Print this Article


බුදු දහමෙහි අපාය සංකල්පය

බුදු දහමෙහි අපාය සංකල්පය

"අපාය" යන පදය බුදු දහමෙහි බොහෝ තැන්වල විස්තර වන්නේ තනි පදයක් ලෙස නොවේ. තවත් පද කිහිපයක් සමගිනි. එනම් ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං’ යනුවෙනි. මෙහි දී ‘අපායං’ යන පදය හා ‘දුග්ගතිං විනිපාතං’ යනු සෙසු පදත් නිරය, යන්නට විශේෂණ පද ලෙස යෙදී ඇත. ඒ අනුව බලන විට අපාය යන්න මෙහි දී විස්තර වන්නේ නිරය යන්නට විශේෂණ පදයක් ලෙසය. ‘අපායං’ යන්නෙහි තේරුම වන්නේ සැපයක් නැති (අ+පායං) තැන යන්නයි.

බෞද්ධයින් වශයෙන් අප කාටත් අපාය යන වචනය ඇසෙත් ම බිය මුසු අකැමැති ස්වභාවයක් අප සිතට නැගෙයි. ඊට හේතුව ‘පව් කරන අය අපායේ යති’ යන මේ සංකල්පය කුඩා කල සිට ම අප කාගේත් සිත් තුළ පැළ පැදියම් වී ඇති බැවිනි. කුඩාකල අප පාපයෙන් වැළැක්වීම පිණිස මෑණියන් අපට අවවාද දෙන්නේ ‘පව් වැඩ කරන්න එපා. පව් කරන අය අපායේ යනවා’ යන වදනින් ය. කුඩා කල අපාය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? යන්න අපට ප්‍රශ්නයක් වූව ද අපට අපේ මෑණියන් කියාදෙන අපායේ ඇති ගිනිදැල්, ලෝදිය, කටුඉඹුල වැනි දේ කිසිදා අමතක නොවෙයි. මේ නිසා ම අප බොහෝ දෙනෙක් පාපයන්ගෙන් වැළකීමට හෙවත් අයහපත් දේ නොකිරීමට යම් තරමකට පෙළඹවීමක් ලබා දෙයි.

දහම් පාසල තුළින් ද පාසල තුළින් ද ප්‍රාථමික අධ්‍යාපනයත් සමඟ අපට පන්සිල්වල වටිනාකම තේරුම් කිරීමට උත්සාහ කරන්නේ ‘සතුන් මරන්න එපා අපායේ යනවා. අනුන්ගේ දේවල් ගන්න එපා අපායේ යනවා. කාමයේ වරදවා හැසිරෙන්න එපා අපායේ යනවා. බොරු කියන්න එපා අපායේ යනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා අපායේ යනවා’ යන අවවාද වලිනි.

මේ නිසා අපාය යන සංකල්පයට ඇති බිය නිසාම පන්සිල්වල නියම අර්ථය නොදැන ගත්ත ද ඒවා ආරක්ෂා කිරීමට අප පුංචි කාලයේ සිට ම හුරු පුරුදු වෙයි. එයින් අප නොදැනුවත්ව ම අපේ ජීවිතවලට යම් සදාචාරාත්මක හරයක් එකතුකර ගනියි. එබැවින් අප පාපයෙන් වැළැක්වීම පිණිස අපාය යන සංකල්පය ඍජුවම අපේ ජීවිතයට බල පා ඇති බව මෙයින් පැහැදිළි වෙයි. අප පව් නොකළ යුත්තේ අපායට ඇති බිය නිසා ද? එසේ නැතිනම් එයින් අප ජීවිතයට යම් අගතියක් වීමට ඉඩ ඇති නිසා ද? එසේත් නැතිනම් අපේ ආගමට දහමට ඇති ගෞරවය නිසා ද යන්න අවබෝධයෙන් තේරුම් ගත යුත්තකි.

මේ කරුණු සලකා බලන විට ‘අපාය’ යනු පව්කම්වල නිරතවන සියලු දෙනා මතු භවයන් හි දී ඔවුන් කළ අකුසල කර්මයන්ට අනුව විපාක ලබා දෙන ස්ථානයක් බව දහම පිළිබඳ සුළු හෝ දැනුමක් ඇති කාට වුව ද පැහැදිලි වෙයි. මේ නිසාමය අප කවුරුත් අපාය යන වචනයට අකැමැත්තක්, බිය මුසු ස්වරූපයක් මෙන් ම පිළිකුල් හැඟීමක් ඇති කරගනු ලබන්නේ.

බුදු දහමෙහි නරකය – තිරිසන් - ප්‍රේත – අසුර යනුවෙන් සතර අපායක් පිළිබඳ කරුණු ඉදිරිපත් කොට ඇත. නරකය යනුවෙන් අදහස් කරන්නේ නිරයෙහි අනන්ත දුක් විඳින සත්ත්වයන් ය. තිරිසන් යනුවෙන් අදහස් කරන්නේ තිරස් අතට හෙවත් හරහට යන සතුන් ය. එනම් අලියා ඇතාගේ සිට සියලු සිව් පා සතුන් මෙම වර්ගීකරණයට ඇතුළත් වෙයි. ප්‍රේත යනු නිසි පරිදි ආහාර - පාන, වස්ත්‍ර - වාසස්ථානාදිය නොලබා දුකසේ ජීවත්වන එමෙන් ම අප්‍රසන්න හා විරූපී ශරීරයන්ගෙන් යුතුව දිවිගෙවන පිරිසකි. අසුර යනු දෙවින්යන්ට පරාජය වූ දෙවියන්ගේ පිළිකුලට භාජනය වූ දෙවියන්ගේ සතුරු පිරිසකි. මේ සතර අපාය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මතු ලිපිවල පළ කිරීමට බලාපොරොත්තු වෙමු.

අපාය යන පදය බුදු දහමෙහි බොහෝ තැන්වල විස්තර වන්නේ තනි පදයක් ලෙස නොවේ. තවත් පද කිහිපයක් සමගිනි. එනම් ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං’ යනුවෙනි. මෙහි දී ‘අපායං’ යන පදය හා ‘දුග්ගතිං විනිපාතං’ යනු සෙසු පදත් නිරය, යන්නට විශේෂණ පද ලෙස යෙදී ඇත. ඒ අනුව බලන විට අපාය යන්න මෙහි දී විස්තර වන්නේ නිරය යන්නට විශේෂණ පදයක් ලෙසය. ‘අපායං’ යන්නෙහි තේරුම වන්නේ සැපයක් නැති (අ+පායං) තැන යන්නයි. ‘දුග්ගතිං’ යන්නෙහි තේරුම නපුරු ගති පැවතුම් ඇති තැන යන්නයි. ‘විනිපාතං’ යන්නෙහි අදහස නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති තැන යන්නයි. ‘නිරයං’ යනු නරකය හෙවත් පව් කළ අය උපදින ස්ථානය යන්නයි. ඒ අනුව මේ පද හතරෙහි තේරුම ‘සැපයක් නැති, නපුරු ගතිපැවතුම්, ඇති නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති පව් කළ අය උපදින ස්ථානය’ යනුවෙන් අර්ථ දැක්විය හැක.

සත්තං කායදුච්චරිතෙන සමන්නාගතා වචිදුද’දරිතෙන සමන්නාගතා
මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා
මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා අපා යං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා

ඉහත සූත්‍ර පාඨයෙන් පැහැදිළි වන්නේ කයෙන් දුසිරිතෙහි යෙදුණු වචනයෙන් දුසිරිතහෙි යෙදුණු මනසින් දුසිරිතෙහි යෙදුණු ආර්ය ධර්මයට නිගරු කරන වැරදි වැටහීම් ඇති වැරැදි කර්මයන්හි යෙදුණු පුද්ගලයින් සිරුරේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයක් නැති, නපුරු ගතිපැවතුම් ඇති නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති නිරයෙහි උපදින බවයි.

පෙළ දහමෙහි අපට වැඩි වශයෙන් හමුවන්නේ 'නිරය' යන වචනයයි. එමෙන් ම ‘නේරයිකා සත්තා’ යන වචනය ද අපට හමුවෙයි. නේරයිකා යන වචනයෙහි තේරුම නිරයෙහි උපන් යන අදහසයි. ඒ අනුව නේරයිකා සත්තා යන්නෙන් නිරයෙහි උපන් සත්වයෝ යන අදහස එයි. එසේ වූව ද අප දෛනික ව්‍යවහාරයේ දී බොහෝ සෙයින් භාවිත කරන්නේ අපාය හෝ දුගතිය යන වචනයන් ය. ඒ සියල්ලන්ගේ ම එකම අදහසක් ඇති බව පැහැදිලි වෙයි. එනම් ‘සැපයෙන් තොර දුක් සහිත ස්ථානයක උපන් අය’ යන්නයි.

සත්ත්වයින්ගේ උප්පත්තිය සිදුවන ක්‍රම හතරක් පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ විස්තර වෙයි. එනම්, අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික වශයෙනි. මෙයින් හතරවන තැනට විස්තර වන ඕපපාතික යන්නෙහි අදහස ඉබේ පහළවන යන්නයි. ඒ අනුව ඉබේ පහළවන සත්ත්වයන් මෙසේ ය. දෙවියන්, නිරයේ උපදින අය, ඇතැම් මිනිසුන්, දුක්විදින ඇතැම් ප්‍රේතාදීන් යන මේ පිරිස් ඕපපාතික ගණයට අයත් වෙයි.

කතමා ච, සාරිපුත්ත , ඕපපාතිකා යොනි? දෙවා, නොරයිකා, එකච්චෙ ව මනුස්සා, එකච්චෙ ච
විනිපාතිකා අයං වුව්වති, සාරිපුත්ත, ඕපපාතිකා යොනි,
මජ්ක්‍ධිම නිකාය – මහා සීහනාද සූත්‍රය

මෙහි දී අපායෙහි හෙවත් නිරයෙහි උපදින සත්ත්වයන් ලෙස ‘නෙරයිකා’ හා ‘විනිපාතිකා’ යන වර්ගීකරණයන්ට අයත් සත්ත්වයන් හඳුනාගත හැකිය. ඒ අනුව අපායෙහි හෙවත් දුගතියෙහි පහළවීම හෙවත් හටගැනීම සිදුවන්නේ තමා කළ අකුසල කර්මයේ විපාකය අනුව බව මෙයින් පැහැදිලි වෙයි. නිරයේ හෙවත් අපායෙහි විවිධ වර්ගීකරණයන් ඇත. එමෙන් ම ඒ ඒ නිරයන්හි ප්‍රමාණයන් මෙන් ම ඒ ඒ නිරයන්හි දී පමුණුවන දඬුවම හා ආයුෂ ප්‍රමාණ ආදියෙහි විවිධ වෙනස්කම් ඇත. ඒ පිළිබඳ ඉදිරි ලිපිවල දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

මතු සම්බන්ධයි