UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලක්දිව බෞද්ධ කලා ශිල්ප 05 පද්ම - සංඛ මුරගල් සහ කොරවක්ගල්

පුරාණ ලක්දිව බෞද්ධ කලා ශිල්ප 05

පද්ම - සංඛ මුරගල් සහ කොරවක්ගල්


අනුරාධපුරයේ 1 වන විජයබාහුරජුගේ මාළිගයයැයි සඳහන් ගොඩනැගිල්ලේ මුරගලක්

අනුරාධපුරයේ 1 වන විජයබාහුරජුගේ මාළිගයයැයි සඳහන් ගොඩනැගිල්ලේ මුරගලක්

ඉතා විශාල උදරයක් සහිත වූ මෙම බහිරව රූප නිර්මාණාත්මකව නෙළා ඇත. අතකින් යෂ්ටියක් (හැරමිටියක්) ද දරා සිටින ලෙසින් නිරූපිත මෙම මුරගල් වල දක්නට ඇති විශේෂත්වය නම් එම බහිරව රූපවල ශීර්ෂාභරණයයි.

මුරගලේ දෙවන අවස්ථාව ලෙසින් හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා සඳහන් කරන්නේ වාමන බහිරව රූප සහිත මුරගල් ය. ඉතා විශාල උදරයක් සහිත වූ මෙම බහිරව රූප නිර්මාණාත්මකව නෙළා ඇත. අතකින් යෂ්ටියක් (හැරමිටියක්) ද දරා සිටින ලෙසින් නිරූපිත මෙම මුරගල් වල දක්නට ඇති විශේෂත්වය නම් එම බහිරව රූපවල ශීර්ෂාභරණයයි. ඒ අනුව ශංඛය (හක්ගෙඩියක්) සහිත වූ ශීර්ෂාභරණය දරන මුරගල ශංඛ ලෙසත් ශීර්ෂාභරණ (හිස පළඳනාව) නෙළුම්මලක් ලෙසින් නිරූපිත බහිරව රූපය පද්ම ලෙසින්ද හැඳින්වේ. මේවා පිළිවෙලින් ශංඛ නිධි ලෙසද පද්ම නිධි ලෙසින්ද හැඳින්වේ. ඉතාම ප්‍රකට මෙම මුරගල් දෙකක් අනුරාධපුරයේ අභයගිරි දාගැබට නැගෙන පඩිපෙළ දෙපස නිර්මාණය කර තිබේ. වාමන රූප ලෙසින් හඳුන්වන මෙවැනි මුරගල් දෙකක් අනුරාධපුරයේම විජයබාහු මාලිගයට පිවිසෙන දොරටුව දෙපස දැකිය හැකිය. මහ විජයබාහු රජතුමා රජ කළේ පොළොන්නරුව රාජධානිය කරගෙන වුවද අනුරාධපුරයේ ද එම රජතුමාට රජ මාලිගයක් තිබුණි. අද දක්නට ලැබෙන්නේ එහි අත්තිවාරම සහිත බිත්ති වල කොටස් පමණකි. මෙම රජමාලිගයට පිවිසෙන ප්‍රධාන දොරටුව දෙපස සංඛ, පද්ම නිධි නමින් හඳුන්වනු ලබන මුරගල් දක්නට ලැබේ. පද්ම නිධි සහ ශංඛ නිධි යනු ධනයට අධිපති කුවේරයාගේ සේවකයන් ලෙසින්ද සැලකේ. (හෙළ කලා විස්කම් - සිරිසමන් විජේතුංග පි. 34 – 35 2010)

අපි මීට ඉහත දී අනුරාධපුරයේ සහ පොළොන්නරු රාජධානිවල මුරගල්, සඳකඩ පහණ, මුරගල හා පඩිපෙළ සඳහා පාෂාණ (ගල්) භාවිතා කිරීමත් සඳහන් කළේය ඒ සමඟ මෙම කොරවක් බැමි සඳහා ද ශිලා භාවිතා කරන්නට ඇත. ඒ අනුව මුල් කාලයේ කොරවක් ගල්වලට මකර රූප හෝ ලියවැල් කැටයම් දක්නට නැත. පසු කාලයේ දී කොරවක්ගල්වලට ජ්‍යාමිතික රේඛා යොදා සාදා තිබේ. ලියවැල් සහිතව කොරවක්ගල් නිර්මාණය කිරීම මෙහි තවත් දියුණු පියවරකි.

ලියවැල මුලට මකර කට සහිත වූ කැටයම් ද ඉන්පසු කාලයේ දී එකතු වූ බව මෙම කොරවක්ගල් පරීක්ෂා කරන විට පැහැදිලිවන කරුණකි. එම ලියවැල් කොපමණ නිර්මාණාත්මක ද යන්න පැහැදිලි වන්නේ මකරාගේ දිව ලෙසින් එය කැටයම් කර තිබෙන හෙයිනි. මකරා සංකේතවත් වන්නේ කාලය සඳහාය. කාලය විසින් සුන්දර වස්තු විනාශ වී යෑම හෝ කාලය විසින් ඒවා කා දමන බව එයින් ප්‍රකාශ වන්නේ යැයි කලා විචාරකයෝ පවසති. මුල් කාලයේ දී කොරවක් ගල්වලට ගෙන ඇත්තේ මකර හිස පමණකි.

කොරවක්ගලේ ඇතුළු පැත්ත හා පිට පැත්ත මුල් කාලයේ දී සැරසිලි කැටයම් වලින් තොරයි. කොරවක් ගලේ පිටත සැරසිල්ලක් ලෙස පුන්කලස යෙදූ කොරවක් ගලක් අභයගිරියෙන් හමු වී ඇත. කොරවක් ගලෙහි පිටත පැත්තේ සිංහ රූප සහිතවද දැක්වේ. ඇතා සහ සිංහයා සම්බන්ධ කර සාදන ලද කොරවක්ගල් ගජසිංහ කොරවක්ගල් ලෙසින් සඳහන් වේ.


මකර හිස මුදුනේ මොල්ලිය රහිත කොරවක්ගලක්

මුරගල් දෙක පඩිපෙළ පාමුල ද, ඊටත් පහළින් සඳකඩ පහණද දැකිය හැකි ය. මේ අංග තුනම සම්බන්ධ කරගෙන පිහිටුවා ඇත. මුරගල් දෙක සෝපාන පන්තියට (පඩිපෙළට) සම්බන්ධ කිරීම සඳහා පඩිපෙළ දෙපස සාදා ඇති කොටස් දෙකට "කොරවක්ගල" යන නාමය කියනු ලැබේ. මෙම කොරවක්ගල් ද මුල්ම කාලයේ දී කිසිම කැටයමක් නැතිව ඉතා සරළ ලෙසින් සාදන ලදී. තවත් ලෙසකින් සඳහන් කරනවා නම් මුරගල් පිහිටුවීමේ දී එය නොපෙරළී නොසිටීම ට ආධාර වන ඊට පිටු පසින් ඇති කොටස කොරවක්ගල යන නාමයෙන් හැඳින්වේ. මෙම කොරවක්ගල එක පැත්තකින් මුරගල රැඳවීමටද අනෙක් පැත්තෙන් පඩිපෙළහි රැකවරණයටද සාදන ලද ශිලාමය කොටසකි. ඒ අනුව මුරගල් සහ පඩිපෙළ යන අංග දෙක ස්ථාවරව තිබීම සඳහා කොරවක්ගල් උපකාරීවන බව මෙම ඡායාරූපවලින් පැහැදිලි වෙයි.

ශිලාවලින් (ගල්වලින්) සාදන්නට පෙර මුරගල් දෙපස ගඩොලින් කළ කොරවක්ගල් හමු වී තිබේ. දඹුල්ලේ සෝමාවතී දා ගැබට (පොළොන්නරුවේ සෝමවති දාගැබ නොවේ) යොදා ඇති පඩිපෙළ බද්ධ කිරීම සඳහා සාදන ලද කොරවක්ගලක් සේ සාදා ඇත. ඊටත් කලින් මෙම මුරගල් මෙන්ම කොරවක් ගල් ද මුරගල් සේම දැව (ලීවලින්) වලින් සාදන්නට ඇති බව විද්වතුන්ගේ අදහසකි.


පුරාණ ලක්දිව බෞද්ධ කලා ශිල්ප 04 - අනුරාධපුරයේ විශිෂ්ටතම මුරගල් නිර්මාණය

 

 

 

    වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 10 වැනිදා අඟහරුවාදා අපරභාග 09.23 ට ලබයි. 11 වැනිදා බදාදා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 11 වැනිදා බදාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]