රාම සංවත්සරය වෙනුවෙන් පුද්ගලික වියදමින් දෙමහල් ධාතු මන්දිරය තැනවීමත්,සංඝාවාසය හා විෂ්ණු කතරගම දේවාලයන් ඉදිකරවීමත් පාරිභෝගික , ශාරීරික, උද්දේසික චෛත්‍යයන් ස්ථාපනය කරවීමත් වැදගත් සේවාවන් ලෙස සඳහන් කළ හැකි වේ.

තම ගුරු දේවෝත්තමයාණන් වහන්සේ සිහිකිරීම සඳහා ප්‍රථම වරට කැකුණේවෙල ශ්‍රී අරියමිත්ත දහම් පාසල හා පෙර පාසල ආරම්භ කිරීමත් 1991 වර්ෂයේදී කඔුරුපිටිය බිබුලේවෙල ගම් උදාව නිමිත්තෙන් ගම්මානයේ ප්‍රජා සේවාවන් සම්පූර්ණ කරලීමත් සාලිඇලේ මණිරතන හිමියන්ගේ ප්‍රතිමාවක් තම විහාරස්ථානයේ ඉදිකිරීමත් ඉතාමත් ශ්‍රේෂ්ඨතම සේවාවන් ලෙස සඳහන් කළ හැකිය.

මීට අමතරව ලේනබටුව සමථ මූල මණ්ඩලයේ හා සමූපාකාර ණයදෙන සමිතියේ සභාපති වශයෙන් වසර 15 ක් පුරා කටයුතු කරමින් කරන ලද සේවය ද අගය කළ යුතුය.

නූතන සඟ පරපුර තුළ ව්‍යක්ත විශාරද බහුශ්‍රැත, ධර්මධර, විනයධර හා සුපේෂල ශික්ෂාකාමී සංඝ පුත්‍රයන් වහන්සේලා අතර අරියකුසල හිමිපාණන් වහන්සේට හිමි වන්නේ ගෞරවණීය ස්ථානයකි. එම සමාජ මෙහෙවරට හා සම්භාවනීය උරුමය තව දුරටත් ගෙන යාමට ආශිංසනය කිරීම සඳහා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා කඨින මහා පින්කම් ඔක්තෝබර් මස 30 වැනි දින හා අර්ධ ශතාධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලැබූ සංඝගත දක්ෂිණාවක් 31 වැනිදා විහාරස්ථානයේ දී පැවැත්විණි.


මාකඳුරේ කුසලඤාණ නා හිමි

සැප්තැම්බර් මස දහනව වැනි දින අනු තුන්වන වියට පා තබන ලද මාතර මාකඳුර ශ්‍රී සුවිසුද්ධාරාම විහාරාධිපති අමරපුර ශ්‍රී සද්ධම්මවංස මහා නිකායේ මහෝපාධ්‍යාය ධුරන්දර ව්‍යක්ත විශාරද ධර්මධර මාකඳුරේ කුසලඤාණ ස්වාමින් වහන්සේ සම්බුදු සසුන තුළ ස්වකීය නිකායටත් සම්බුදු සසුනටත් කරන්නාවූ අති උදාර සේවය අමරණීයයි.

මාකඳුරේ කුසලඤාණ මහා ස්වාමීන් වහන්සේ 1923 සැප්තැම්බර් මස 19 වන දින මාකඳුර වරුස වත්තේ දී උපත ලබා මාකඳුර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 1934 නොවැම්බර් 19 වන දින වරකාපිටියේ සිරිසෝමරතන මහා ස්වාමීන්වහන්සේගේ සහ ආභිධම්මික දියලපේ සිරි පියතිස්ස ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස මාකඳුර සුවිසුද්ධාරාමයේ දී ප්‍රවෘජා භූමියට පත්වන ලදී. මූලික බණ දහම් කටයුතු නිසි පරිදි ඉටුකරමින් පිරිපුන් විසි වයසට පත්ව 1943 ජුනි මස 17 දිනයේ බලපිටියේ මාදු නදියේ ඉදි කරන ලද උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදා සීලයට පත්වන ලදී.

උන්වහන්සේ කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත්ව සිංහල, පාලි, සංස්කෘත ඇතුළත්ව ත්‍රිපිටක ධර්මය මැනවින් ප්‍රගුණ කරන්නට යෙදුනහ. එහි දී උන්වහන්සේට වැලිවිටියේ සෝරත නාහිමි, කළුකොදයාවේ පඤ්ඤාසේකර නාහිමි, අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමි, මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි යන මහා ස්වාමින් වහන්සේලා ඇසුරින් ලැබුවා වූ පරිණත ධර්මාවබෝධය නිසා චතුර ධර්මදේශකයාණන් වහන්සේ නමක් ලෙස ප්‍රසිද්ධියට පත්වන ලදී. උසස් අධ්‍යාපන කටයුතු නිමාවට පත්වීමෙන් අනතුරුව 1976 දී මාකඳුර ශ්‍රී සුවිසුද්ධාරාම විහාරාධිපති ධුරයට පත්ව ප්‍රදේශයේ ජාතික ආගමික කටයුතු වලදී මූලිකත්වය ගෙන කටයුතු කරන අවධියේදී උන්වහන්සේගේ උගත්කමත් කාර්යශූරත්වයත් නිසා 1977 දී කඹුරුපිටිය විලේගොඩ ශ්‍රී ධම්මානන්ද පිරිවෙනෙහි පරිවේණාධිපති ධුරයට පත්ව එම පිරිවෙන දියුණුවට පත් කිරීමට අවශ්‍ය කරන කටයුතු කරන අවධියේ රන්සෑගොඩ සද්ධානන්ද ස්වාමින් වහන්සේගේ ඉල්ලීම පරිදි රන්සෑගොඩ සිරිදේවානන්ද පිරිවෙනෙහි පරිවේණාධිපති ධුරයට පත්ව පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් සිදුකොට 1987 දී අධ්‍යාපන සේවයෙන් සමුගන්නට යෙදුනහ. මාකඳුරේ කුසලඤාණ ස්වාමීන් වහන්සේ සියවසකට ආසන්න කාලයක් පුරා කරන්නාවූ අනභිභවනීය සේවය ඇගයීම අනුස්මරණය කිරීම උදෙසා උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා විශේෂ පින්කම් මාලාවක් සහ සඟසතු දානමය පින්කමක් පැවැත්වීමට පැවිදි ශිෂ්‍ය රාජකීය පණ්ඩිත මාකඳුරේ ධම්මසිරි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ විහාරස්ථ දායක සභාව කටයුතු සංවිධානය කර තිබිණි.


කැටකුඔුරේ ධම්මාරාම හිමි

මහනුවර අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නායක මා හිමිපාණන් වහන්සේ විසින් අස්ගිරිය විහාරවාසී කරල්ලියද්ද ශ්‍රී උපෝෂථාරාමාධිකාරී පල්ලේකැලේ නාලන්ද්‍ර බෞද්ධ විද්‍යාලයාධිපති කැටකුඔුරේ ධම්මාරාම හිමි අස්ගිරිය මහා විහාරයීය විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධුරයට පත්කර ඇත.

1994 මාර්තු 23වෙනි දින හාල්යාලේ ඤාණවිමල නාහිමි ප්‍රධාන අස්ගිරිය මහා විහාර මහ පිරිවෙනේ මැදිවක දේවසිරි අස්ගිරිය මහා විහාර පිරිවෙනාධිපති අස්ගිරිය විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද යන හිමිවරුන්ගේ ආචාය¸ත්වයෙන් පැවිදි බිමට ඇතුළත්ව සිය පැවිදි ආචාර්යවරුන් ගුරුකොට වර්ෂ 2000 දී අස්ගිරිය මංගල උපෝෂථාගාරයේදී උපසම්පදා ශීලයෙහි පිහිටවූ කැට කුඔුරේ ධම්මාරාම හිමි මූලික හා අවසන් පිරිවෙන් අධ්‍යාපනික ධර්‍මශාස්ත්‍ර දැනුම අස්ගිරි මහා විහාර පිරිවෙනින් ලබාගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා දැනට දර්ශනපති උපාධිය සඳහා අධ්‍යාපන කටයුතුවල නිරතව සිටී. තෙල්දෙනිය ශ්‍රී නිග්‍රෝධාරාමයේ නාලන්ද මුලික පරිවෙන් කෘත්‍යෘධිකාරී වශයෙන්ද ශ්‍රී සුමනතිස්ස ශ්‍රී සෝමරතන යන දහමි පාසල්වල ප්‍රධානාචාර්ය වශයෙන්ද මැද දුම්බර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී වශයෙන්ද ධර්ම අධ්‍යාපනික , ශාසනික, ආගමික ජාතික , කටයුතු,වල, නිරතව සිටින ධම්මාරාම හිමියෝ කරල්ලියද්ද ශ්‍රී ූඋපෝෂථාරාමය කේන්ස්ථානය කරගෙන දහම් අධ්‍යාපනය මුල්කරගෙන සමාජ සත්කාර වැඩ සටහන් මාලාවක් ප්‍රදේශයේ පොදු දියුණුව උදෙසා ක්‍රියාත්මක කරයි.


මරවනාගොඩ විමල හිමි

කෑගලූ දිස්ක්‍රික්කයේ අලව්ව වෙනිවැල්ලකඩුව ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති මරවනාගොඩ විමල හිමිපාණන් වහන්සේය. විශේෂ නාමයකින් හඳුන්වන විමල හිමියන්ගේ පන්සල සොයා මා ගියේ ඒ විස්මිතභාවය කුමක්දැයි හඳුනා ගන්නටය. සැබැවින්ම මා දුටුවේ බුදු මැදුර පමණකුදු නොව මුළු මහත් පන්සලම විස්ම්ත බවය. විස්මිත පමණකුදු නොව එහි විශ්ව කර්ම පෙනුමක්ද විය. වලගොඩැලි උස් පහත්කම් ඇති විෂම භූමියක අපූරු පන්සලක් තනා තිබේ. ඒ මහා විස්මයකි.

මේ භූමිය තනිකරම වල් බිහිවුණු තැනක් වුවද බොහොම වෙහෙසිලා මෙතන පන්සලක් විදියට ගොඩනැඟුවා. ගමේ හැමෝගෙම වගේ සහයෝගය මට ලැබුණා. මිනිස්සු පන්සල හදන්න උදව් කරනකොට මට සිද්ධ වුණා මිනිස්සුන්ට ගම හදන්න උදව් කරන්න.

හාමුදුරුවන් පවසන දේටත් වඩා ගමේ මිනිසුන් කියන දේ බොහොම වැදගත් විය. ඒ හාමුදුරුවන් ගැන ගමේ උදවිය ඇත්ත ඇති හැටියෙන්ම දන්නා නිසාය.

හාමුදුරුවෝ තමයි ගමේ පාරවල් හදන්න මුල් වුණේ. ගමේ පොදු වැඩක් වුණාම අපේ හාමුදුරුවො පාරට බහිනවා . ඒක තමයි වැදගත්ම දේ. සමහරදාට උද්ඝෝෂණ වගේ ඒවටත් ආවා.

අපේ හාමුදුරුවන් උද්ඝෝෂණ කළේ දේශපාලන ප්‍රශ්න විසඳාලන්නට නොවේ. ගමට පාරක් හදාගන්ටය. ගමේ මිනිසුන්ට නිදහසේ එහෙ මෙහෙ යන්නට එන්නට පහසුකම් සලසා දෙන්නටය. අපේ හාමුදුරුවන්ට මෙම නොවැම්බර් මස 12 වැනි දාට පනස් වැනි විය සපිරෙයි.රටේ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවර උදෙසා කිසියම් අනුග්‍රහයක් දැක්වීම වශයෙන් විමල ප්‍රභා නමින් ශාස්ත්‍රීය කෘතියක් මේවන විට සම්පාදනය වී තිබේ. එහි ඇතුළත්ව තිබෙන්නේ ධර්ම ශෘස්ත්‍රීය වශයෙන් වැදගත් ලිපි ලේඛන රැසකි. ඒවා අප රටේ විවිධ උගතුන් විද්වතුªන් අතින් ලිය වී තිබේ. ඊට අමතරව ජීවිතය යහමගට යන නමින් තවත් කුඩා පොතක් මෙදින ප්‍රකාශයට පත් කෙරේ. මේ ශාස්ත්‍රීය කාර්යයන්ට අමතරව, තවත් ආගමික හා සමාජ මෙහෙවර රැසකි.

පරිසර සංරක්ෂණය තේමා කොට ගෙන පැළ පන්දහසක් නොමිලේ බෙදා දෙමින් ගස්වැල් රැකගැනීමේ අගය ගැන අපූර්ව ආදර්ශයක් ලබා දීමටද හාමුදුරුවෝ සැලසුම් කොට තිබේ. පසුවදා පන්සලේ කඨින පින්කමකි. සියක් නමකට වැඩි මහ සඟරුවනට මහා දනකි. මහා දන්සල් කිහිපයකි. හාමුදුරුවන්ට සියක් ආයු ලබන්නට නීරෝගී ශක්තිය ප්‍රාර්ථනා කරමි.

 

    වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 10 වැනිදා අඟහරුවාදා අපරභාග 09.23 ට ලබයි. 11 වැනිදා බදාදා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 11 වැනිදා බදාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]