Print this Article


වාද්දුව තල්පිටිය දළදා පූජෝපහාර පෙරහර

වාද්දුව තල්පිටිය දළදා පූජෝපහාර පෙරහර


සම්බුදු මැදුරේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

සකල ලෝකවාසීන්ගේ අසහාය සම්මානයට පාත්‍ර වෙමින් දැනට මහනුවර දළදා මාළිගාවෙහි වැඩ සිටින දළදා වහන්සේ පිළිබඳව ඇත්තේ දීර්ඝ කාලයක අඛණ්ඩ ඉතිහාසයකි.

කළිඟු රට තුළම වර්ෂ 850ක් පමණ වැඩසිට දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා හේමමාලා දන්ත කුමර කුමරියන් දෙදෙනා විසින් ලක්දිවට වැඩම කරන ලදුව කිත්සිරිමෙවන් රජු විසින් අනුරාධපුරයෙහි දෙවනපෑතිස් නිරිඳුන් තැනවූ “ධම්මචක්ක” නම් ගෘහයෙහි තබා පූජා කරන ලදී. එතැන් පටන් ක්‍රමයෙන් අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, කොට්ටේ, සීතාවක, මහනුවර යන රාජධානිවල සිටි රජවරුන් තම ශක්ති ප්‍රමාණයෙන් දළදා වහන්සේට පූජා සත්කාර කරන ලදී. නොයෙක් අවස්ථාවලදී සතුරු වියවුල් ඇතිවූ විට දළදා වහන්සේගේ භාරකාරත්වයේ සිටි භක්තිමත්හු අප්‍රසිද්ධ ස්ථානවලට දළදා වහන්සේ වැඩම කරවාගෙන ගොස් එය ආරක්ෂා කර ගත්හ. ඉන් එක් අවස්ථාවක කෝට්ටේ රාජධානිය සමයේ පරසතුරු ආක්‍රමණය නිසා දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට අගනුවරින් පලා යන අවස්ථාවේ දී අතීතයට (රා.ව. 1557 – 1560 අතර කාලයේ දී) තෙල්පිටිය නමින් හඳුන්වන තල්පිටිය ග්‍රාමයේ දැනට දළදා වත්ත මහා විහාරය ඉදිවී ඇති විහාරභූමියේ දින කීපයක් සුරක්ෂිතව වැඩ සිටි බව පැරැන්නෝ ප්‍රකාශ කරති.

එසේ දළදා වහන්සේ ටික දිනක් හෝ වැඩ හිඳ පූජනීයත්වයට පත් වූ මේ බිම් පෙදෙස සැදැහැති බෞද්ධයන් විසින් විහාරයක් අරඹා එය ‘දළදා වත්ත විහාරය’ නමින් නම් කොට දළදා වහන්සේට පූජාවන් පවත්වා ඇත.

1933 වර්ෂයේ පටන් එම දළදා පූජාවට පෙරහරක් ද එකතු කොට වර්තමානය දක්වාම මහත් අභිමානයෙන් දළදා පූජාව සිදු කරයි. 2014 වර්ෂයේ දීත් 81 වෙනි වරට මේ මහඟු සත්කාරය ගම්වාසී, ප්‍රදේශවාසී ගිහි පැවිදි කාගේත් සහයෝගයෙන් සිදු කරන්නට යෙදුණි.


විහාරාධිපතිව
වැඩ විසූ
විචිත්‍රභාණක ප්‍රවචන
කීර්තිශ්‍රී සද්ධර්මවාගීෂ්වර තල්වත්තේ
ඉන්දජෝති නා හිමි

ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ රයිගම් කෝරළයේ පානදුර තොටමුණ ප්‍රධාන සංඝනායක ප්‍රවචන කීර්ති ශ්‍රී ඉන්ද්‍රජෝතිභිධාන ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන නා හිමි

2015 වර්ෂයේ දී සිරිත් පරිදි සැප්තැම්බර් 27 වෙනි දින තිස් පැය හතේ පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ වූ අතර සැප්තැම්බර් 30 වෙනි දින රාත්‍රී දොරකඩ අස්න හා අනුශාසනා දේශනාව පවත්වා ඔක්තෝබර් මස 1 වෙනි දින අලුයමින් අවසන් වේ. ඔක්තෝබර් 02 වෙනි දින රාත්‍රී 6.30 ට අපවත් වී වදාළ සියලු මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට හා තරුණ බෞද්ධ සමිතියේ මියගිය සියලු ක්‍රියාකාරීන් ඇතුළු කොට, සියලු දායක දායිකාවන් වෙත පින් අනුමෝදන් කිරීමේ විශේෂ ධර්මදේශනය පැවැත්වීමට නියමිතය. ඔක්තෝබර් 01 වෙනි දින පස්වරු 2.30 ට ගම හරහා ප්‍රදක්ෂිණා කරන ආශීර්වාද පෙරහර සංචාරය කිරීමට නියමිතය. ඔක්තෝබර් 03 වෙනි දින රාත්‍රී 7.00 ට 82 වන ශ්‍රී දළදා උපහාර පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය.