Print this Article


සිරිගුණාලංකාර බුදුබල පහන් පිළිවෙතට වසර 56 ක් සපිරේ

සිරිගුණාලංකාර බුදුබල පහන් පිළිවෙතට වසර 56 ක් සපිරේ

මාතර කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජයසුන්දරාරාමාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ කපුදූව සිරිගුණාලංකාර හිමියන් විසින් ආරම්භ කළ සිරිගුණාලංකාර බුදුබල පහන් පිළිවෙතට වසර 56 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන පින්කම් මාලාව ඔක්තෝබර් මස 3 සහ 4 යන දෙදින තුළ ඓතිහාසික තිස්සමහාරාම පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.

බෞද්ධ පංචසීල ප්‍රතිපදාව අනුව කටයුතු කරමින් අදෘෂ්‍යමාන බලවේග ඔස්සේ මනුෂ්‍ය ජීවිතවලට එල්ලවන කරදර බාධක දුක් පීඩා දුරුකොට නිරෝගීව යහපත් ජීවිත ගත කිරීම උදෙසා යොමු කරන මෙම බුදුබල පහන් පිළිවෙත 1959 සැප්තැම්බර් මස 20 වෙනි දින සිට තමන් වහන්සේට ලැබුණු වරප්‍රසාදයක් මත කපුදූව සිරිගුණාලංකාර හිමියන් විසින් ආරම්භ කරන ලදී.

උන්වහන්සේ හොරපාවිට ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේ විහාරාධිපතිත්වයට පත්වීමෙන් පසුව එහි විහාරාරාංග සම්පූර්ණ කරමින් වැඩවාසය කරන අතරේදී දිනපතා සෙත්පිරිත් සජ්ඣායනය කරමින් පංචශීල ප්‍රතිපදාව ප්‍රගුණ කිරීමෙන් ලද අධ්‍යාත්මික ශක්තිය ඔස්සේ සිරිඋපුල්වන් වරප්‍රසාදය ලබා තිබේ. එදා සිට රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මෙම ප්‍රතිපත්තිය කියා දෙමින් ඒ අනුව ජීවිත හුරුකරවා ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්තිය දියුණු කර පවුලේ යහපත උදාකර ඇත.

නිතිපතා, බොදු දහමින්, පංචශීල ප්‍රතිපත්තියත් අනුගමනය කිරීමෙන් මනසේ ගොඩනැගෙන නිවැරදි අධ්‍යාත්මික ශක්තිය තුළ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි බව විශ්වාස කළ සිරිගුණාලංකාර හිමි ඒ අනුව යමින් ධාර්මිකව දෛනික කටයුතු සිදුකිරීමෙන් පවුල තුළත් සමාජයේත් යහපත උදාකරගත හැකි බව පසක් කරමින් මෙම සෙත්පහන් පිළිවෙත දිවයින පුරා ව්‍යාප්ත කිරීමට දැඩිවෙහෙසක් ගත්හ. මේ වන විට දිවයින පුරා මෙලෙස සැබවින්ම පන්සිල් රකින ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම පහන් පිළිවෙත අනුව යමින් ජීවිත ආලෝකවත් කර ගෙන සිටිති.

සෙත් පහන් පිළිවෙතට වසර 56 ක් සපිරීම නිමිත්තෙන් සහ අපවත් වී වදාළ කපුදූව සිරිගුණාලංකාර හිමිපාණන් වහන්සේගේ එකසිය දෙවන ජන්ම දිනය සිහිපත් කරමින් සිරිගුණාලංකාර පිළිවෙත් සුරැකීමේ සංවිධානයේ රජ රට බුදුබල පහන් මධ්‍යස්ථානයේ ප්‍රසාදලත් චන්ද්‍රපාල සෙනරත් මහතාගේ මෙහෙයවීමෙන් මෙම පින්කම් මාලාව සංවිධානය කෙරේ.