Print this Article


අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ට දිඝාසිරි පතා ආගමික වැඩසටහන්

අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ට දිඝාසිරි පතා ආගමික වැඩසටහන්

මහනුවර මල්වතු මහා විහාර විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික, මහෝපාධ්‍ය අග්ග මහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ට නොවැම්බර් මස 22 වෙනි දිනට වසර සියයක් පිරීම නිමිත්තෙන් දිඝාසිරි ප්‍රාර්ථනා කරන ආගමික වැඩසටහන් මාලාවක් සමඟ සමාජ සත්කාර සේවාවන්ද පැවැත්වීමට ධම්මානන්ද නාහිමි උපහාර කමිටුව කටයුතු යොදා ඇත.

ඔක්තෝබර් මස 10 වෙනි දින මල්වතු මහා විහාරයේ ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය අති ගෞරවාර්හ මහා නායක මාහිමි, අනුනායක හිමියන් ප්‍රධාන ශ්‍රී ලංකාරාමඤ්ඤ, අමරපුර නිකායන්හි මහා නායක මාහිමිවරුන් ප්‍රමුඛ මහානායක මාහිමිපාණන් වහන්සේ දහනමක් ඇතුළු මහා සංඝරත්නය සියක් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමෙන් පින්කම ආරම්භ කෙරේ.

ධම්මානන්ද නාහිමි පිළිගැනීමේ උපහාර උත්සවයක් නොවැම්බර් මස 15 වෙනිදා මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිති සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමටත් නොවැම්බර් මස 21 වෙනිදා ලේ දන්දීම වැඩසටහනක් සහ ගවයින්ට අභයදානය දීමක්ද සිදු කෙරේ. ධම්මානන්ද නාහිමිපාණන්ට දිඝාසිරි ප්‍රාර්ථනා කරමින් නොවැම්බර් මස 22 සවස ශ්‍රී දළදා මාලිගාවේ දී දළදා සමිඳු උදෙසා ගිලන්පස පූජාවක් ද පැවැත්වෙන අතර නොවැම්බර් මස 22 වෙනිදා මෙම පින්කම් වැඩසටහන්වලට සමගාමීව මල්වතු මහා විහාරයේ කඨින පින්කම ද ධම්මානන්ද නාහිමිගේ අනුශාසකත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.