UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙව් සැප පැතූ උවැසිය

විමාන වත්ථු ප්‍රකරණයෙන් ......

දෙව්ලොව ගිය ඇත්තෝ

දෙව් සැප පැතූ උවැසිය

බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩවාසය කරමින් සිටි ඒ වකවානුවෙහි රජගහ නුවර එක්තරා නැකත් කෙළියක් විය. නැකත් කෙළි පිණිස කාල ඝෝෂා කළ විට නුවරවාසීහු එක්ව නුවර පුරා බිම සකස් කොට පිරිසුදු කර, මංමාවත්වල ධජ පතාක ඔසවා දොරකොඩවල කෙසෙල් තොරණ බඳවා, පුන්කලස් තබා, ලද පස්මල් විසුරුවා අලංකෘත ව සැරසූහ. අනතුරුව රාජ රාජ මහාමාත්‍යා දීන්ගේ පටන් සාමාන්‍ය වැසියන් දක්වා වූ සියල්ලෝම විසිතුරු වස්ත්‍රාභරණයෙන් ශෝභාවත්ව නැකත් කෙළි කෙළනට පටන් ගත්හ. උඩු මහලින් බිමට නොබසිනා ඉසුරුමත් කුමරියෝ පවා අලංකාරයෙන් හැඩ වැඩ වී නැකත් කෙළියට එක් වූහ.

එවිට මගධ දේශාධිපති බිම්බිසාර රජු ද මහා සේනා පිරිවරා මහත් වූ රාජානුභාවයෙන් උදාර වූ සෞභාග්‍යය විදහා දක්වමින් නැකත් කෙළියට එක්ව නුවර වීථි සංචාරය කරන්නට වූයේ ය. එවේලේ නුවරවාසී එක්තරා ස්ත්‍රියක් රජුගේ මේ ඓශ්චර්ය සම්පත්තීන් දැක බලවත් ලෙස පී‍්‍රතියටත් විස්මයටත් පත්ව තමන්ට ද එවැනි සැප සම්පත් ඇත්නම් යැයි සිතන්නට වූවා ය. එබැවින් ඈ කවර නම් කාරණයකින් මෙබඳු වූ සම්පත්තීන් ලබන හැකිවේදැයි නුවණැත්තන් වෙතින් විචාළාය.

එම්බා ස්ත්‍රිය, මේ ලෝකයේ යම් ඓශ්චර්ය සම්පත්තියක් ලැබී නම් ඒ සියල්ල සුචරිත කර්මයෙන්ම සිදු වූ ප්‍රතිවිපාක වන්නේ ය. ආදී වශයෙන් ඒ නුවණැත්තෝ කුසල විපාක පිළිබඳ ඇයට විස්තර කොට දුන්හ.

ඒ උවදෙස් ඇසූ කාන්තාව මිනිස් ලොව සැප සම්පත්වලට වඩා දෙව්ලොව සම්පත්තීන් වඩාත් උසස් බැවින් දිව්‍ය සම්පත් අරමුණු කොටගෙන කුසලයෙහි යෙදීමට උත්සුක වූවා ය. මේ කාලයේ ඇගේ මාපියන් විසින් ඇයට අලුත් වස්ත්‍ර දෙකක් ද හිඳින පුටුවක් ද නෙලුම් මල් පොකුරක්ද ගිතෙල් මී හකුරු කිරි සහල් ආදිය තොගයක්ද එවා තිබුණි. තම පරිහරණය උදෙසා එසේ එවා තිබූ ඒ දේවල් දන් දීමේ සිතක් ඇයට පහළ විණි. එබැවින් පසුවදාම මේ තැනැත්තිය මී කිරි බතක් පිළියෙල කොට තවත් කැවිලි පෙවිලි ආදියද සකස් කළා ය. ගේදොර අතුපතු ගා සුවඳවත් කොට, අලුතෙන් ලද ආසනය නෙලුම් මල් වලින් සරසා අලුත් සුදු වස්ත්‍රයක් අතුරා, ආසනයේ කකුල් සතරෙහි පවා නෙලුම් මල් තබා, සුදු උඩු වියනක් බැඳ ආසනය ඉහළින්ද නෙලුම් මලක් එල්වා තබා ආසනය වටා මල් පෙත් අතුරා, මල් කරඬුවක්ද සකසා පසෙක තැබුවා ය. අනතුරුව ඉස් සෝදා පිරිසුදු වී සුදු වස්ත්‍රයක් හැඳ සුදු සළුවක් ඒකාංශ කොට හිඳිමින් කල් වේලා පරීක්ෂා කොට දාසියක අමතා සිල්වත් උතුමකු වඩම්මාගෙන පැමිණෙන ලෙස නියම කළා ය.

එවේලේ සැරියුත් මහ රහතන් වහන්සේ රජගහ නුවර පිඬු පිණිස වඩිමින් ඇතුළු වීථියට පැමිණෙද්දී දාසිය විසින් දකින ලදුව ‘ස්වාමීනි, එක්තරා උපාසිකාවකට අනුග්‍රහ පිණිස වඩින සේක්වායි’ ආරාධනා කොට සිටියා ය.

ගෙහිමි කාන්තාව පෙරගමන් කරමින් නමස්කාර කොට තමන් විසින් සකසන ලද ආසනයෙහි මහ තෙරුන් වහන්සේ වඩා හිඳුවා ප්‍රණීත වූ මී කිරිබත සහිත දානය උන්වහන්සේට පිරිනැමුවා ය. එසේ වළඳවා මේ කුසලයෙන් තමන්ට දිව්‍ය සැප සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කළා ය. දානාවසානයෙහි තෙරුන් වහන්සේගේ පාත්‍රය යළිත් ගිතෙල් මී සකුරු ආදියෙන් පුරවා අලුත් වස්ත්‍රය ද වැඩ හුන් ආසනය ද උන්වහන්සේ වෙත පූජා කළා ය. අනුමෝදනා බණ වදාරා සැරියුත් මහතෙරුන් ආපසු වඩිද්දී අතවැස්සකු අත ඒවා සියල්ල විහාරය වෙත යැව්වා ය.

නොබෝ කලකින් කාලක්‍රියා කළ ඈ කරන ලද කුසලානුභාවයෙන් තව්තිසා දෙව්ලොව ගව් හාරසියයක් පමණ වූ විමානයක දෙවඟනක වී උපන්නාහ. දහසක් පමණ වූ පරිවාර දෙවඟනන් සහිත වූවා ය. ඇගේ ප්‍රාර්ථනයේ මහිමයෙන් නෙලුම් පෙත් සමඟ රේණු වැනි ශෝභාමත් භාවයෙන් සහ මුදු මොළොක් භාවයෙන් ද දිදුලන රශ්මි ධාරාවෙන් ද විභූෂිත ස්වර්ණාභරණයෙන්ද යුක්ත වූ ගව් විස්සක් පමණ විශාල ඇත් වාහනයක් ද පහළ වුණි. එබැවින් ඇයගේ දිව්‍ය විමානය, ‘කුඤ්ජර විමානය’ නම් විය.

දෙව්ලොව එක්තරා උත්සව දිනයෙක මේ දෙවඟන ශෝභාමත් සළුපිළි හැඳ ගැල් සැටක් පමණ වූ දිව්‍යාභරණයෙන් සැරැසී කුඤ්ජර විමානයට නැගී පරිවාර දෙවඟනන් පිරිවරාගෙන හාත්පස ඒකාලෝක කෙරෙන රූපශ්‍රීයෙන් බබළමින් නන්දන උද්‍යානය වෙත යමින් සිටියා ය.

එවේල් තව්තිසා දෙව්ලොවට වැඩමකළ මුගලන් මහ රහතන් වහන්සේ මේ දෙවඟන ඉදිරියේ පෙනී සිටියහ. දෙවඟන වහා ඇත් විමානයෙන් බැස මහතෙරුන් වහන්සේ වැඳ දෝත් මුදුන්හි තබාගෙන එකත්පස්ව සිටියා ය. ඇයගේ මේ අපූර්ව දිව්‍ය සම්පත්තිය ලැබීමට ඇය විසින් පූර්ව ආත්මයෙහි කරන ලද්දා වූ කුසල කර්මය කෙසේ වේ දැයි ඇගේ මුවින් ම අසනු පිණිස උන්වහන්සේ මෙසේ විමසූහ.

‘එම්බා දෙව්දුවණියනි, අනේකවිධ රත්නාලංකාරයෙන් අලංකෘත දිව්‍යමය නෙලුම් මල් දාමයක් සේ වූ ශරීර ඇති යහපත් ගමන් ලීලා ඇති ආකාශචාරී ජවබල සම්පන්න වූ මේ අනර්ඝ ස්වර්ණමය හස්ති ආසනයෙහි හිඳිමින් ගමන් යන්නා වූ දිව්‍ය සමූහයා මධ්‍යයෙහි ශරීර වර්ණයෙන් සියල්ලන් අභිබවනය කෙරෙන දීප්තියෙන් බබළන නුඹ කවර සුචරිත කර්මයක් කොට රූප භෝගා පරිවාරාදි මෙබඳු සම්පත්ති ලබන ලද්දීද ද?’

‘ස්වාමීනි, මම සැරියුත් මහරහතන් වහන්සේට නෙලුම් මලින් සරහන ලද අලුත් පීඨාසනයක අලුත් වස්ත්‍රයක් අතුරා වැඩහිඳින්නට සලස්වා මී කිරිබතක් සහිත දානයක් පිරිනමා වළඳවා අන්තයෙහි ආසනය සහ වස්ත්‍රය පූජා කළෙමි.

එබැවින් ඒ කුසලය හේතු කොට මේ දිව්‍ය සම්පත් ලැබ දිව්‍ය ඓශ්චර්යය, ආයුෂ, වර්ණ, සැප, පරිවාර ආදියෙහි අධිපති භාවයෙන් බබළමියි ප්‍රකාශ කළ දෙවඟන මෙසේ ද පැවසුවාය.

“ස්වාමීනි, ආසන දානයේ මහිමයෙන් මේ කුඤ්ජර විමානය වැනි සම්පත් ලදිමි. කෙලෙස් ප්‍රහීණය කළ ආර්ය උත්තමයන්ට දුන් දානයක් වේ නම් එය උදාරතර වූ සම්පත් ලබන්නට හේතු වේ. එබඳු ආර්යයන් වහන්සේලා වැනි වූ පින්කෙත් ලොවෙහි වෙනත් නොමැති බැව් විශේෂයෙන් ප්‍රශංසා කොට කියමි.”

 

    වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් මස 10 වැනිදා අඟහරුවාදා අපරභාග 09.23 ට ලබයි. 11 වැනිදා බදාදා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 11 වැනිදා බදාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]