Print this Article


සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 58 - තොරණේ අරුත

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 58 - තොරණේ අරුත

සාංචි පුදබිමෙහි ඇති සෑම තොරණක්ම අද්විතීය කලා නිර්මාණයක් සේ හැඳින්වේ. අප භාග්‍යවතුන් වහන්සේ සහ සත් බුදුවරයන් වහන්සේ එහි සංකේත මගින් දක්වා ඇත. අප අද පළමුව සාංචි ස්තූපයේ උතුරු පැත්තේ පිහිටා ඇති උතුරු තොරණ ඉදිරියට යමු.

සාංචියේ ඇති සෑම තොරණක්ම ගොඩනගා ඇත්තේ ක්‍රි.පූ. පළමුවැනි සියවසේ දීය. සත් බුදුවරයන් වහන්සේලා දැක්විය යුතු තැන්හිදී පවා දක්වා ඇත්තේ බෝධියක් චෛත්‍යයක් හෝ වජ්‍රාසනයකි. නැති නම් ශ්‍රී පතුලකි.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැවැති අපරිමිත ගෞරවය නිසා කැටයම්කරුවන් පිළිම නෙළීමට ඉදිරිපත් නොවුවා විය හැකිය. මෙතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ප්‍රතිනිර්මාණය කිරීම තමන්ට තරම් නොවේය යන ගෞරවනීය සිතිවිල්ල නිසා පසු ගාමී වූවා විය හැකිය. ඉන් තමන්ට අයහපතක් සිදු විය හැකිය යන විශ්වාසය දැඩි ලෙස බලපෑම් වන්නටත් පුළුවන. එබැවින් තොරණ සතරේම අප භාග්‍යවතුන් වහන්සේ හා සත් බුදුවරයන් වහන්සේලා , බෝධින් වහන්සේ වජ්‍රාසනය , සිරිපතුපල ආදී සංකේතයකින් ම මිස රූපයක් ලෙස දක්නට නොලැබේ.

ක්‍රි.ව. 128 දී ඉන්දියාවේ කණිෂ්ක නම් බලසම්පන්න රජතුමා කුෂාන පරපුරේ බලසම්පන්නම රාජ්‍ය පාලකයා ලෙස ඉතිහාසඥයෝ පිළිගනිති. මේ කාලයේ දී බෞද්ධයෝ හීනයාන මහායාන වශයෙන් දෙකොටසකට බෙදී සිටියහ.

කණිෂ්ක රජු මහා ධර්ම සංගායනාවක් කළේය. එම සංගායනාවෙන් පසු මෙතෙක් පිළිම තැනීම සාවද්‍ය අකුසලයක් සේ සිතා අප බුදුරජාණන් වහන්සේ වෙනුවට බෝධිය චෛත්‍යය ආදී සංකේත භාවිතා කළ මහායානික කලාකරුවන් බුදුරදුන් රූපයෙන්ම දක්වා බුද්ධ ප්‍රතිමා නෙළීම ආරම්භ කළහ.

එබැවින්ම අප සැදැහැවතුන් දැනගත යුතු වන්නේ මෙම තොරණ සතරේ එන කිසිදු බුද්ධ ප්‍රතිමාවක් ක්‍රි.පූ. පළමු වන සියවසේ නෙළා නොතිබූ බවත් ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසෙන් පසු තොරණ ප්‍රතිසංස්කරණය කිරිම්වල දී එක් වූ ඒවා බවත්ය.

දැන් අප උතුරු තොරණේ කැටයම් රූප මගින් නිරූපණය වන්නේ කුමක්දැයි විමසා බලමු. උතුරු තොරණේ හරි මැද ධර්ම චක්‍රයක් තුබූ බව අදත් පැහැදිලිව දැකිය හැකිය. දැන් සම්පූර්ණම චක්‍රය පෙනෙන්නට නැත. ඇතුන් සිව් දෙනකු දරාගෙන සිටි ධර්ම චක්‍රයේ අද ඇත්තේ අඩ හඳක් වැනි කොටසකි.

ධර්මචක්‍රය දෙපස උපස්ථායකයන් දෙදෙනකුගේ රූප සටහන් තුබූ බව පැහැදිලිය. දකුණු පස රුව පමණක් අද ඉතිරිව ඇත. දෙකෙළවර සිංහ රූප දෙකකි. ඒ සිංහ රූප දෙකටත් උපස්ථායක රූප දෙකටත් අතර අලංකාර නෙළුම් මල් දෙකක් මත නිර්මාණය කැර ඇති ත්‍රිශූලාකාර මල් දෙක රන්නත්‍රය සංකේතවත් කරයි. ධර්ම චක්‍රයට පහළින් ඇති හරස් පුවරුවේ ස්තූප පහක් හා බෝධි වෘක්ෂ දෙකක් ඇත.

එයට පහළ මැද හරස් පුවරුවේ සිංහ රූප දෙකකි. එම සිංහ රූපවලට පිටුපසින් ස්ත්‍රී රූප දෙකකි. ස්ත්‍රී රූප ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුය. සාංචි තොරණ හතරේ ස්ත්‍රී රූප රාශියක් දක්නට ඇත. මේ ස්තී‍්‍රරූප යක්ෂණියන්ගේ රූප සංකේතවත් කර දක්වයි. බව කතරේ ඇලීම හා ඇලීමෙහි ගිජු බව මින් නිරූපණය වන අතර කාමයෙහි ගැලීමෙන් සත්වයාට අත්විදින්නට සිදුවන ඛේදවාචකය මෙන්ම පොළඹවා ගැන්මේ උත්සාහයද මෙම කාන්තාරූප මගින් දක්වා ඇත.

සාංචිය වනාහී භික්ෂු භික්ෂුණීන් සිය ගණනින් වැඩ විසූ සංඝාරාමයකි. මෙම රූපයන්ගෙන් (ශාලභංජිතා) දැක්වෙන්නේ කෙලෙසුන් කෙරෙහි නොඇලී සිටිය යුතු බවයි. රාගය ප්‍රහීණ කළ යුතු බවයි. අප ඇලෙන සිරුරෙහි ස්වභාවය මෙසේ යැයි දත යුතුය. නැවත ඔබට සඳහන් කරන්නේ සාංචි කැටයම් කරුවන් කටුව මිටිය අතට ගත් උදවිය පමණක් නොව බුද්ධ ධර්මය සංසාර චක්‍රය පිළිබඳ මනා අවබෝධයක් ඇති කරගත් උගත් බුද්ධිමත් පිරිසක් බව දක්නට ඇති බවය.

මෙම පුවරුවේ ඉදිරිපස දකුණු කොනේ වෙසතුරු රජ සිය ඇතුන් දන්දෙන අයුරු පෙනේ. ඉන් පසු මව්පියන්ට ආයුබෝවන් කියා පිටත් වන බව පුර දොරටුව අසල පෙනේ. එයින් වම් පැත්තට හෙතෙමේ රිය පදවාගෙන යයි. වම් කෙලවරෙහි පෙනෙනුයේ සිය දෙදරුවන් හා දේවිය සමඟ ගමන් කරන අයුරුය. පිටුපස දකුණූ කෙලවරෙහි සිය දේවිය සමඟ වංක ගිරියට යනු පෙනේ. එහිදී ශක්‍රයා විසින් මවන ලද ආරණ්‍යයේදී තවුස් වෙස් ගන්නා අයුරු දැක්වේ. මෙහි තරමක් වම්පසින් පුවරුව මැද වෙසතුරු රජ සිය දූ පුතුන් දෙදෙනා ජූජක බමුණාට දන් දෙයි. එම දර්ශනයට උඩින් මද්‍රිදේවිය ට වම්පසින් දුනුවායා විසින් ජූජක බමුණා බිය ගන්වනු පෙනෙයි. පහතින් දැක්වෙනුයේ ජූජකයා කෝටුවකින් තළමින් ළමයි දෙදෙනා ගෙන යන ආකාරයයි. අන්තිමට දක්නට ඇත්තේ රජු දේවිය දන්දෙන අයුරුයි.

උතුරු තොරණේ දකුණු කණුවෙහි මුදුන් කැටයම් පුවරුවෙන් දැක්වෙනුයේ බුදුරදුන් මව් දෙව් රජුට අබිදම් දෙසා රුවන් හිණෙකින් සංකස්ස නුවර දොරටුවට වඩනා අයුරුය. මෙහි දෙවියන් සමඟ ශක්‍රයා ද මහා බ්‍රහ්මයාද වෙයි. මැද රුවන් හිණිමග දිස්වේ.

එහි තෙවැනි පුවරුව බුදුරදුන් කපිල වස්තුවට වැඩ වදාරා පෙළ හර දැක්වීම හා දම් දෙසුම දැක්වේ. සුද්ධෝදන රජතුමන් හා මහා ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණි අවස්ථාව කැටයම් කර ඇත. බුදුරජාණන් වහන්සේ වෙනුවට බෝධිය නිර්මාණය කර ඇත.

තවත් කොටසක් වප් පුර පසළොස්වක ඔක්තෝබර් 27 වනදා පත්‍රයේ පළවේ.


පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 57 - දාර්ශනික අර්ථ දෙන ගල් කැටයම්